සාධාරණ නඩු විභාගයක් ඕනෙ : මන්ත්‍රී ඝාතන සැකකරුවන්ගේ ඇප අවලංගු කරන්නැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි !

448

2022 මැයි 09දා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ පොලිස් ආරක්ෂකයා ඝාතනය කිරීමේ නඩුවේ විත්තිකරුවන් 41 දෙනෙකුට මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ලබාදුන් ඇප අවලංගු කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

විත්තිකරුවන් ඇප මත මුදාහැරීම සාධාරණ නඩු විභාගයක් පැවැත්වීමට බාධාවක් වනු ඇති බවට නීතිපතිවරයා මෙහිදී තර්ක කර ඇත.

මහාධිකරණය විසින් ලබාදුන් ඇප නියෝගය අවලංගු කරන ලෙසත්, නඩු විභාගය අවසන් වනතුරු විත්තිකරු රිමාන්ඩ් භාරයේ තබන ලෙසත් නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

නීතිපතිවරයාගේ පෙත්සම මගින් අදාළ 41 දෙනාම වගඋත්තරකරුවන් ලෙස දක්වා ඇති අතර, පෙත්සම පෙබරවාරි 12 වැනිදා විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවීමට නියමිතය.

මේ අතර, හිටපු මන්ත්‍රීවරයා සහ ඔහුගේ ආරක්ෂකයා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගය මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන්, රශ්මි සිංගප්පුලි සහ ඒ.ඩී. රුවන් පතිරණ යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ගම්පහ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ දී යළි කැඳවීමට නියමිතය.