ආචි වෝන්, කේශන සහ ශ්‍රී ලංකාව

Share post:

තාම එංගලන්තයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා දහනමයෙන් පහළ යොවුන් කණ්ඩායමේ පළමු නිල නොවන ටෙස්ට් තරගය අවසන් වුණා.
පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන් සියලූම දෙනා දැවී ලකුණු 324 ක් රැස් කළා.
නායක දිනුර කළුපහන විශිෂ්ට ශතකයක් රැස් කරමින් ලකුණු 104 ක් ලබා ගත්තා.
සිය පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමට රැස් කර ගත හැකි වූයේ ලකුණු 247 ක් පමණයි.
ඒ අනුව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ලකුණු 77 ක පළමු ඉනිමේ ජයග්‍රහණයක් වාර්තා කළා.
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ එංගලන්ත සංචාරය ආරම්භ වූයේ පසුගිය ජුනි 25 වෙනිදා සිටයි.
සංචාරයට එක්දින තරග තුනක් සහ ටෙස්ට් තරග දෙකක් ඇතුලත්.
එක්දින තරගාවලිය එංගලන්ත යොවුන් කණ්ඩායම 2 -1 ක් ලෙස ජය ගත්තා.
පළමු එක්දින තරගය ජයගත්තේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමයි.
දෙවන සහ තෙවන තරග එංගලන්ත යොවුන් කණ්ඩායම ජයග්‍රහණය කළා.
දහනමයෙන් පහළ යොවුන් ලෝක කුසලානයත් පැවැත්වුණේ මේ වසරේදීයි.
එය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අසාර්ථක වූ තරගාවලියක්.
එංගලන්ත තරගාවලිය උදෙසා තේරීම් කමිටුව දහනමයෙන් පහළ කණ්ඩායමේ නායකත්වය වෙනස් කළා.
මින් පෙර පැවැති යොවුන් ලෝක කුසලානයේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායකයා වූයේ රාජකීය විද්‍යාලයේ සිනෙත් ජයවර්ධනයි.
කණ්ඩායමේ නොම්මර තුන පිතිකරුවා ලෙස ක්‍රීඩා කළ සිනෙත්, එම තරගාවලිය පුරා අසාර්ථක වුණා.
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමටත් තරගාවලියේ සුපිරි අට වටයෙන් ඉවත් වීමට සිදු වුණා.
ශ්‍රී ලංකාවේ අසාර්ථකත්වයට සිනෙත් ජයවර්ධන ප්‍රධාන හේතුවක් වූ බව කීම අසත්‍යක් නොවෙයි.
පිතිකරුවෙක් වශයෙන් ද, නායකයෙක් වශයෙන් ද ඔහු ප්‍රදර්ශනය කළේ අතිශය දුර්වල ක්‍රීඩා විලාශයක්.
එංගලන්ත යොවුන් කණ්ඩායම සමග වූ තරගාවලියට දිනුර කළුපහනට නායකත්වය හිමි වූයේ ඉන් පසුවයි.
සිනෙත් ජයවර්ධනට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ස්ථානය පවා අහිමි වී තිබෙනවා.
මෙය සාමාන්‍ය සිදුවීමක් නොවෙයි.
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම යනු ජාතික කණ්ඩායමට පෙර, පාසැල් ක්‍රිකට් ක්‍රීඩාවෙන් එළියට පැමිණෙන ක්‍රීඩකයන්ට අත්දැකීම් සහ අවස්ථාවන් විවර කරනා සංචිතයයි.
එම කණ්ඩායමට ඇතුලත් විය යුත්තේ මෙරට සිටිනා දක්ෂතම යොවුන් ක්‍රීඩකයන් පමණයි.
දෙමාපියන්ගේ බලපෑම් සහ මිත්‍රත්වයන්, පාසැල් පුහුණුකරුවන් හෝ පාසැල් ආදිශිෂ්‍ය සංගම් හි බලපෑම් හෝ වෙනත් කිසිඳු සාධකයකට ඊට මැදිහත් වීමට ඉඩ දිය යුතු නැහැ.
නමුත් යොවුන් ලෝක කුසලාන තේරීම් වලදි සහ නායකත්වය ලබා දීමේදි මෙරට තේරීම් හි කුමක් හෝ අඩුවක් සිදුව ඇති බව දැන් පැහැදිලියි.
