වැදගත් ම සාක්ෂිකරුවෙකු මියගිහින් : කාන්තාවක් වසර 22කට පසු අපයෝජනය ගැන 7 වැනි වරටත් සාක්ෂි දෙයි !

Share post:

අපයෝජන සිද්ධියකින් වසර 22කට පසු කාන්තාවක් තමන් මුහුණ දුන් සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය සතියේ නුවරඑළිය මහාධිකරණයේදී සාක්ෂි ලබාදුන්නාය. එම සිද්ධිය ගැන අධිකරණයකදී ඇය සාක්ෂි ලබාදුන් හත්වැනි වතාව මෙය වේ.

සිදුවීම වන විට 18 වැනි වියට ආසන්නව සිටි එම තරුණිය මේ වන විට 40 හැවිරිදි තිදරු මවකි.

2001 වසරේ අගෝස්තු මාසයේ 12දා හෝ ඊට ආසන්න දිනකදී තලවාකැලේ පදිංචිව සිටි අවුරුදු 17යි මාස ගණනක් වූ තරුණිය පල්ලියට ගොස් එමින් සිටියදී බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අපයෝජනය කළ බවට විත්තිකරුවන් දෙදෙනකුට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.

2001 වසරේදී සිදුවූ සිද්ධියට අදාළ ව ලඝු නොවන නඩු විභාගයෙන් පසු 2004 වසරේදී නීතිපතිවරයා විසින් නුවරඑළිය මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරනු ලැබ තිබිණි.

ඊට අදාළ ව මහාධිකරණයේ වසර 10ක කාලයක් නඩුව විභාග වූ අතර, 2015 දෙසැම්බර් මස 28දා එහි තීන්දුව ප්‍රකාශයට පත් කළ මධ්‍යම පළාත්බද නුවරඑළිය මහාධිකරණ විනිසුරු ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක චූදිතයන් දෙදෙනා එම තරුණිය අපයෝජනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් කර, පළමු චෝදනාවට චූදිතයන් දෙදෙනාට ම වසර 5ක බරපතළ වැඩ ඇතිව සිරදඬුවමක් ද, දෙවැනි සහ තෙවැනි චෝදනා සඳහා චූදිතයන් දෙදෙනාට වසර 18ක බරපතළ  වැඩ ඇතිව සිරදඬුවම් ද නියම කළේය.

එම තීන්දුවට එරෙහිව චූදිතයන් දෙදෙනා අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව නඩු විභාගයට පෙර චූදිතයන්ගෙන් නඩු විභාගය කළ යුත්තේ ජූරි සභාවක් ඉදිරිපිට ද, නොමැතිවද යන්න විමසූ බවට මහාධිකරණ නඩුගොනුවේ සඳහන්ව නැති බව තීරණය කළ අභියාචනාධිකරණය, මහාධිකරණ තීන්දුව අහෝසි කර නැවත මුල සිට නඩුව විභාගයට ගත යුතු බවට තීන්දු කර තිබේ. ඒ අනුව එය නැවත නඩු විභාගයක් සඳහා නුවරඑළිය මහාධිකරණට යොමු කෙරිණි.

ඉන්පසු 2019 පෙබරවාරි මස 04දා නඩුව කැඳවූ අතර, ඒ වන විට නුවරඑළිය මහාධිකරණ විනිසුරු ලෙස කටයුතු කළේ මෙම නඩුවේ මහේස්ත්‍රාත් අධිකරණයේ ලඝු නොවන නඩු විභාගය පැවැත්වූ විනිසුරුවරයා විය. ඒ අනුව මෙම නඩුව විභාගයට ගැනීම සඳහා වෙනත් විනිසුරුවරයකු පත්කරන ලෙස ඔහු අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව 2022 පෙබරවාරි 07දා නුවරඑළිය මහාධිකරණ විනිසුරු දර්ශිකා විමලසිරි ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී අගතියට පත් පාර්ශ්වය (අපයෝජනය වූ තරුණිය) වෙනුවෙන් පෙනීසිටි නීතිඥ සුරේන් ඩී. පෙරේරා නඩු විභාගය සඳහා සාක්ෂි ලබාදීමට අගතියට පත් පාර්ශ්වය සූදානම් බව දැනුම් දුන්නේය. ඒ අනුව 2022 මාර්තු මස 15, 16 සහ 24 දිනවල මෙම නඩුව විභාගයට ගැනීමට දින නියම වුවද කොවිඩ්, විනිසුරුවරුන් මාරුවීම ආදී හේතු නිසා යළිත් නඩු විභාගය කල්ගියේය.

කෙසේ වෙතත් නුවරඑළිය මහාධිකරණ විනිසුරු විරාජ් වීරසූරිය ඉදිරියේ නඩු විභාගය යළිත් 2023 මාර්තු ආරම්භ වූ අතර, අපයෝජනයට ලක්වූ කාන්තාව මහාධිකරණය ඉදිරියේ සාක්ෂි දුන්නාය. ඊට පසු නඩු දිනයේ දී, එනම් ජුනි 06දා පළමු චූදිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නලින් ද සිල්වා හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කළේය. භාෂා පරිවර්තකයේ සහායෙන් මෙම කාන්තාව දෙමළ භාෂාවෙන් හරස් ප්‍රශ්න හමුවේ සාක්ෂි ලබාදුන් අතර, විත්තිය වෙනුවෙන් පරස්පරතා ලකුණු කිරීමක් සිදු නොවිණි.

වැඩිදුර විභාගය ජූලි 25 සහ 26 දෙදිනට කල් තැබිණි.

මෙම වසර 22ක කාලය ඇතුළත අදාළ කාන්තාව සාක්ෂි /ප්‍රකාශ ලබාදුන් අවස්ථා ගණන 7ක් පමණ වේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මුලින්ම කටඋත්තර ලබා දුන් අතර, මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති ලඝු නොවන නඩු විභාගයේදී ද ඇය සාක්ෂි ලබාදුන්නාය. මීට අදාළ ව මහාධිකරණයේ දී ඇය මේ වන විට සාක්ෂි ලබාදී ඇති අවස්ථා ගණන 03කි. ඊට අමතරව දිසා අධිකරණයේ සිවිල් නඩුවේදී ද අවස්ථා 02කදී ඇය සාක්ෂි ලබා දී තිබේ. ඒ අනුව ඇය අධිකරණයක් ඉදිරියේ මෙවර සාක්ෂි දෙන්නේ 07 වැනි වරට වන අතර, පොලිසියට දුන් ප්‍රකාශය ද සමග ඇය තමන් මුහුණ දුන් සිද්ධිය ආයතනයක් ඉදිරියේ විස්තර කරන්නේ අටවැනි වරට ය.

මෙම නඩුවේ වැදගත් සාක්ෂිකරුවකු වන මෙම කාන්තාවගේ ළඟම ඥාතියකු මේ වන විට මරණයට පත්ව තිබේ.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ වාසනා තිසේරා පෙනී සිටි අතර, අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ මාධව ඊරියගම සමඟ නීතිඥ සුරේන් ඩී පෙරේරා පෙනීසිටියේය.

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...