පියත් නිකේෂල යළිත් අත්අඩංගුවට : මුලින් පහර කෑ වරදට : මෙවර රනිල්ගේ ගේ ගිනි තැබීමට සැකපිට !

Share post:

සිවිල් ක්‍රියාකාරිකයෙකු වන පියත් නිකේෂල අද (26) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ බවත්, ඉන්පසු ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවත් ය. පසුගිය වසරේ ජූලි 09දා රනිල් වික්‍රමසිංහගේ නිවසට කිසියම් පිරිසක් ගිනි තබා තිබිණි. ඊට පෙර ඔහුගේ නිවසින් පොත් ඇතුළු භාණ්ඩ කිහිපයක් පිටතට රැගෙන යන දර්ශන ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

පහර කෑ වරද

මේ අතර කඩුවෙල මහ නගර සභාවේ හිටපු උප නගරාධිපතිවරයා සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන පියත් නිකේෂලගේ නිවසට යන මාර්ගය හරස් කර, ඔහුට සහ ඔහුගේ වාහනයට පහරදීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි තිබියදී, උප නගරාධිපතිගේ ව්‍යාජ පැමිණිල්ලක් මත පහර කෑ පියත් නිකේෂල ද අත්අඩංගුවට ගැනීමට පසුගිය මැයි 10දා පොලිසිය කටයුතු කළේය.

පසුගිය වසරේ පැවති ගෝඨාගෝගම විරෝධතාවයේ සක්‍රීයව සිටි පියත් නිකේෂල රාජකාරි නිම වී සිය නිවසට යමින් සිටියදී 10දා කඩුවෙල හිටපු උප නගරාධිපති ඇතුළු පිරිසකගේ ප්‍රහාරයට ලක්විය. පියත්ගේ වාහනයට ද එම පිරිස විසින් දැඩි අලාබහානි සිදු කර තිබිණි. ඔවුන්ගෙන් පහර කෑ පියත් නිකේෂල තලංගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට මාරු කර යැවිණි.

පියත් නිකේෂල රෝහල් ගත වූ පසු, පහර දුන් හිටපු උප නගරාධිපතිවරයා ද පියත්ට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් කර මුල්ලේරියාව රෝහලට ඇතුළත් වී තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් උප නගරාධිපතිවරයා එදින ම රාත්‍රියේ අත්අඩංගුවට ගත් පොලිසිය, පහරකෑමට ලක්වූ පියත් නිකේෂල ද උප නගරාධිපතිවරයාගේ ව්‍යාජ පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගත්තේය.

හේතුව ?

මෙම හිටපු උප නගරාධිපතිවරයා 2022 මැයි 09දා ගෝඨාගෝගම විරෝධතාවට පහරදීමට පැමිණි අවස්ථාවේ දී පිරිසක් විසින් බේරේ වැවේ ගිල්වා ඇතැයි ද, ඊට අදාළ වීඩියෝවක් පියත් නිකේෂල පසුගිය 09දා ‌ෆේස්බුක්හි පළකර ඇතැයි ද, ඊට උරණ වූ උප නගරාධිපතිවරයා මැර පිරිසක් සමග පැමිණ පියත්ට පහර දී ඇතැයි ද මීට අදාළ නඩුවේදී නීතිඥවරු පැවසූහ.

වෛද්‍ය වාර්තා

අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් පොලිසිය කඩුුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. පහර කෑ පියත් නිකේෂල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කරුණු දක්වමින් පියත් නිකේෂලට පහරදීම සිදු කළ පුද්ගලයා රෝහල්ගත වී ඇතැයි ද, ඔහු කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට යොමු කර අධිකරණ වෛද්‍ය වාර්තා කැඳවිය යුතුයැයි ද සඳහන් කරමින් එම වාර්තාව ලබාගැනීම සඳහා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. ඒ අනුව හිටපු උප නගරාධිපතිවරයා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට යොමු කර වාර්තා කැඳවීමට අධිකරණය නියෝග කළේය. දෙදෙනා ම මේ වන විට රෝහල්ගතව සිටින නිසා ඔවුන් පරීක්ෂා කර බලා තීන්දුවක් ගැනීම සඳහා පියත්ට එරෙහි නඩුව සහ උප නගරාධිපතිට එරෙහි නඩුව කොළඹ අලුත්කඩේ අංක 08 අධිකරණයටත්, මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයටත් යොමු කෙරිණි.

ඇපදෙන්න එපා – පොලිසිය

මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා කොළඹ ජාතික රෝහලට පැමිණ පියත් නිකේෂල නිරීක්ෂණය කළ අතර, විමර්ශන තවම අවසන් නැති නිසා ඔහුට ඇප ලබානොදෙන ලෙස පොලිසිය ඉල්ලා සිටියේය. එහිදී පියත් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තනුක මාධව නන්දසිරි සහ නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ කරුණු දක්වමින් පහරකෑමට ලක්වූයේ පියත් බව අවධාරණය කළහ. කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත් පියත් නිකේෂල ඇප මත මුදා හැරීමට නියෝග කළේය.

වාහන කීයක්ද ?

අලුත්කඩේ අංක 08 අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත්වරයා මුල්ලේරියාව රෝහලට ගොස් සැකකාර උපනගරාධිපතිවරයා පරීක්ෂා කළ අතර, ඔහුට ඇප ලබාදීම සම්බන්ධයෙන් අගතියට පත් පියත් නිකේෂලගේ පාර්ශ්වයේ නීතිඥවරු විරෝධය පළ කළහ. නීතිඥ නුවන් බෝපගේ ඇතුළු නීතිඥවරු ප්‍රකාශ කළේ පහරදීම සඳහා වාහන දෙකක් පැමිණ ඇති බවයි. කෙසේ වෙතත් පොලිසිය සඳහන් කළේ පහරදීම සඳහා පැමිණියේ එක් වාහනයක් පමණක් බවයි. සැකකාර උප නගරාධිපතිවරයාට ඇප ලබාදීම සම්බන්ධයෙන් පොලිසිය විරෝධය දැක්වූයේ නැත. ඒ අනුව සැකකාර උප නගරාධිපතිවරයා ද ඇප මත මුදාහැරීමට නියෝග කෙරිණි.

සාධාරණ සැකය ?

උප නගරාධිපතිවරයා ඇතුළු පිරිස පියත්ගේ වාහනය හරස් කොට නතර කර, ඔහුට පහරදීමට පැමිණෙන අයුරු සහ පහර දෙන අයුරු වීඩියෝගත වී තිබිණි. එසේ තිබියදී පහරදීමට පැමිණි සෙසු පිරිස මෙතෙක් අත්අඩංගුවට නොගත් පොලිසිය, උප නගරාධිපතිගේ ව්‍යාජ පැමිණිල්ල මත පියත් නිකේෂල අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී බව නීතිඥවරු පවසති. පොලිසිය පුද්ගලයකු අත්අඩංගුවට ගත යුත්තේ සාධාරණ සැකයක් ඇත්නම් පමණක් බවත්, එම සාධාරණ සැකය හේතු පැහැදිලි කළ හැකි සැකයක් විය යුතු බවත්, පියත් අත්අඩංගුවට ගැනීමට අදාළ ව එවැනි සාධාරණ සැකයක් නැති බවත්, පොලිසිය හරි නම් කළ යුතුව තිබුණේ ව්‍යාජ පැමිණිල්ලක් දැමීම සම්බන්ධයෙන් උප නගරාධිපතිට එරෙහිව තවත් නඩුවක් පැවරීම බවත් නීතිඥවරු වැඩිදුරටත් සඳහන් කරති.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...