‘නටු’ – මාලන් බණ්ඩාර කපුවත්ත
ලාංකීය කාව්‍ය පිළිබඳ කතාබහ තුළට හයිකු කාව්‍ය සම්ප්‍රදාය සම්බන්ධ සංවාදය ඇතුළුවී දැන් සැලකිය යුතු කාලයක් ගෙවී හමාරය. ජපන් හයිකු එලෙසින්ම අපට ආදේශ කරගත නොහැකි වුවද ඒ ඇසුරෙහි නිර්මාණය කරගත් කෙටි කවිය පසුගිය කාලය පුරා හෙමිහිට වර්ධනය වූවේ ඊට එරෙහිව නොයෙක් ආකාරයන්ගෙන් මතුව ආ විවේචන, විචාර මෙන්ම දෝෂාරෝපණයන්ද උසුලා ගනිමිනි. වෙසෙසින්ම රණවීර – නන්දන යුගලය විසින් කවියෙහි සංක්ෂිප්තභාවය සම්බන්ධයෙන් කරන ලද අත්හදා බැලීම් සහ ඒ ගැන කෙරුණ ලිවීම අතරෙහි හයිකු කාව්‍යයන්හී ගැබ් විය යුතුය යනුවෙන් සැලකුණු මූලික ලක්ෂණයන්ද ඉක්මවා ලාංකීය කෙටි කවිය ඉදිරිය බලා ඇදුනේ සොබා දහම සහ මිනිසා අතර සම්බන්ධය, තත් ක්ෂණයෙහි පැන නැගි සිතුවිළි පල කිරීම, සොබා දහම කෙරේ වන නිරීක්ෂණයන් යන පොදු පාර්ශවයන් ඉක්මවා සමාජ විචාරක කවියක්ද නිර්මාණය කරමිනි. මේ වන විට පැහැදැලිව ඇති තත්වය වනුයේ සංක්ෂිප්ත කවිය – කෙටි කවිය යන්න ඉතා තදින් අප සමාජයෙහි භාවිතාවන්නට පටන් ගෙන ඇති බව සහ ඒ බෙහෙවින් ජනප්‍රියත්වයටද පත්ව ඇති බවයි. මෙහිදී කෙටි කවියෙහි සමාජ විචාරක භූමිකාව සම්බන්ධයෙන් ආරම්භක පියවර තැබූ නිර්මාණකරුවන් අතර සමර විජේසිංහ සහ ඉන්දික ගුණවර්ධන කැපී පෙනයි. මේ දෙදෙනාම අද අප අතර නැතද ඔවුන් තැබූ සළකුණු අදටත් එලෙසම පවතී.
මාලන් බණ්ඩාර කපුවත්ත අයත් වනුයේ මෙ කියනා කෙටි කවි මාර්ගයෙහි හෙමිහිට බර අඩි තබා එන කවියන් අතරටය. ඔහු බසෙහි අසිරිය විඳිමින්, ඇවැසි ලෙස බසෙහි වෙලෙමින්, නව යෙදුම් නිපදවමින්, නිරීක්ෂකයෙකු, විචාරකයකු මෙන්ම චින්තකයකු ලෙසද සිය කවි මග හසුරුවයි. ඔහුගේ කවිය යනු නිවී සැනසිල්ලේ විඳගන්නට ඇරයුම් කරනා එහෙත් ඒ විඳ ගැන්ම හරහා කවියෙහි ගැඹුර තුළ ලොවෙහි ගැඹුරද දකින්නට ද කරනු ලබනා ඇරයුමකි. විටෙක ඔහු සොබා දහම හා මිනිසා අතර වන සම්බන්ධයෙහි විවිධ පාර්ශවයන් විමසයි. ඒ අතරම ඔහු මනුෂ්‍ය පැවැත්ම සහ සම්බන්ධතාවන්හී විසිතුර මෙන්ම එහි අව පැහැයද සිත්තම් කරයි. යළි මනුෂ්‍ය සංවේදනයන් වෙත යොමු වන ඔහු අපට ජීවත් වන්නට බල කරනු ලබනා ඊනියා සමාජය කෙරෙහිද නැඹුරු වෙයි. එහෙයින් ඔහුගේ කවි විචිත්‍රය, විවිධය, අරුතින් පොහොසත් වන අතරම පාඨක පරිකල්පනයද පුළුල් කරන්නට ඉවහල් වන තරමට ආකර්ශණීය ය.
