දක්ෂිණ අධිවේගී මාර්ගයේ ‘පොලිස් ප්‍රශ්නයක්’ : වෛරී හැසිරීමක් ගැන චෝදනා : ඉහළට කියන්න – චෝදනා ලත් ASP

Share post:

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සිට කටුනායක දක්වා ප්‍රදේශයේ රථවාහන පොලිසිය බාර ව රාජකාරියේ නියුතු සහකාර පොලිස් අධිකාරි කේ.ඩී.ආර්.ඩබ්ලිව්. කෝරලගේගේ අත්තනෝමතික කටයුතු හේතුවෙන් එහි සේවයේ නියුතු නිලධාරීන් විවිධ අපහසුතාවලට මුහුණදෙමින් සිටින බව එම නිලධාරීහු පිරිසක් thetime.lk වෙත සඳහන් කළහ.

දැනුවත් කර නෑ – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති

මෙම නිලධාරියාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇත්දැයි thetime.lk කළ විමසීමකදී පොලිස් රථවාහන කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සඳහන් කළේ එවැන්නක් සම්බන්ධයෙන් මෙතෙක් තමන් දැනුවත් කර නැති බවයි. කෙසේ වෙතත් මාධ්‍ය මගින් විමසන ලද මෙම කරුණ සම්බන්ධයෙන් තමන් පරීක්ෂා කරන බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

අවමන් සහගත හැසිරීමක්

අදාළ නිලධාරීන් සඳහන් කරන්නේ මෙම සහකාර පොලිස් අධිකාරිවරයා පහළ නිලධාරීන්ට ප්‍රසිද්ධියේ අවමන් සහගත ලෙස බැනවදින බවයි. එම නිලධාරීන් සමග කටයුතු කිරීමේදී ද්වේශ සහගත ලෙස කටයුතු කරන බවට ද ඔවුහු එම නිලධාරියාට චෝදනා කරති.

පොලිසියේ නිලධාරීන්ට මෙසේ ඔහු විසින් බැනවදින්නේ අධිවේගී මාර්ගයේ සේවයේ නියුතු මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු අනෙකුත් ආයතන සේවකයන් ඉදිරියේ වන නිසා එය ඔවුන්ගේ අභිමානයට එල්ල කරන දැඩි පීඩනයක් බව ද සඳහන් කරන මෙම නිලධාරීහු, ඔහු විසින් රාජකාරි කටයුතුවලට අත්තනෝමතික ලෙස බලපෑම් සිදුකරන බව ද පවසති. ඊට උදාහරණයක් ලෙස රථවාහන පරීක්ෂා කිරීම එක්වරම නතර කරන ලෙස උපදෙස් දීමත්, පසුව රථවාහන නඩු ප්‍රමාණවත් නොවන බවට චෝදනා කිරීමත් දැක්විය හැකි බව ද එම නිලධාරීහු අවධාරණය කරති.

විමර්ශන නෑ ?

පහළ නිලධාරීන්ගෙන් සිදුවන වැරදි සම්බන්ධයෙන් විධිමත් ව කාර්යාලයට කැඳවා ප්‍රශ්න කිරීමක් හෝ විමර්ශනය කිරීමක් සිදු නොකොට අදාළ සහකාර පොලිස් අධිකාරිවරයා විසින් මෙසේ කටයුතු කිරීම බරපතළ ගැටළුවක් බව පෙන්වා දෙන පීඩාවට පත් නිලධාරීහු, මේ හේතුව නිසා අධිවේගී මාර්ගයේ පොලිස් ස්ථාන බාර ව රාජකාරි කළ නිලධාරීන් රැසක් ස්ථාන මාරු ලබාගෙන ඇති බව ද සඳහන් කරති.

ඉහළට නොකියන්නෙ ඇයි ? – සහකාර පොලිස් අධිකාරි

මේ සම්බන්ධයෙන් thetime.lk කළ විමසීමකදී අදාළ සහකාර පොලිස් අධිකාරිවරයා වන කේ.ඩී.ආර්.ඩබ්ලිව්. කෝරලගේ සඳහන් කළේ මෙම සියලු චෝදනා අසත්‍ය ඒවා බවයි. අත්තනෝමතික කටයුතු හේතුවෙන් ස්ථාන මාරුවීම් ලද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පිරිසක් විසින් තමන් නීත්‍යනුකුල ව කටයුතු කිරීමට එරෙහිව මෙසේ චෝදනා ඉදිරිපත් කරන බවත්, ඒවා කිසිදු අවස්ථාවක විධිමත් ලෙස ඉහළ නිලධාරීන්ට යොමුකර නැති බවත් ඔහු සඳහන් කළේය.

වැඩිදුරටත් අප කළ විමසීමේදී සහකාර පොලිස් අධිකාරිවරයා පැවසුවේ ඉහළ නිලධාරීන්ගෙන් ලැබෙන නියෝග මත තමන් කටයුතු කරන බවත්, පහළ නිලධාරීන්ගෙන් රාජකාරිය උපරිමයෙන් බලාපොරොත්තු වන අතර ම, ඔවුන්ගේ සුබසාධනය සැලසීම තමන්ගේ වගකීමක් බවත් ය.

ඉස්සරහට බලන්න !

අදාළ සහකාර පොලිස් අධිකාරිවරයාට එරෙහිව විධිමත් ව ඉහළ නිලධාරීන්ට පැමිණිලි නොකිරීම සම්බන්ධයෙන් පීඩාවට පත් නිලධාරීන්ගෙන් විමසීමේදී ඔවුන් සඳහන් කළේ ඉදිරියේදී ඊට අදාළ කටයුතු සිදුකරන බවයි.

Related articles

මතීෂ, චෙන්නායි සහ ශ්‍රී ලංකාව

IPL තරගාවලිය ක්‍රීඩා කරමින් සිටිනා මතීෂ පතිරණගේ හැසිරීම සහ ප්‍රකාශ සමීපයෙන් නිරීක්ෂණය කිරීම අශ්වාදජනකයි.මතීෂ ඊයේත් ඉන්දීය මාධ්‍යයට අපූරු...

පෞද්ගලික සමාගම සඟවන වීසා ගාස්තුවෙන් පමණක් රුපියල් කෝටි 1,080ක කප්පමක් !

කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති පරිදි කටුනායක ගුවන් තොටුපොළේ වීසා ලබාදීමේ ක්‍රියාවලිය දිගටම පෞද්ගලික සමාගමකට ලබාදෙන්නේ නම්, ආගමන-විගමන...

උමා ඔය : හදිසියෙන් චරිත සහතික දෙන මහත්වරුන් වෙතටයි !

දැන් නැවතත් අවධානය කරඳගොල්ල, මලිත්තගොල්ල දෙසට හැරී තිබේ. කරඳගොල්ල, මලිත්තගොල්ල කියූ ගමන් නොතේරුණාට උමා ඔයේ විදුලි බලාගාරයට ඉහළින්...

ගෝඨාභයගේ වැඩ තහනමට එරෙහි ශානිගේ පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණයක් !

2019 ජනාධිපතිවරණයෙන් පසු පොලිස් සේවය තහනම් කිරීමට ජාතික පොලිස් කොමිසම ගත් තීරණය අභියෝගයට ලක් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...