2023 : කෝටි 15ක් වන්දි ගෙවන්නැයි පූජිත්, සීඩී, දේශබන්දු ඇතුළු පොලිස් නිලධාරීන්ට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරලා !

Share post:

2023 වසර තුළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම හේතුවෙන් සිය පෞද්ගලික මුදල්වලින් රුපියල් පහළොස් කෝටි විසි තුන්ලක්ෂ හැත්තෑ දහසක (රුපියල් 152,370,000) මුදලක් අගතියට පත්වූවන්ට වන්දි වශයෙන් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස් නිලධාරීන්ට නියෝග කර ඇති බව බීබීසී සිංහල පුවත් සේවය පවසයි.

ශ්‍රේෂ්ඨාධිකරණ වාර්තා පෙන්වා දෙන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් මූලික අයිතිවාසිකම් හඳුන්වාදීමෙන් අනතුරුව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම නිසා වසරක් තුළ පොලිස් නිලධාරීන්ට සිය පුද්ගලික මුදල්වලින් ගෙවීමට සිදු වූ වැඩිම වන්දි මුදල් ප්‍රමාණය මෙය බවයි.

ඒ අනුව 2023 වසර මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම නිසා අගතියට පත්වූ වින්දිතයන් රැසකට යුක්තිය ඉටු වූ වසරක් ලෙස සැලකේ.

මානව හිමිකම් පෙත්සම්වලට අදාළ නඩු තීන්දු 8ක් මගින් මෙසේ වන්දි ගෙවන ලෙස නියම වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 20කි.

මේ ආකරයට මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පොලිස් නිලධාරීන් අතරට හිටපු පොලිස්පතිවරුන් වන පූජිත් ජයසුන්දර සහ සී.ඩී වික්‍රමරත්න, වත්මන් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, වත්මන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයකු වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්. තිලකරත්න යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද ඇතුළත් වේ.

එමෙන්ම පොලිස් දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලැබූ මෙම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් වෙනුවෙන් රජයට ගෙවීමට සිදුව ඇති වන්දි මුදල රුපියල් 3,250,000 ක් බව වාර්තා මඟින් අනාවරණය වී තිබේ.

පුද්ගලයන් නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම, රඳවා ගැනීම, වධහිංසාවට ලක්කිරීම, රාජකාරිය පැහැර හැරීම, බලය අයුතු ලෙස පරිහරණය කිරීම යනාදී චෝදනා සම්බන්ධයෙන් මෙම නිලධාරීන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වැරදිකරුවන් ලෙස නම් කර ඇත.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ වත්මන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධනට මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 75 බැගින් සිය පෞද්ගලික මුදල්වලින් වන්දි ගෙවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත් වසරේ ජනවාරි මස නියෝග කර තිබිණි. ඒ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක තීන්දුව ලබාදෙමිනුයි.

එමෙන්ම 2010 වසරේ මිල්ලව ප්‍රදේශයේ පදිංචි හිටපු හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස වධහිංසනයට භාජනය කිරීම තුළින් වත්මන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් තුන්දෙනෙකු විසින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරුවන් කරන බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් දෙසැම්බර් මාසයේදී තීන්දු කරන ලදි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...