කැබිනට් මණ්ඩලයේ තීන්දුව නීතියේ ආධිපත්‍යය අභියෝගය⁣ට ලක්කිරීමක් – තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

Share post:

දේශබන්දු තෙන්නකෝන් විසින් පොලිස්පති ධුරය දැරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක කිරීම පිළිබඳව රජයේ තීරණය දැනුම්දීමට දින දෙකක් ගැනීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය නීතියේ ආධිපත්‍යය අභියෝගයට ලක්කිරීමක් බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අවධාරණය කරයි.

එම සංගමයේ සභාපති තරිඳු ජයවර්ධනගේ අත්සනින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

දේශබන්දු⁣ තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වලක්වාලමින් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙනු ලැබූ අතුරු නියෝගය ගැන අධ්‍යයනය කිරීමට දින දෙකක් ලබා ගන්නා බවට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය ශ්‍රී ලංකාවේ නීතිය සහ අධිකරණ පද්ධතිය හෑල්ලු‍වට ලක්කිරීමක් ලෙස අපි සලකමු.

සමස්ත පොලිස් සේවයටවත් නොගැලපෙන පුද්ගලයකු ව්‍යවස්ථා විරෝධීව පොලිස්පති ලෙස නාම යෝජනා කර ව්‍යවස්ථා සභාවට යොමු කිරීමත්, ව්‍යවස්ථා සභාව අනුමත නොකර තිබියදී කතානායකගේ නීති විරෝධී ලිපියක් මත ජනාධිපතිවරයා විසින් පොලිස්පති ලෙස ඔහු පත්කිරීමත් අභියෝගයකට ලක්කරමින් මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබිණි.

ඒ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ විමසීමකින් පසු නිකුත් කළ අතුරු තහනම් නියෝගයට ගරු කරමින් කටයුතු කරනවා වෙනුවට අමාත්‍ය මණ්ඩලය රැස්වී ඒ ගැන ආණ්ඩුවේ මතය ප්‍රකාශ කිරීමට දින දෙකක් ලබා ගැනීම සුළුකොට සැලකිය නොහැකි බරපතළ තත්ත්වයකි. මේ අවස්ථාවේ ආණ්ඩුවේ මතයක් අවශ්‍ය නොවන අතර ජනාධිපතිවරයා විසින් කළ යුත්තේ තනතුරට සුදුස්සකු වැඩ බැලීම සඳහා නම් කර ව්‍යවස්ථා සභාවට යැවීමයි.

එසේ නොකර අධිකරණ නියෝග හෑල්ලු‍වට ලක් කරමින් කටයුතු කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ අමත්‍ය මණ්ඩලය කටයුතු කිරීම රටේ නීතියේ අධිපත්‍ය අභියෝගයට ලක් කිරීමක් පමණක් නොව,රටේ යහ පැවැත්මද අභියෝගයට⁣ ලක්කිරීමකි.

ජනාධිපතිවරයා නීතිඥවරයකු වන අතර අමාත්‍ය මණ්ඩලයේද නීතිඥවරු කිහිප දෙනෙක් සිටිති. එසේ සිටියදී මේ ආකාරයට අත්තනෝමතිකව කටයුතු කිරීම ඔවුන්ගේ නීතිඥ වෘත්තියටද නොගැලපෙන ක්‍රියාවක් සේ අපි සලකමු.

එසේ හෙයින් තවදුරටත් රටේ නීතියේ ආධිපත්‍ය තර්ජනයට ලක් නොකර වහාම සුදුස්සකු වැඩ බලන පොලිස්පත්වරයකු ලෙස පත් කරන ලෙස අපි රජයට බල කර සිටිමු. එසේ නොකර තවදුරටත් අත්තනෝමතිකව කටයුතු කිරීමට ආණ්ඩුව උත්සාහ කරන්නේ නම් ඊට එ⁣රෙහිව නීතියේ රාමුව තුල සිදු කළ හැකි සියලු‍ම ක්‍රියාමාර්ග ගැනීමට තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පසුබට නොවන බවත් සඳහන් කරමු.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...