යථා තත්ත්වයට පත්වීම ආරම්භ වී ඇත ! 

Share post:

කොළඹ නගර මධ්‍යයේ සහ විශේෂයෙන්ම රටේ ප්‍රධාන වාණිජ කලාප නත්තල වෙනුවෙන් රාත්‍රියේ වර්ණවත් වී පැවැති අතර, එම පියකරු බව අලුත් අවුරුදු උදාව දක්වාම පැවැතිණි. මෙම රාත්‍රී ආලෝක ධාරාවලින් පිරුණු ‘නගරය’ විසින්, මීට වසර තුනකට පෙර රට දරුණු ආර්ථික කඩාවැටීමකට ලක් වූ බවට ඉඟියක් හෝ ලබාදුන්නේ නැත. වරක්, ඉන්ධන පිරවුම්හල්වලින් පිටත ඉන්ධන සඳහා පෝලිම් ගැසුණු වාහනවල දිගු පෝලිම්, ආණ්ඩුවක් පෙරළා හිටපු ජනාධිපතිවරයාට රටින් පැනයෑමට සැලැස්වූ අරගලය යන සියල්ල පසෙක තබා, අරගලයේ කේන්ද්‍රස්ථානය වූ ගාලුමුවදොර උත්සව මධ්‍යස්ථානයක් බවට පත්ව තිබිණි.

සුඛෝපභෝගී හෝටල් සහ රාත්‍රී සමාජ ශාලාවල ධාරිතා පිරී ඇත. මේවා තුළ සැමරීමට වැයවන මුදල අධික වන නමුත්, මේ වියදම දරාගත හැකි විශාල පිරිසක්, අඩුම තරමින් වරක් හෝ එම වියදම දරන පිරිසක් සිටින බව පෙනේ. කොළඹ පිහිටි ITC රත්නදීප සහ සිටි ඔෆ් ඩ්‍රීම්ස් වැනි නව හෝටල් රාත්‍රියේදී ඩුබායි හි සිරියක් නිර්මාණය කර තිබිණි. දිනෙන් දින ඉහළ යන කොටස් වෙළෙඳපොළ රටේ ආර්ථික කළමනාකාරිත්වය පිළිබඳ නව විශ්වාසය සඳහා සාක්ෂියකි. ආණ්ඩුව පාර්ලිමේන්තුවේ භුක්ති විඳින 2/3 බහුතරයෙන් පමණක් නොව, ආණ්ඩුව අනුගමනය කරන ප්‍රතිපත්තිවලට වඩා සැළකිව යුතු ලෙස වෙනස් යෝජනා හෝ අදහස් ඉදිරිපත් කිරීමට විපක්ෂයට ඇති නොහැකියාව තුළද රටේ දේශපාලන ස්ථාවරත්වයක් නිර්මාණය වී ඇත.

විනෝද වන විවිධ තරාතිරම්වල විශාල පිරිසක් දැකගත හැකිවූ අතර, පැහැදිලිවම උත්සවවලට සහභාගි වීමේ ආශාව ඔවුන් තුළ දක්නට ලැබිණි. ඔවුහු තරු පහේ හෝටල්වල මිල අධික බුෆේ වලට සහභාගී වෙමින්, ගාලු මුවදොර පිටියේ කානිවල් සහ ජංගම ආපන ශාලා ඇති විවෘත අවකාශයන්හි හෝ පීසා අවන්හලක කෑමක් හෝ සුපිරි වෙළඳසැල්වල හුදෙක් භාණ්ඩ නැරඹීම සඳහා හෝ සාප්පු සවාරි යමින් විශාල ලෙස විනෝද වූහ. ආදායමට සාපේක්ෂව ආපනශාලාවල සහ පාරිභෝගික භාණ්ඩවල ඉහළ පිරිවැය, ජීවන වියදම පහත හෙළීමට රජය ගෙන යන අරගලය තුළ ප්‍රකාශිත නමුත්, ජනතාව එය එතරම් තැකූ බවක් පෙනෙන්නට  නොතිබිණි. ඊනියා සහල් මාෆියාව සමඟ ආණ්ඩුව ගෙනයන සටන, සහල් ආනයනයෙන් පසු සාධනීය ප්‍රතිඵල ලබා දී ඇත. කෙසේවෙතත් මීට වසර තුනකට පෙර මිල ඉහළ ගිය සහ පසුව පහළ නොගිය අනෙක් සියල්ල සමඟ පොල් මිල ඉහළ මට්ටමක පවතී.

