යුක්තිය නොදැකම මිය ගිය මනෝරානී..

Share post:

එක්තරා මිනිසෙකු කොවුලෙකු මරා සිය පිහාටු ඉවත් කල පසු කන්නට ඉතිරිව ඇත්තේ ඉතා කුඩා දෙයක් බව ට දැන මෙසේ කීවේය. ” උඹ නිකන් ම නිකන් කටහඩක් විතරයි, උඹේ වෙන මුකුත් නැහැ” මෙය සිනමාව, දේශපාලනය, ජීවිතය සම්බන්ධයෙන් ගත හොත් කටහඬ හැර මනෝරානී ට ද තමන් සතුව කුමක් වී ද ?
එය මෙලෙස නැවත අවදිවූවකි.

“අම්මා කියන්නෙ අපේ සංස්කෘතියෙ කෑල්ලක් ඩොක්ටර්. නිකන්ම නිකන් ගෑණියෙක් නෙමෙයිනේ. අපි මතු බුදු වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නෙ අපෙ අම්මාට ! “

“දරුවෙක් නැති අම්මා කෙනෙකුගෙයි,
ස්වාමියා මැරුණ ගැහැණියකගෙයි බර දරන්න තරම් පත්තිරුප්පුව හයිය නෑ කරූ ! “

“නම මොකක්ද?
මනෝරානී සරවනමුත්තු
මිස්ද?මිසිස්ද?
ඩොකට(ර්) මනෝරානී සරවනමුත්තු..”

රාණී සිනමාපටයේ ඉහත දෙබස්, රූප රචනය, ආලෝකය, අඳුර, එතුළ සැරිසරන රංග ප්‍රවේග සුසංයීගීව බිහිවන මායාවේ චමත්කාරය තුළ චිත්‍රපටයේ ආත්මය බිහි වී ඇත. එවැනි සිනමා කෘතියක් අවබෝධ කර ගැනීමට ප්‍රේක්ෂකයාගේ සිතිවිලි නියෝජනය කරන සමාජ පසුතලය සහ එහි විඥානය සෘජුව බලපානු ලබයි. මේ චිත්‍රපටය හදගම අතින් නිර්මාණය වූ අනිත් චිත්‍රපටි වලට වඩා ශෛලියෙන් වෙනස් එකක්. Biopic හෙවත් ජීවිතකතා ශානරයට අයිති එකක් කියුවොත් වැරදි නැහැ. චිත්‍රපටයක් යනු නරඹන්නට ඇති දෙයකි. නමුත් සිනමාව යනු සමාජ කාරණයකි. මේ තත්ත්ව දෙක අතර පරතරයක් ඇත. ස්වර්ණා මල්ලවාරච්චි නම් නිළිය රිදී තිරයේ තාරකාවියක් නොවේ. ඇගේ චරිත නිරූපණය නිසා සමාජ කතිකාවක් නිෂ්පාදනය විය. හැත්තෑව දශකයේ අගභාගයේ සිට අසූව දශකය පුරාමත්, අනූව දශකයේ මුල්භාගය වන තුරුමත් ඉලක්කය වැරදුනු දඩයක්කරුවන ගේ ‘ගෙදර මුවහම’ වූයේ ස්වර්ණා ය.
පිරිමි සිත් ත්‍රස්ත කල ගැහැණු චරිත බොහෝ විට තිරයේ මැවුනේ ස්වර්ණා අතිනි.

ස්වර්ණා ගේ මෙම චිත්‍රපටයේ රංගන ශෛලිය ඊට වඩා වෙනස් ය. රංගනයේදී ඇය තමා චරිතය බවට රූපාවතරණයවනවා වෙනුවට තම රංග පෞරුෂය අදාළ චරිතය තුල ආයෝජනය කර යි. සාම්ප්‍රදායික සිනමා ස්ත්‍රී භූමිකාවට අභියෝගයක්වී සදාචාරවාදී සිනමාව පුපුරවා හැරීමේ ජීවනාලිය බවට පත් වු ස්වර්ණා මල්ලවාරච්චි ට මනෝරානී අභියෝගයක් නොවන බව ට මෙයින් ඉතා පැහැදිලි විය. ස්වර්ණා නිරතුරුවම ලාංකේය ජනසමාජයේ විවිධ පැතිකඩ තම රංගනය හරහා සමාජය වෙතම මුදාහල අයෙකි. රංගනය යනු අධ්‍යක්ෂකගේ විධානයට අනුව, අධ්‍යක්ෂකට අවශ්‍ය දේ ලබාදීම වුවත්, තමා අත පත්වන තිර පිටපතෙහි ලියැවුණු චරිතය නිරූපණය කිරීමෙහිලා එකී චරිතයෙහි සියුම් චරිත ලක්ෂණ, චරිතයට අදාළ සමාජ පසුබිම,
සහ චරිතය තුළින් ප්‍රේක්ෂක මනසට සමීප වන්නට උත්සාහ දරන්නේ කෙබඳු ජීවනාභූතියක් රැගෙන ද යන්න පිළිබඳ මනා අවබෝධයක් ස්වර්ණා සතුය. එය මනෝරානී තුලින් ද මනාව දිස්වේ.

