පොලිස්පති පත්කොට දින 6කට පසු ජනපතිගේ සේවා දිගුවට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය !

Share post:

නැවත පත්කරන ලද පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නට ලබාදුන් මාස 03ක සේවා දිගුව සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලැබී තිබේ.

ඊයේ (14) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වී තිබිණි. එහිදී ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවේ ආවරණ අනුමැතියට යටත් ව ලබාදුන් මෙම සේවා දිගුවට සාකච්ඡාවකින් තොරව ම අනුමැතිය ලබා දී ඇත.

ඊයේ අප වාර්තා කළේ සේවා දිගු 2ක් ලබාදීමෙන් පසු විශ්‍රාම ලත් හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්නට නැවතත් සේවා දිගුවක් ලබාදීම දින 6ක් ගතවීමෙන් පසුවත් ව්‍යවස්ථාදායක සභාව මගින් අනුමත කර නැති බවයි.

ආවරණ අනුමැතිය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම සේවා දිගුව ලබාදී ඇත්තේ මාස 03ක කාලයක් සඳහා ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබාගැනීමකින් තොරව, ව්‍යවස්ථාදායක සභාවේ ආවරණ අනුමැතියට යටත් ව පසුගිය 09දා සිට මෙම පත්කිරීම සිදු කර ඇත. ඔහුගේ දෙවැනි සේවා දිගුව මාර්තු 26දා සිට ජුනි 26දා දක්වා විය.

මෙසේ ආවරණ අනුමැතියට යටත් ව තීරණාත්මක තීන්දු ගැනීම ව්‍යවස්ථා විරෝධී බව ජ්‍යෙෂ්ඨ නීතිවේදීන්ගේ අදහසයි. එමගින් ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාව සතු බලතල අනියමින් උදුරාගැනීමක් සිදුකරන බව ඔවුහු පෙන්වා දෙති.

මේ ආකාරයට ම පසුගිය කාලයේ දැඩි ආන්දෝලනයට තුඩු දුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 7 දෙනෙකුට එකවර ස්ථාන මාරු ලබාදීම ද සිදුකරන ලද්දේ ජාතික පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව ය. එම ස්ථාන මාරුවීම් සිදුකරන ලද්දේ ද චන්දන වික්‍රමරත්න පොලිස්පතිවරයා සිය දෙවැනි සේවා දිගුව කාලයේදී ය.

කෙසේ වෙතත් තවත් නීතිවේදීන් පිරිසක් පෙන්වා දෙන්නේ නව පොලිස්පතිවරයෙකු පත්කිරීමක් මෙහිදී සිදුකර නැති නිසා ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ගැටළුවක් මතුනොවන බවයි.  

සාමාජිකයන් කවුද?

කතානායක මහින්ද යාපා අබේවර්ධන සභාපතිත්වය දරන ව්‍යවස්ථාදායක සභාවේ සෙසු සාමාජිකයන් වන්නේ අගමැති දිනේෂ් ගුණවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, නිමල් සිරිපාල ද සිල්වා, සාගර කාරියවසම්, කබීර් හෂීම්, ආචාර්ය ප්‍රතාප් රාමනුජම්, ආචාර්ය අනුලා විජේසුන්දර, ආචාර්ය වැලිගම විදාන ආරච්චිගේ සහ දිනේෂා සමරරත්න ය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...