කනත්තේ ඇහැල ගස්
මල් හලමින්
මල් හැලෙනු දකිමින්
තුටු වතින්
සොබා දහමෙහි ගලා යාම සමගින් මනුෂ්‍ය ජීවිතයේ ස්වභාවයද විමසන මේ කවිය මාලන්ගේ කවියෙහි ඇති ගැඹුර මනාව විදහන නිර්මාණයකි. කනත්තේ ඇහැල ගස් යනුවෙන් ඔහු අපට ගෙන එන රූප රාමුව ඒ ඇහැල තුරට ජීවය කවමින් එහි ක්‍රියාකාරීත්වය මගින් ජීවිතයේ නග්න යථාර්තය අපට ගෙනහැර දක්වයි. වර්තමානයේ විහිලුවක් බවට පත්ව ඇති වාණිජ බණට වඩා මාලන්ගේ කවිය ජීවිත දර්ශනය අතින් පොහොසත්ය.
ඇර බලමි අල්මාරිය
සුවෙන්දැයි
මගුල් පින්තූරය
සමකාලීන ජීවිතයේ විසුළු ස්වභාවය මෙන්ම එහි ගැබ්වන කටුකත්වයද ඉස්මතු කරවන මේ කවිය පාඨකයා හට නෙක අරුත් මවමින් විඳින්නට හැකි කවකි. මගුල් පින්තූරය යනු නිවෙසක සාලයේ ඉස්සරහින්ම තැබෙනා කෞතුක වස්තුවකි. එසේම මංගල්‍යෙය් වීඩියෝව යනු පළමුව ආහ්ලාදයෙන් නරඹන කලක් ගතවන විට මියගිය නෑසියන්ගේ රුව දකින්නට කඳුළින් බර දෙනෙතින් නරඹන අපූර්ව චලන සිත්තමකි. කවියා අපට ගෙනෙනුයේ අල්මාරියක දමන ලද මගුල් පින්තූරයකි. එසේ එය අල්මාරියට යන්නට බලපානා හේතු විවිධ විය හැකිය. මරණය, වෙන්ව යාම, හෙම්බත්වීම ආදී වශයෙන් විවිධ කාරණා ඊට බලපෑ හැකිය. මාලන් තම කවිය මගින් එසේ පාඨකයා හට තම පරිකලපනයේ බලය අවදි කරන්නට කවිය හරහා ඉඩ සලසයි.
බැඳුම් යනු ජීවිතයෙහි සුන්දරත්වය වෙත මගකැයි විශ්වාස කලද නිදහස යනු අනෙකා සමගින් වඩාත් මානුෂික මෙන්ම සුන්දර සබැඳියාවකට මලග සලසන්නකැයි වටහා ගැනීම ලෙහෙසි නැත. මාලන් මේ වෙත යොමු වන්නේ සොබා දහම සහ ඒ පාලනය කරන්නට තැත් දරනා මිනිස් හස්තයේ ක්‍රියාකාරීත්වය විමසමිනි.
බඳ බැඳි
ඉන්න ගලවමි
කරපිංචා පැලය
රිසි සේ සැලෙයි දැන්
සුළඟෙහි
කෙටි කවියෙහි ඇති පුළුල් බව විමසන්නට ඇවැසි මාර්ගෝපදේශ සපයනා බලවත් කවි මාලන්ගේ කවි එකතුවෙහි නිතර හමුවෙයි. කුටුම්භගත ජීවිතයේ සංකීර්ණත්වය ඔහු කවියට ගෙනෙනුයේ මේ අයුරිනි.