කොළඹින් පිටත නත්තල් සැමරුම් පැවැතියේ නම් ඒවා වඩාත් නිහඬ විය. ක්‍රිස්තියානි පල්ලි ආශ්‍රිතව එවැනි වැඩසටහන් සංවිධානය විය. කොළඹින් පිටත විශාල සැමරුම් අප්‍රේල් මාසයේ සාම්ප්‍රදායික සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ දී පැවැත්වේ. යාපනය වැනි සමහර පළාත් අගනගරවල තමන්ගේම උත්සව, පහන් සහ සැරසිලි සංදර්ශන තිබුණත් ඒවා කොළඹ පරිමාණයෙන් නොවීය. කොළඹ, ජාතික අගනුවර සහ පළාත් අගනගරවල මිලදී ගැනීමේ බලයේ වෙනස මෙම විෂමතාවෙන් පිළිබිඹු විය.

බලය බෙදීම සඳහා වන එක් ප්‍රධාන සාධාරණීකරණයක් වන්නේ, අගනුවර ආශ්‍රිතව පමණක් නොව රට පුරා සාධාරණ සංවර්ධනයක් ඇති විය යුතු බවයි. බලය සහ ධනය එකට ගමන් කිරීමට නැඹුරු වන්නේ, තීරණය කිරීමට බලය ඇති අය තමන්ට සහ තමන් ජීවත් වන ප්‍රදේශයට වාසි වන තීරණ ගැනීමට නැඹුරු වන බැවිනි. පළාත්වලට බලය බෙදීම යනු, සංවර්ධනයේ ඵල පුළුල් ලෙස බෙදාහැරීම සහතික කරමින් පළාත් අගනගරවලට සංවර්ධන යාන්ත්‍රණ සැපැයීමයි. මෙම සංකල්පය ජනවාර්ගික ගැටුම විසඳීම සඳහා විදේශිකයන් විසින් මෙහෙයවන ලද සංකල්පයක් ලෙස දකින සාමාන්‍ය ජනතාවට, බලය බෙදීමේ මෙම අංගය පැහැදිලි කළ යුතුය. මධ්‍යගත පාලනයේ ප්‍රායෝගික නොවන බව නිසා විමධ්‍යගත පාලන ක්‍රම ශ්‍රී ලංකාවේ රජ කාලයේ සිටම පැවැතිණි.

මෙතෙක් ශ්‍රී ලංකාවේ බලය බෙදීම දක්නට ලැබුණේ ජනවාර්ගික ගැටුම විසඳීමේ සන්දර්භය තුළ ය. එහෙත් අවසානයේ, වත්මන් ආණ්ඩුව බලයට පත්කළ අරගලය විරෝධතා ව්‍යාපාරයේ ප්‍රධාන සටන් පාඨය වූ ‘පද්ධති වෙනස’ ට ගැළපෙන පරිදි පුළුල් දෘෂ්ටිකෝණයකින් එය සාධාරණීකරණය කළ හැකිය. 1987 ජනවාර්ගික යුද්ධයේ උච්චතම අවස්ථාවේදී පැමිණි ඉන්දියාවේ බාහිර මැදිහත්වීමෙන් ස්ථාපිත කෙරුණු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය හරහා වත්මන් බලය බෙදීමේ ක්‍රමය ක්‍රියාත්මක කර ඇත. එබැවින් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ බලය බෙදීම, එම සන්දර්භය තුළ සහ රටේ ස්වෛරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවට බලපාන කාරණයක් ලෙස සැළකීම පුදුමයක් නොවේ. එය ක්‍රියාවට නැංවීමට, එය නීතියක් බවට පත්කළ ආණ්ඩුවද ඇතුළුව සියලුම අනුප්‍රාප්තික ආණ්ඩු විසින් ප්‍රතිරෝධය දක්වා ඇත. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කිරීමත් සමඟ, දැනට පවතින පදනමට වඩා වෙනස් පදනමක් මත බලය බෙදාහැරීමට වත්මන් ආණ්ඩුව දක්වන උනන්දුවට මෙය හේතු විය හැකිය.