සිනමාපටය තුළ යම් තරමක් දුරට තාත්වික නොවන සිහිනමය ජවනිකා ඇතුළත් වෙනවා. මෙය චරිතාපදාන ශානරයේ සිනමාපටයක් වීම එයට හේතු වන්නට ඇති.

ඒ ප්‍රබන්ධමය ලක්ෂණ මේ සිනමාපටය තුළ ඇතුලත් වීම විශේෂයෙන් මෙහි රිතිකා කොඩිතුවක්කු රඟපාන චරිතයෙන් මනාව පැහැදිලි වේ. එසේම නවක නිළි රිතිකාගේ රූපණය වත්මන් මඩ ගොහුරේ පිපෙන්නට පෙරුම් පුරන නිළියන් ට ඉතා හොද ආදර්ශයක් බව ද මෙහිදි සදහන් කරමි. ඒ වගේම දේශපාලන ආදරවන්තයෙකු ලෙස රාණි සිනමා පටයේ තවත් ප්‍රබල දේශපාලකයකුගේ භූමිකාවක් රඟපාන සනත් ගුණතිලක ඉතා හොද සියුම් රංගනයක නිරතවේ.
සම්මානනීය රංගවේදිනියක වන ඉසබෙල් හියුපෙ වරෙක සදහන් කරනවා, රංගන ශිල්පියා හෝ ශිල්පිනිය, අධ්‍යක්ෂවරයාගේ හෝ කිසියම් ශෛලියක සිරකරුවකු නොවේ, ඔවුනට සිය රංගකාර්‍ය සදහා නිදහස ඉතා වැදගත් ය යනුවෙන්.

ඒ වගේ ම,අධ්‍යක්ෂවයෙක් ඉටු කරන්නේ වින්නඹු මාතාවකගේ කාර්යභාරය, මොකද ඔහු, ‘අලුත් චරිතයක්’ බිහිකිරීම සඳහා වෙහෙසෙන්නෙක්. ඒ දරුවා ශක්තිමත් ව බිහි වූ බවට ලද උප්පැන්න සහතිකය තමා “රාණී” …….

ධනංජය නානායක්කාර (fb)

2025.01.23 ලියන ලදී

Related articles

“පොප් තාරකාවක අපරිමිත හද ගැස්ම” – “Michael”

ජැක්සන් මැරෙන්නේ මීට අවුරුදු 17කට කලින්. හරියටම 2009 වසරේ ජූනි 25. ජැක්සන් මැරෙද්දි එයාට අවුරුදු 50යි. අද හිටියා...

පාස්කු ප්‍රහාරයෙන් පසු කවුරුත් නොකරන දෙයක් මෛත්‍රී කළා – ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු වෙනත් කිසිදු රටක රාජ්‍ය නායකයකු සිදුනොකරන ප්‍රකාශයක් එවකට ජනාධිපති ධුරය දැරූ මෛත්‍රිපාල සිරිසේන...

සුන්දරම්පුරම් ජනෙල් පියන්පත්: වාර්ගික සංහිඳියාව බිඳවැටීමේ සහකම්පනය

මහාචාර්ය සරත් චන්ද්‍රජීව විසින් සංස්කරණය ලද – යාපනයේ අවතැන් වූ නිවාස, දොර ජනෙල්වල පින්තූර සමග සිංහල, දෙමළ, ඉංග්‍රීසි...

සලේ JMO හමුවට – පාස්කු නඩුවේ තීරණාත්මක සාක්ෂිකරුවන්ට බලපෑම් !

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කර තිබේ. පාස්කු ඉරිදා...