ශ්‍රී ලංකාව සමග වූ පළමු ටෙස්ට් තරගයේ එංගලන්තය වෙනුවෙන් දෙවැනි වැඩිම ලකුණුලාභියා වූයේ දිනෙත් කේශන ෆොන්සේකායි.
එංගලන්ත කණ්ඩායමේ නොම්මර තුන පිතිකරුවා වූ ඔහු ලකුණු 86 ක් ලබා ගත්තා.
සාමාන්‍යයෙන් කණ්ඩායමක ප්‍රධාන පිතිකරුවාට හිමිවන නොම්මර තුන ස්ථානය දිනෙත් කේශන වෙනුවෙන් වෙන්ව තිබුණා.
එංගලන්ත කණ්ඩායමේ නොම්මර හය පිතිකරුවා වූයේ රොකී ෆ්ලින්ටොෆ්.
ඔහු එරට පුරාවෘත්ත ක්‍රීඩක ඇන්ඩෘ ෆ්ලිංටොෆ් ගේ පුතණුවන්.
හිටපු එංගලන්ත නායක මයිකල් වෝන්ගේ පුතු ආර්චි වෝන් ද එංගලන්ත යොවුන් සංචිතයේ සිටිනවා.
ඔහු මුල්පෙළ පිතිකරුවෙක්.
එනමුත් පළමු ටෙස්ට් තරගය සඳහා ආචි වෝන්ට අවස්ථාවක් හිමි වූයේ නැහැ.
ඒ සඳහා ඔහුගේ ආසන්න දක්ෂතා ප්‍රමාණවත් නොවීම ඊට හේතුවයි.
එම නිසා අවසන් එකොළොස්දෙනාගෙන් ඔහු හැලී ගියා.
මයිකල් වෝන් එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයක්. විශාල බලයක් සහිත පුද්ගලයෙක්.
වර්තමානයේ ඔහු විශාල සිවිල් බලයක් සහිත ක්‍රිකට් විචාරකයෙක්.
සමස්ථ එංගලන්ත මාධ්‍යය බලා සිටියේ ඇන්ඩෘ ෆ්ලිංටොෆ් ගේ පුතු සහ මයිකල් වෝන් ගේ පුතු එකට ක්‍රීඩා කරනා තරගයක් වාර්තා කිරීමටයි.
එය විකිණිය හැකි, ආකර්ෂණීය පුවතක්.
නමුත් මයිකල් වෝන් ගේ බලය සහ අතීතය එංගලන්තයේ දී ආචි වෝන් ට ස්ථානයක් ලබා දීමට අදාල සාධකයක් නොවෙයි.
අවසානයේ ආර්චි වෝන් හැලෙද්දී, රොකී ෆ්ලිංටොෆ් නොම්මර හය ක්‍රීඩා කරද්දී, ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත කේශන ට නොම්මර තුන ස්ථානය වෙන් කෙරුණා.
කේශන ෆොන්සේකා ට බලවත් දෙමාපියන් නැහැ.
ඔහුට බලවත් සබඳතා හෝ සිවිල් බලයක් ද නැහැ.
ඔහු ඉංග්‍රීසි ජාතිකයෙකුත් නොවෙයි. ඔහු මාධ්‍යයේ විකිණිය හැකි ක්‍රීඩකයෙක් ද නොවෙයි.
ඔහු සතුව ඇත්තේ කුසලතාවය පමණයි.
නමුත් එංගලන්ත බලධාරීන් මයිකල් වෝන් ගේ පුතු ඉවත් කරමින්, සංක්‍රමණික ශ්‍රී ලාංකේය දෙමාපියන් දෙදෙනෙකුගේ දරුවෙකුට අවස්ථාව ලබා දුන්නා.
පිතිකරණ ලයිස්තුවේ ඇන්ඩෘ ෆ්ලිංටොෆ් ගේ පුතුට වඩා ඉහළ ස්ථානයක් ඔහුට වෙන් කළා.
ඒ දක්ෂතාවය නිසයි.
එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ තේරීම් සඳහා අදාල දක්ෂතාවය, කුසලතාවය සහ විශ්වාසය පමණයි.
නායකත්වය, නොම්මර තුන ස්ථානය හෝ කණ්ඩායමක තැනක් ලබා දීමට අදාල එම දක්ෂතාවය පමණයි.
නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ, පාසැල් ක්‍රිකට් ක්‍රීඩාවේ සහ යොවුන් ක්‍රිකට් ක්‍රීඩාවේ දී නායකත්වය, නොම්මර තුන සහ කණ්ඩායමේ ස්ථාන ලබා දීමේදි සලකා බැලෙන වෙනත් සාධක බොහෝ තිබෙනවා.
එංගලන්තයේ දී අවස්ථාව හිමි වූවත්, කේශන ශ්‍රී ලංකාවේ ග්‍රාමීය පාසලක ක්‍රීඩා කළා නම් කොතරම් දක්ෂ වූවත් ඔහුට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ අවස්ථාවක් හිමි නොවීමට තිබුණා.
එංගලන්තයේ සහ ශ්‍රී ලංකාවේ ජාතික තේරීම් හි වෙනස එයයි.

ඉරේෂාන් සිරිවර්ධන(fb)

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...