මේ වසරේ සියයට 4 කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන ආර්ථිකයේ ප්‍රගතිය සහ එම වර්ධනය අන්තර්ජාතික මූල්‍ය ආයතන අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ඉහළ අගයක් ගැනීම මෙන්ම, ආයෝජකයන්ගේ විශ්වාසය ඉහළ යෑම, මේ වන විට පිළිබිඹු වන දේශපාලනයේ ස්ථාවරත්වයට අර්ධ වශයෙන් හේතුවී ඇතැයි කිවහැකිය. මෙම ධනාත්මක වර්ධන සාධකය දූෂිත නොවන පාලනයක් පිළිබඳ ආණ්ඩුවේ පොරොන්දුවට අතිරේකව සටහන් වනු ඇත. පසුගිය කාලයට වඩා වෙනස්ව, නව ආණ්ඩුවේ පළමු දින 100 තුළ, ආණ්ඩුවේ නායකයන් සම්බන්ධ කිසිදු විශාල දූෂණයක් වංචාවක් මතුවී නැත. පාර්ලිමේන්තුවේ කථානායකවරයාගේ ඉල්ලා අස්වීමට හේතු වූ ආචාර්ය උපාධිය පිළිබඳ ප්‍රශ්නය, පසුගිය කාලයේ පැවැති ක්‍රියාදාමයන් හා සසඳන විට අලුත් භාවිතයක් විය. රටේ කීර්තිනාමයට සහ ආර්ථිකයට වඩාත් අහිතකර ලෙස බලපානු ලබන දේ සිදුවූ අතීතයේදී, බලයේ සිටි අය ඉවත් වී හෝ ඉවත් වන ලෙස ඉල්ලා සිටීම සිදුව නැත.

ජනාධිපතිවරයා සහ ඔහුගේ ප්‍රධාන කණ්ඩායමෙන් මතුවන ප්‍රදර්ශනකාමී නොවන, සංයමයක් සහිත සහ දූෂිත නොවන ආකල්පය පහළට කාන්දු වන බව පෙනේ. පසුගිය නිවාඩු කාලය තුළ, පදිංචිය තහවුරු කරගැනීම සඳහා ග්‍රාම නිලධාරී සහතිකයක් ලබාගැනීම වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිය විට මෙය සනාථ විය. අදාළ නිලධාරියා එම අවස්ථාවේ ඔහුගේ මේසයේ සිට, අයැදුම් කිරීමේ ක්‍රියාපටිපාටිය පිළිබඳ තොරතුරු ලබාදුන් අතර, කිසිදු කලබලයකින් හෝ ප්‍රමාදයකින් තොරව අවශ්‍ය ලියවිල්ල ලබාදුන්නේය. තමා විසින් අත්සන් කිරීම ඇතුළු සියලු විධිවිධාන අනුගමනය කරන බව ඔහු පැහැදිලි කළේය. තම ඉහළ නිලධාරියා මේ ගැන පරීක්ෂා කරන බවද ඔහු පැහැදිලි කළේය. ආණ්ඩුවේ ඉහළම හැසිරීම් වෙනස්වීම පහළම අයට තම රාජකාරිය ඉටුකිරීමේදී නීතිරීති අනුගමනය කිරීමට බලපෑම් කරන බවට ඔහුගේ හැසිරීමෙන් පැහැදිලිව දැකගත හැකිවිය.

