කතාව සහ ක්‍රියාව

Share post:

ලෝක කුසලානයට ක්‍රීඩා කරන කණ්ඩායම් අතරින් ශ්‍රී ලංකාවට තරම් විශේෂඥ උපදේශකයන් සහ පුහුණුකරුවන් සිටිනා කණ්ඩායමක් තවත් නැතුව ඇති.
පුහුණු කාර්ය මණ්ඩලයට අමතරව සනත් ජයසූරිය විශේෂඥ උපදේශකයෙකු ලෙස කණ්ඩායමට එක් වී සිටිනවා.
මහේල ජයවර්ධන විශේෂඥ පුහුණුකරුවෙකු ලෙස කණ්ඩායමට උපදෙස් ලබා දෙනවා.
එනමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ තරගය පරාජය වීමට ප්‍රධාන වශයෙන්ම බලපෑවේ වැරදි තීරණ සහ කියවීම්.
කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ තීරණයම වැරදි එකක්.
එමෙන්ම වේග පන්දු යවන්නන් දෙදෙනෙකු පමණක් යොදා ගැනීමේ තීරණයත් වැරදුණා.
එම වේග පන්දු යවන්නන් දෙදෙනාම හරස් අතින් පන්දු යවන්නන්.
මෙවැනි තනතීරුවකට වඩා උචිත සීමය තනතීරුවේ වද්දමින් පන්දු යැවිය හැකි වේග පන්දු යවන්නන් දෙදෙනාම ඊයේ නොසලකා හැරියා.
ඇතැම් විටෙක මේ වැරදි කියවීම් සහ තීරණ, තරගයෙන් පසුව විවේචනය කිරීම අසාධාරණ යැයි කෙනෙකුට තර්ක කළ හැකියි.
මන්ද මෙම තනතීරුව සහ ක්‍රීඩා පිටිය අලුත් එකක්.
ඒ පිළිබඳව විශ්ලේෂණය කිරීමට ප්‍රමාණවත් දත්ත පවතින්නේ නැහැ.
එනමුත් දකුණු අප්‍රිකානු කණ්ඩායම නිවැරදිව තනතීරුව කියවා තිබුණා.
කාසියේ වාසිය පරාජය වීමෙන් පසු ඔවුන් සිටියේ කොහොමත් පන්දු යැවීමට බව දකුණු අප්‍රිකානු නායකයා කිව්වා.
ඔවුන් වේග පන්දු යවන්නන් සිව්දෙනෙකු සමග ක්‍රීඩා කළා.
ඒ අනුව දකුණු අප්‍රිකානු කළමණාකාරීත්වය තනතීරුව සහ තත්ත්ව නිවැරදිව කියවා තිබූ බව පැහැදිලියි.
එසේ නොමැතිනම් කිසිවිටෙකත් වේග පන්දු යවන්නන් සිව්දෙනෙක් T20 තරගයකට යොදාගන්නේ නැහැ.
දකුණු අප්‍රිකානු පුහුණු කාර්ය මණ්ඩලය, ශ්‍රී ලංකා පුහුණු කාර්ය මණ්ඩලය තරම් ඔලු ගෙඩි ගණනින් විශාල නැහැ.
එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය පුහුණු කාර්ය මණ්ඩලය වෙනුවෙන් වෙන් කර ඇති මුදල තරම් මුදලක් ඔවුන් වැය කරන්නේ ද නැහැ.
මෙම තීරණ සහ කියවීම් වැරදීම අප කියවා ගත යුත්තේ ඒ පදනමේ සිටයි.
තරගයේ මුල් සැලසුමේ ශ්‍රී ලංකාව ලකුණු 160 ක් ඉලක්ක කර තිබුණා.
එම අගය වැරදි බව ඉතා ඉක්මණින් ඔප්පු වුණා.
පන්දුවාර කිහිපයක් අවසානයේ හෝ ඔවුන් තනතීරුවේ තත්ත්ව අනුව සිය සැලසුම් වෙනස් කළේ නැහැ.
එය පුහුණු කාර්ය මණ්ඩලයේ අතපසුවීමක්.
ඇතැම් විටෙක මේ පෙර සුදානම් වීම නිසිලෙස සිදු කළා නම් තරගයේ ප්‍රතිඵල වුනත් වෙනස් වීමට තිබුණා.
වේග පන්දුවට උචිත තනතීරුවේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් විශාල හදවතකින් පන්දු යැව්වා.
ලකුණු අසූවක ඉලක්කය දකුණු අප්‍රිකානු කණ්ඩායමට කිසිඳු ලෙසකින් පහසු එකක් වූයේ නැහැ.
තරගය ශ්‍රී ලංකාව පැරදුණේ පිතිකරණයෙන් සහ සැලසුම්කරණයෙන්.
පසුගිය ලෝක කුසලානයේ දී මාධ්‍යයේ ප්‍රධාන කථිකයෙකු වූ සනත් ජයසූරිය මෙවර කණ්ඩායමේ උපදේශන පුහුණුකරුවෙක්.
සනත් ඊයේ කණ්ඩායම සමග නොසිට මාධ්‍යයේ සිටියා නම්, කණ්ඩායමත්, කළමණාකාරීත්වයේ තීරණත් සිය අතීත අත්දැකීම් සමග ගලපා දැඩිව විවේචනය කරනු නියතයි.
96 කණ්ඩායමේ දී තමන් තනතීරු කියවූ අයුරුත්, වත්මන් කණ්ඩායම සහ කළමණාකාරීත්වය එවැනි සරල දෙයකට පවා අසමත් වී තිබෙන අයුරුත් පිළිබඳ විටෙක කෝපයෙනුත්, විටෙක විශ්මයෙනුත් සනත් විවේචනය කරාවි.
නමුත් කණ්ඩායම සමග සිටිනා උපදේශන පුහුණුකරු සනත් අසාර්ථකයි.
නිවුයෝර්ක් තනතීරුව කියවා ගැනීමට ඔහු සහ කණ්ඩායම දරුණු ලෙස අසමත්.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට මූලික හේතුවත් එයයි.
මෑත යුගයේ ශ්‍රී ලංකාවේ බොහෝ අංශ වල අසාර්ථකත්වයට හේතුවත් මේ කථිකත්වයේ සහ සැබෑ ක්‍රියාවේ ඇති වෙනසමයි.

