ප්‍රේමයට අදාළව සංස්කෘතික නිර්භයත්වයේ පවතින සුන්දරත්වය

Share post:

අද අපි ජීවත් වෙන්නෙ සංස්කෘතික යක්ෂයා විසින් ගිල ගනිමින් ඉන්න දේශයක. ඒ හින්දා මිනිස්සුන්ට කල්ගත කරන්න වෙලා තියෙන්නෙ මේ යක්ෂයට බයෙන්. මේ සංස්කෘතික යක්ෂයා වැඩිහිටියන්ගෙ, අධ්‍යාපනයෙ, ආගමේ වේශයෙන් ගොදුරු ඉව අල්ලමින් හැම තැනම සැරිසරනවා. විකසිත වන යෞවනයෙ නැවුම් අදහස් වගේම චර්යාවන් එක්ක මේ යක්ෂයට තියෙන්නෙ ජන්මාන්තර වෛරයක්. ඒවගේම මේ සංස්කෘතික යක්ෂයට ප්‍රේමයෙ කිසිම හැඩතලයක් ඉවසන්න බෑ. මේ යක්ෂාගමනය මුග්ධත්වයෙ වගේම ප්‍රබුද්ධත්වයෙ මාදිලි තුළ ක්‍රියාත්මක වෙනවා .අපි නූතන, පශ්චාත්නූතන කියලා හඳුන්වන සමාජවල පවා මේ සංස්කෘතික යක්ෂත්වය උත්කර්ෂයට නැංවෙනවා.විශේෂයෙන් ප්‍රේමයටයි සරාගයටයි අලවන විවිධාකාර ලේබල්වලින් මේ විපරීත බව තව තවත් ගොජ දමනවා.

ලියනගේ අමරකීර්තිගේ අලුත්ම නවකතාව ‘කැළලිකාරයෝ’ මේ සංස්කෘතික යක්ෂයට බයෙන් අතපය අකුලගෙන ඉන්න වගේම ඒ අවතාරය තුට්ටුවකට මායිම් කරන්නෙ නැති මිනිස්සුන්ගෙ ජීවිත ගලා යන හැටි ගැන කතාපුවතක්. ජීවිතයෙ විවිධ අවධිවලදි ප්‍රේමය සහ සරාගය වැඩ කරන හැටි අමරකීර්ති පාඨකයගේ අවධානයට ලක් කරනවා.ප්‍රේමයෙ ජීවවිද්‍යාත්මක පාර්ශ්වය සහ සංස්කෘතික පාර්ශ්වය අතර ගොඩනැඟෙන ආතතිය නවකතාව පුරාම දකින්න පුළුවන්. මේ ආතතිය නිසා ඇතිවන කායික සහ ආත්මීය කැළලි ඕනෑම කෙනෙකුගෙ ජීවිතවල තියෙනවා. මේ කැළලි ගැන හිත හිත ජීවිත කාලය පුරාම තැවෙන අය ඉන්නවා. ඒවගේම මේ කැළලිත් එක්ක විනෝද වෙන්න පුළුවන් අයත් ඉන්නවා. යොවුන් වියේ ඉඳලා මහලු විය වෙනකම් ඇති වෙන මේ කැළලිවලින් විනෝද වෙන්න පුළුවන් අර සංස්කෘතික යක්ෂයට බය නැතුව අභිමුඛ වෙන අයට විතරයි. කැළලිකාරයෝ මේ හැමෝගෙම කතාවක්.
කැළලිකාරයෝ නවකතාවෙදි අමරකීර්ති කතිකාවට ගෙන එන්නෙ ප්‍රේමයට අදාළව සංස්කෘතික නිර්භයත්වයෙ පවතින සුන්දරත්වය. සංස්කෘතික යක්ෂයට බය මිනිසුන් ජීවිත කාලය පුරා අත්විඳින වේදනාව. ප්‍රේමයත් සරාගයත් අඩුවක් නැති ව විඳින්න පුළුවන් වයස , සම්මත අසම්මත බව, තනතුරු මට්ටම් ප්‍රේමයට බාධාවක් කර ගන්නෙ නැති මිනිස්සුන්ට. ඒවගේම ප්‍රේමයෙ සජීවී පැවැත්ම ගැනත් නවකතාව අපට දැනෙන්න සලස්වනවා. ඒ අනුව ප්‍රේමය වර්තමානය⁣ට මිසක් අතීතයට හෝ අනාගතයට අයිති දෙයක් නෙමේ. ප්‍රේමයේ සතුට විඳින්න පුළුවන් මේ නිමේෂයේ විතරයි. ඒ කියන්නෙ ප්‍රේමය අයිති මේ මොහොතට.

අමරකීර්ති තමන්ගෙ සුපුරුදු ශෛලියට වෙනස්ව විෂයගත කරුණු ගැන දිගු විස්තර මේ නවකතාවෙ තැනින් තැන ඉදිරිපත් කරනවා. ඒක සමහරවිට ඇතැම් චරිත විසින් ඉල්ලා සිටින තත්ත්වයක් වෙන්න පුළුවන් . ඒවගේම ප්‍රබන්ධයෙ යථාර්ථය වාස්තවික යථාර්ථයට ගැට ගහන්න ගත්ත උත්සාහයක් වෙන්නත් පුළුවන්. මේ උත්සාහය තුළ එරිකියානු නැඹුරුවක ඡායාවකුත් යාන්තමට පේනවා.

⁣සංස්කෘතික යක්ෂයට අවනත වෙන්න උගන්වන ආයතනික පද්ධතියක් ප්‍රබලව ක්‍රියාත්මක වන රටක පාඨක සමාජයට ප්‍රේමයෙ සංස්කෘතිකත්වය සහ අසංස්කෘතිකත්වය අතර සප්‍රාණික කතිකාවක් ගොඩ නංවා ගැනීමට කැළලිකාරයෝ කදිම වැඩබිමක්.

උදිත අලහකෝන්

Related articles

කච්චතිව් නඩුව සහ මෝදිගේ ලංකාගමනය !

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලබන 05 වැනිදා ලංකාවට පැමිණීමට නියමිත ය. එහිදී ඔහු සාම්පූර් ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර...

කැන්ගරු කැබ්ස් Genie Business සමග එක් වී Tap to pay ගෙවීම් ක්‍රමය හඳුන්වා දෙයි !

වසර 35ක් පාරිභෝගික විශ්වාසය දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ කුලී රථ සේවාවේ ප්‍රමුඛයෙකු වන කැන්ගරු කැබ්ස් නව තාක්ෂණයේ ඉදිරි...

“නාඔටුන්නගෙ කවි බහුතරය ගේන්නෙ වළ දාපු දුකක්” – ‘කළු පැහැති කුඩා පොත’

කළු පැහැති කුඩා පොත - සචින්ත ප්‍රමෝද් නාඔටුන්න මම වැඩිපුරම ආස පෙම් කවි කියවන්න. දැන් මං ආස පෙම් කවි...

මහාධිකරණ විනිසුරුවරුන්ට අධිකරණ සේවා කොමිසමෙන් වත්කම් ගැන ලිඛිත දැනුම්දීමක් !

විනිසුරුවරුන් නොවන අධිකරණ නිලධාරීන් 2024 සඳහා වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශන ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන...