පාස්කු ගැන තවත් අනාවරණයක් : එස්.එස්.පීගේ නියෝග පැහැර හැරි නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයි?

Share post:

සහරාන් හෂීම් ඇතුළු පිරිසක් දේවස්ථාන ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ලැබුණු තොරතුරු එවකට බස්නාහිර උතුර බාර නියෝජ්‍ය පොලිස්පති, වර්තමාන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් බරපතළ ලෙස සලකා නැතත්, කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ කොළඹ මධ්‍යම කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු පොලිසියේ අනෙකුත් ඉහළ නිලධාරීන් පිරිස එය දැඩි අනතුරු ඇඟවීමක් ලෙස සලකා ඇතැයි පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේදී අනාවරණය වී තිබේ.

ප්‍රහාරය එල්ල වූ 2019 අප්‍රේල් 21දා වන විට කොළඹ මධ්‍යම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධුරය දැරූ ජේ.ඒ.පී.යූ. ජයසිංහට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මගින් මේ බව සඳහන් ලිපියක් අප්‍රේල් 12දා ලැබී ඇත. එම අනතුරු ඇඟවීමේ ලිපිය බරපතළ කාරණයක් ලෙස සලකා ඇති එම නිලධාරියා, අප්‍රේල් 13දා තම කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් කැඳවා ප්‍රදේශයේ ආරක්ෂාව තරකිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.

මේ කරුණු හෙළිදරව් වූයේ පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පැවති විවාදවලදී සභාගත කර ඇති අදාළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවල සඳහන් ලේඛන කිහිපයක් අධ්‍යයනය කිරීමේදී ය. එම ලේඛන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විසින් සභාගත කිරීමෙන් පසු මෙසේ අධ්‍යයනය කෙරිණි.

කොළඹ මධ්‍යම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයසිංහ විසින් 2019 අප්‍රේල් 13දා පවත්වන ලද සාකච්ඡාවේ මාතෘකාව වී ඇත්තේ ජාතික තවුහිත් ජමාත් නායක මොහොමඩ් සහරාන් ඇතුළු පිරිසක් මෙරට මරාගෙන මැරෙන ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කිරීම පිළිබඳ ලැබුණු බුද්ධි තොරතුරු ය. පාස්කු ප්‍රහරය පිළිබඳ ජනාධිපති කොමිසමට ඉදිරිපත් වීමෙන් පසු පාර්ලිමේන්තුවේ සභාගත කළ එම සාකච්ඡාවේ සටහන්වල, එහිදී සාකච්ඡා වූ කරුණු පැහැදිලිව සඳහන් කර ඇත.

එම කරුණුවල පිටපතක් ද ඊට සහභාගි වූ සියලු‍ නිලධාරීන්ට යොමුකර තිබූ බව අදාළ වාර්තාවේ දැක්වේ.

එම බුද්ධි තොරතුරු ගැන දැඩි අවධානයක් යොමුකර මෙම ප්‍රහාර වළක්වා ගැනීමට කටයුතු කළ යුතු යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා උපදෙස් දුන් බව ද එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් ය.

කතෝලික දේවස්ථානවල ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බව නිරීක්ෂණය වන්නේ නම් ඒවාට වැඩි ආරක්ෂාවක් ලබාදීම, මෙවැනි ප්‍රහාරයක් සම්බන්ධයෙන් එම දේවස්ථාන ප්‍රධානීන් දැනුවත් කිරීම, කතෝලික දේවස්ථාන අවට මුර සංචාර සහ ජංගම සංචාර වැඩි කර සැකකටයුතු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීම, බුද්ධි අංශ මගින් වැඩිදුර තොරතුරු එකතු කිරීම, තාවකාලික ලැගුම්හල් සහ සැකකටයුතු නිවාස පරීක්ෂා කිරීම, දෛනිකව පරීක්ෂා කිරීම් සිදු කර පසුදින උදෑසන 6ට ඒ පිළිබඳව වාර්තා කිරීම, දිවා-රාත්‍රී මාර්ග බාධක දමා පරීක්ෂා කිරීම් කර පුපුරණ ද්‍රව්‍ය සහ සැකකටයුතු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම, බුද්ධි තොරතුරුවල සඳහන් පුද්ගලයන්ගේ ඡායාරූප සොයාගෙන සියලු‍ පොලිස් නිලධාරීන් දැනුවත් කිරීම, දුම්රිය ස්ථාන, ප්‍රධාන බස් නැවතුම්පොළවල් සහ මහජනයා වැඩිපුර⁣ගැවසෙන ස්ථානවල සිවිල් ඇඳුමෙන් පොලිස් නිලධාරීන් යොදවා තොරතුරු ලබාගැනීම සහ අදාළ ස්ථානවලට ගිනිඅවි සහිත නිලධාරීන් යොදවා ආරක්ෂාව සහතික කිරීම කළ යුතු බවට අප්‍රේල් 13දා පැවැති රැස්වීමේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයසිංහ තමන් යටතේ සිටින පොලිස් නිලධාරීන්ට උපදෙස් දී ඇත.
මේ ලේඛනය පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සී-15 ලෙස නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකගේ සාක්ෂිය අතරතුර ලකුණු කර තිබේ.

කෙසේ වෙතත් අදාළ නියෝග ඔහු යටතේ සිටි නිලධාරීන් විසින් ක්‍රියාත්මක නොකිරීම පිළිබඳවත්, එසේ නියෝග ක්‍රියාත්මක නොකළේ කාගේ නියෝගයක් මත ද යන්න පිළිබඳවත් මෙතෙක් අපරාධ විමර්ශනයක් සිදු කර නැති අතර, එසේ වගකීම් පැහැරහරින ලද නිලධාරීන් කිසිවකු ද අත්අඩංගුවට ගෙන නැත.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...