ඔහු සඳහන් කළ තවත් කරුණක් වූයේ තම ප්‍රදේශය බහු වාර්ගික සහ බහු ආගමික ප්‍රදේශයක් බවයි. මීට සේවය ලබාගත් පුද්ගලයා ඩයස්පෝරාවේ සාමාජිකයකු මෙන්ම ද්විත්ව පුරවැසියකුද වන අතර ඔහු ජාතික හැඳුනුම්පතක් ලබාගැනීමට පැමිණ ඇත. අවශ්‍ය කරන නිසි ලියකියවිලි සියල්ල එම පුද්ගලයා සතුව තිබූ බැවින්, ඔහුට අදාළ සහතිකය නිකුත් කර ඇත්තේ, පසුගිය වසර විස්සක පමණ කාලයක සිට විදේශගතව සිටි මෙම පුද්ගලයා පිළිබඳ පෞද්ගලික දැනුමක්ද නොමැතිවය. ඔහු කියාසිටියේ, එම පුද්ගලයා රටේ පුරවැසියකු බවත්, ඔහුට සමාන ලෙස සැළකිව යුතු බවත්ය. මෙයද නව ආණ්ඩුවෙන් ලැබුණු ධනාත්මක බලපෑමේ කොටසක්දැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් ග්‍රාම නිලධාරීවරයා පැවසුවේ “නැත” යන්නයි. එය යහපාලන ආණ්ඩුව සමයේදී තමන්ට ලැබුණු පණිවිඩයකට අනුව ක්‍රියාත්මක වීමක් බව ඔහු සඳහන් කළේය. නව ආණ්ඩුව අතීතයේ සිට පැමිණෙන නරක දේ පමණක් නොව හොඳ දේද උරුම කරගෙන ඇති අතර, එය ඉදිරි වසර තුළ සහ ඉන් ඔබ්බට ගොඩනැගීමට හොඳ දේ පමණක් ලබාගනිමින් සිටී. මෙය අනාගතය සඳහා බලාපොරොත්තුවක් ලබාදෙයි.

  • ජෙහාන් පෙරේරා

Related articles

සමන් දේවාලයේ වැඩ බලන බස්නායක නිලමේ පත්කළේ නීතියට අනුව : බෞද්ධ කටයුතු කොමසාරිස් විගණන වාර්තා එළියට අදී !

රත්නපුර සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුරට වැඩ බැලීම සඳහා නිලමේවරයකු පත්කරන ලද්දේ පනතට අනුව මෙන්ම වගකීම් සහගතව බව...

කර්ම චාරිකාව : තම පිළිබිඹුවට බිය වූ මිනිසෙකුගේ කතාව

2024 වර්ෂයේ ගොඩගේ අත්පිටපත් තරගාවලියේ හොඳම නවකතාවට හිමි සම්මානය දිනා ගන්නේ, සම්මානනීය ලේඛක උපනන්ද වැලිකල මහතාගේ 'කර්ම චාරිකාව'...

ශිරන්ති සීඅයිඩී එයිද? : 2015-2019 වගේ වෙනත් තැනක් ඉල්ලුවොත් මොනවා වෙයිද? : බරපතළ අපරාධ පිළිබඳ නීතිපතිටත් ජනපතිගෙන් දොස් !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ලබන සතියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිත ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

පොලිසියේ 01 සහ 02 ගැටුම දුරදිග යයි : හේතුව ජ්‍යෙෂ්ඨත්වය !

වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ පොලිස් දෙපාර්තමේන්තුවේ දෙවැනියා ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) ලලිත් පතිනායක...