ක්‍රිෂ් – නීතිපති නාමල්ට අධිචෝදනා ගොනුකරයි : මාධ්‍යයෙන් මිලියන 70ක් කිව්වට ප්‍රශ්නගත ගනුදෙනුව මිලියන 450ක් ?

Share post:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකළේය.

මතභේදාත්මක ‘ක්‍රිෂ්’ ව්‍යාපෘතියට අදාළව රුපියල් මිලියන 70ක සාපරාධී සාපරාධී පරිහරණය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අද (18) උදෑසන කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න වෙත මෙලෙස අධිචෝදනා භාර දී තිබේ.

පසුව, මහාධිකරණ විනිසුරුවරයා නාමල් රාජපක්ෂ ඇප මත මුදාහැරීමට නියෝග කර ඇති බව වාර්තා වේ.

ඉන්දීය දේපොළ වෙළෙඳාම් සමූහයක් වන ක්‍රිෂ් සමූහය සමග මේ ආයෝජනය සිදුකිරීමේදී බරපතළ මූල්‍ය විෂමාචාර සිදු වූ බවට මීට පෙර ද අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

මේ ආන්දෝලනාත්මක ක්‍රිෂ් ව්‍යාපෘතියට ඉන්දියාවේ අමිත් කට්‍යාල් ද මුදල් යොදවා ඇති බව මේ වන විට තහවුරු වී තිබේ. කළු සල්ලි සුදු කිරීම සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති කට්‍යාල්, 2023 වසරේදී ද ඉන්දියාවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගැනිණි. දකුණු ආසියානු කලාපයේ රටවල් රැසක කළු සල්ලි ආයෝජන සිදුකිරීමේ චෝදනාව ඔහුට එල්ල වී ඇත.

කොළඹ – කොටුවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි අක්කර 4.3ක ඉඩම ක්‍රිෂ් ව්‍යාපෘතිය සඳහා ලබාගැනිණි. නාගරික සංවර්ධන අධිකාරිය මගින් මීට අදාළ කටයුතු සිදුකරනු ලැබුවේ විපක්ෂයේ විරෝධතා මැද 2012 වසරේදී ය. එම ගොඩනැගිල්ල ද මේ වන විට ගැටලුවක් වී තිබේ. ඊට හේතුව එය අනතුරුදායක බවට වාර්තා ඉදිරිපත් වීමයි.

මේ ක්‍රිෂ් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් 2015 දෙසැම්බර් 26 වැනිදා දූෂණ විරෝධී හඬ වෙනුවෙන් වර්තමාන ඇමැති වසන්ත සමරසිංහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් කළේය. එහි සඳහන් වූයේ මෙහිදී දැවැන්ත කොමිස් ගනුදෙනුවක් සිදු වී ඇති බවයි. ඒ පිළිබඳ කඩිනම් විමර්ශනයක් කරන ලෙසයි.
එවකට ක්‍රියාත්මක වූ දූෂණ විරෝධී ලේකම් කාර්යාලයට ද එම පැමිණිල්ල ඉදිරිපත් කෙරුණු අතර, එම කාර්යාලය මගින් අදාළ පැමිණිල්ල විමර්ශන සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට යොමුකෙරිණි. එෆ්සීඅයිඩී හෙවත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අංක 07 විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් තමන් විසින් ක්‍රිෂ් ව්‍යාපෘතිය පිළිබඳව සිදුකරන විමර්ශන පිළිබඳ තොරතුරු කොළඹ – කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තා කළේය. ඒ, බී/196/2016 අංකය යටතේ ය.

එම කරුණු වාර්තා කිරීමෙන් පසුව අදාළ කොමිස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගනු ලැබිණි.

පසුව නාමල් රාජපක්ෂට ඇප ලැබිණි. ඉන්පසු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අධිකරණයට දැනුම් දුන්නේ මේ පිළිබඳ ඉදිරි විමර්ශන නොකරන බවකි. අල්ලස් කොමිසම ඊට අදාළ ව පවරා තිබූ නඩුව ඉල්ලා අස්කර ගත්තේය.

මේ සමස්ත ව්‍යාපෘතිය ඇමෙරිකානු ඩොලර් මිලියන 650ක ව්‍යාපෘතියකි. විමර්ශන අංශ පසුව අනාවරණය කරගෙන තිබුණේ මෙහිදී රුපියල් මිලියන 450ක කොමිස් මුදලක් හුවමාරු වී ඇති බවයි. මීට අදාළ සියලු ලේඛන සකස් කර තිබුණේ එන් ආර් කන්සල්ටේෂන්ස් සමාගමයි. එන් ආර් යනු නාමල් රාජපක්ෂ බවට එවකට හඳූන්වනු ලැබිණි. එහි ලියකියවිලි සකස් කර තිබුණේ සුජානි බෝගොල්ලාගම ය.

2022 වසරේදී මේ ගනුදෙනුවට අදාළ තවත් තීරණාත්මක දෙයක් සිදු විය. පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ මේ විමර්ශනය බාරව සිටි ප්‍රධානියා දැන් ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂවරයකු බවයි. එනම්, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ එවකට අධ්‍යක්ෂ ධුරය දැරූ රවී වෛද්‍යලංකාර ය. මේ කරුණු අනාවරණය වීමත් සමග එවකට කොළඹ – කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් නියෝගයක් නිකුත් කළේය. එම නියෝගයට අනුව මේ සිදුවීමට අදාළ විමර්ශන මුල සිට නැවත කළ යුතු විය.

Related articles

පහළ අධිකරණවලට පාඩමක් උගන්වමින් වසර 24ක තෑගි ඔප්පු ප්‍රශ්නයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසඳයි !

නඩුවක තීන්දුවක් ලබාදීමේදී ලේඛනගත වර්තමාන නීතිය පමණක් නොව උඩරට නීතිය වැනි සාම්ප්‍රදායික නීතිමය රාමු ද සූක්ෂ්මව ගලපා ගත...

2009 සැප්. 02 – 2017 පෙබරවාරි 08 : ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයෙන් සහ අයුතු ඇතුළුවීමෙන් මාධ්‍යවේදීන් නිදොස් කොට නිදහස් !

ඇත්ත යළිත් දිනුවේය. ඇත්ත ඉදිරියේ, සාධාරණත්වය ඉදිරියේ යළිත් ඔවුහු පරාජයට පත් වූහ. ජනතා සටන් ඉදිරියේ පාලකයන්ට සියල්ල අකුලාගෙන...

පරිවර්තන පහසුකම් හදන්නට පොලිස්පතිට ඇත්තේ තවත් මාසයක් පමණයි !

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පොලිස්පතිවරයාට කළ නියෝගයක් ලබන මාසයේ 08 වැනිදා වන විට ඉටු කළ යුතු ව තිබේ. එනම් අද...

‘චෙම්මීන්’ – තකලි ශිව ශංකර පිල්ලෙයි

ඉන්දියානු සාහිත්‍යය ඇසුරු කරනා වාරයක් පාසා මා හදවත විශ්මයටත් ආහ්ලාදයටත් පත් කරයි. පෞරාණික ඉතිහාසයක් හිමි ඉන්දියානු සාහිත්‍ය වරින්...