ඉරේෂාන් සිරිවර්ධන(fb)

     2024. 06. 04

Related articles

සිහි විකල් කරවන යථාර්ථයක විකාරරූපී ප්‍රතිබිම්බය: බන්දුජීවගේ ‘ධූමලාවණ්‍යාගාරය’

සිය දෙවන කාව්‍ය සංග්‍රහයෙන් වසර දහයකට පසුව, රුවන් බන්දුජීව සිය තෙවන කෘතිය වන 'ධූමලාවණ්‍යාගාරය' රචනා කරන්නේ, පෙර කෘතියට...

මව්බිම මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කම්කරු කොමසාරිස්ට ලියයි !

දිනපතා පුවත්පත් කිහිපයක මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවයට එල්ල වී ඇති සෘණාත්මක බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා ඵලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක්වචන අවභාවිතා...

තරිඳුගේ පෙත්සම : වාචික පැමිණිල්ලක් කළ නිසා කාලාවරෝධයෙන් සහනයක් ඕනෑ – පැමිණිලිකරු : කොමිසමේ ස්වයංක්‍රීය පරීක්ෂණයක සහනය පෙත්සම්කරුට නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

මානව හිමිකම් කොමිසම මගින් ආරම්භ කරන ලද පරීක්ෂණයක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම සඳහා ලැබෙන සහනය ලබාදීමට අදාළ නොවන බව...