ඇඳිරියෙහි
ගෙහිමි සොයයි
නිවුණු පහන
නිවුණු පහන යනු ඉතා බරට ගත හැකි රූපකයකි. ගෙහිමියා එය සොයන්නේ ඇඳිරියෙහිය. මේ අඳුර කවරාකාර අඳුරක්ද? ගෙහිමියා පහන තිබියදීම අඳුරෙහි වැටුනේ මන්ද? එසේම ඇඳිරියට පෙර ඔහුට පහන වටිනාකමින් තොරවීද? පහන නිවුණි යන්න අඟවනුයේ වියොවද? එසේම ඒ වියොව නම් ඉන් ඇඟ වෙනුයේ මරණයද නැතිනම් වෙන්ව යාමද? කවිය මේ සියල්ලටම විවෘතය. කවියා පසෙකට වී මදහසින් යුතුව බලා සිටී. දැන් කවියා විය යුත්තේ පාඨකයාමය. ඔහුට ඒ කවිය ගෙන තමන්ට දැනෙනා අරුත් හා ගටමින් කවියෙහි විසිතුර අත්විඳින්නට හැකිය.
ප්‍රදීප් සාරංග කුමාරගේ එක කවියක නම වනුයේ තාත්තාගේ මගුල් පින්තූරය යි. ඒ ඉතා ප්‍රබල කවියකි. කුටුම්භය තුළ මවකගේ භූමිකාව සෙවණැලි අතර සැඟව යන ආකාරය ඔහු ඒ කව තුළින් විමසයි. මාලන්ගේ මේ කෙටි කවද එබඳුම ප්‍රබල කවියකි.
මඟුල් පින්තූරයෙත්
අම්මා පෙනෙන්නේ
තනිව ම
සම්ප්‍රදාය විසින් අපට දී ඇති ඇතැම් රූපකයන් භාවිතයට ගෙන මාලන් විටෙක නිර්මාණය කරනා කවිය අති සියුම් උපහාසයක් ජනිත කරන්නකි. අල තවමත් සිටිනුයේ තුරක් නැතිව ලතාවකට ගමනක් නැතැයි යන අදහස ප්‍රවර්ධනය කරමිනි. ඒ අනුව කතකට පිරිමියාගෙන් තොර පැවැත්මක් නැතිය. අපේ සමජයේ අදහස් බොහෝ විට පදනම් වනුයේ මේ අදහසෙහිය. ගෘහ ජීවිතය පමණක් නොව රැකියා ජීවිතයේද කාන්තාව සම්බන්ධයෙන් වන ආකල්ප මේ ආකාරයමය. මාලන් ඊට එල්ල කරනා කාව්‍යමය විචාරය මෙයයි.
වැලට දැන්
මහ බරක්
ඇඟටම ඇලුණු
තුඟු තුර
මාලන් ගේ කවි තුළ ගැබ්වන දේශපාලනයද බෙහෙවින් සියුම් ය. ඒ සියුම් බව විඳින්නට පාඨකයා ද සියුම් පරිකල්පනය ඇත්තකු විය යුතුමය. සොබා දහමෙහි සංසිද්ධියක් ගෙන ඔහු නිමවන මේ කවිය ඊට මනා නිදසුනකි.
හරස් කොට තැබුවෙමි
මුගුරක්
නව මගක් ගෙන
කුහුඹු රැල
මේ ඔහුගේ තවත් එවැනිම කවකි.
කන් සිදුරු කළ
රෑහි හඬ ඉක්මවූ තැන
අරුණෝදය
රෑහි නදින් හෙම්බත්ව සිටිනාතර මාලන්ගේ කවි විඳින්නට හැකි නම් කදිමය.