පොලිස් නිලධාරීන්ට පිළිතුරු දෙන අතර සුධර්මාගෙන් ඇමතිවරයෙකුට දුරකථන ඇමතුම් රැසක් :  රාජ්කුමාරිට පහර දී ඇතැයි වෛද්‍ය වාර්තා තහවුරු කරයි !

Share post:

ටෙලිනාට්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රකට චරිතයක් වන සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ මුද්දක් නැති වීම නිසා අත්අඩංගුවට ගැනීමෙන් පසු මියගිය ආර්. රාජ්කුමාරිට පහර දී ඇති බව වෛද්‍ය වාර්තා මගින් සනාථ වී තිබේ.

මෙම මරණයට අදාළ ව විවෘත තීන්දුවක් ලබා දී ඇති අතර, කෙටි වෛද්‍ය වාර්තාවක් පමණක් දැනට ලබා දී ඇත. එය මේ වන විට අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි සඳහන් ය.

ඇමතිවරයෙකුට දුරකථන ඇමතුම් රැසක්

මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් සුධර්මා නෙත්තිකුමාරගෙන් ද ප්‍රකාශයක් ලබාගෙන තිබේ. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිදුකරන විමර්ශනයට අමතරව පොලිස් නිලධාරීන්ගේ හැසිරීමට අදාළ විමර්ශනයට අදාළ ව ය. මෙහිදී සුධර්මා නෙත්තිකුමාර පොලිස් නිලධාරීන්ට පිළිතුරු ලබාදීමේදී ඇමතිවරයෙකුට දුරකථන ඇමතුම් රාශියක් ලබාදීම පොලිස් දෙපාර්තමේන්තුව තුළ දැඩි කතාබහට ලක්වී ඇත. මෙම ඇමතිවරයා ආරක්ෂක විෂය බාර ව කටයුතු කරයි. ඊට අදාළ තවත් තොරතුරු ඉදිරියේදී නිල වශයෙන් ද අනාවරණය වීමට නියමිත ය.

පොලිස් නිලධාරීන් විසින් කරන ලද විමසීම් එකින්-එකට පිළිතුරු ලබාදීමට පෙර අදාළ ඇමතිවරයාගෙන් ඊට පිළිතුරු ලබාදිය යුතු ආකාරය සම්බන්ධයෙන් සුධර්මා නෙත්තිකුමාර උපදෙස් ලබාගෙන තිබේ. පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් ද මෙසේ දුරකථන ඇමතුම් ලබාගැනීමට විරුද්ධ වී නැතැයි වාර්තා වේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වේ.

පහරදීම් රැසක්

සිය බිරිඳට බරපතළ ලෙස පහර දී ඇති බව ඇයගේ ස්වාමි පුරුෂයා වන සෙල්ලදුරේ යේසුරාසා ද පැවසීය.

රෝහලේදී තමන් බිරිඳගේ මළ සිරුර දුටු බවත්, එහි පහරදීමෙන් ඇති වූ සලකුණු සහ තැලීම් රැසක් තිබූ බවත් සඳහන් කළ යේසුරාසා, බිරිඳ පොලිසියේ සිටියදී තමන් දෙවැනි වර දුරකතනයෙන් කතා කරන විට ඊට මුලින්ම පිළිතුරු දුන්නේ සුධර්මා නෙත්තිකුමාර බව ද පැවසීය. ඇය මුලින් කතා කොට, පසුව දුරකතනය බිරිඳට ලබාදුන් බවත්, එහිදී තමන්ට පහර දෙන බව සහ අමාරු බව බිරිඳ පැවසූ බවත් යේසුරාසා වැඩිදුරටත් සඳහන් කළේය.

නීතිවේදීන් පවසන්නේ යේසුරාසාගේ ප්‍රකාශයට අනුව අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිසිය පහර දෙන අවස්ථාවේ සුධර්මා නෙත්තිකුමාර ද එහි සිට ඇති බවයි. එසේ ම අත්අඩංගුවට ගත් මෙම තැනැත්තියගේ දුරකතනය පොලිසිය බාරයේ තිබිය යුතු වුවද, දුරකතනයට ප්‍රතිචාර දක්වා ඇත්තේ නෙත්තිකුමාර ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 17දා අලුත්කඩේ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන ලදි.

තිදරු මවක වූ 41 හැවිරිදි ආර්. රාජ්කුමාරි බදුල්ල, දෙමෝදර ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇයගේ ස්වාමි පුරුෂයා වන යේසුරාසා අම්පාර ප්‍රදේශයේ උක් ගැස් කැපීමේ රැකියාවක නිරත ව සිටී. ඔවුන්ගේ දරුවන්ගේ වයස පිළිවෙලින් අවුරුදු 13, 11 සහ 07ක් වේ.  

යේසුරාසා පවසන්නේ ඇය නිරෝගී කාන්තාවක බවත්, දීර්ඝ කාලීන අසනීප තත්ත්ව කිසිවක් අයට නොතිබුණු බවත් ය.

රන් මුදුව ?

අදාළ නිවසේ තිබූ රත්තරන් මුදුවක් නැති වීම සම්බන්ධයෙන් එහි සේවය කළ මෙම කාන්තාවට එරෙහිව නිවැසියන් පසුගිය 11දා වැලිකඩ පොලිසියට පැමිණිලි කර තිබේ. ඉන්පසු කාන්තාව පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඇයට බරපතළ ලෙස පහර දී ඇතැයි අනාවරණය වෙමින් පවතී. පහරදීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයට පත් ඇය ව, පොලිසිය මගින් කොළඹ, ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් මත පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් පවත්වනු ලබයි.

නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීමක්

මේ අතර වැලිකඩ පොලිසිය මගින් ආර්. රාජකුමාරි අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධ ලේඛනයේ සඳහන් නොකොට බව පසුගිය 19දා අධිකරණයේදී අනාවරණය විය. මෙම නඩුව අලුත්කඩේ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේ පොලිසිය ඒ බව පිළිගන්නා ලදි. ඒ අනුව මෙම අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී බව අධිකරණයේදී තහවුරු වී තිබේ.

මේ අවස්ථාවේදී මියගිය කාන්තාව වෙනුවෙන් පෙනීසිටි නීතිඥ මංජුල පතිරාජ අධිකරණයෙන් ඉල්ලා සිටියේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 125 වගන්තිය යටතේ මෙම සිද්ධිය පිළිබඳ උසස් නිලධාරියෙක් මගින් විමර්ශනයක් පැවැත්වීමට අදාළ නියෝගයක් ලබාදෙන ලෙසයි.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 11 වැනි පරිච්ඡේදයේ 125 වගන්තිය

‘මේ පනතෙහි හෝ වෙනත් යම් නිතියක කුමක් සඳහන් ව ඇත ද, මේ පරිච්ඡේදය යටතේ වූ යම් විමර්ශනයක් සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ පදවියට වඩා පහත නොවන පදවියක යම් පොලිස් නිලධරයකු විසින් ඕනෑම අවස්ථාවකදී බාරගනු ලැබීම හා ඒ විමර්ශනය පවත්වාගෙන යෑම හා මෙහෙයවීම ද, ඒ කාර්යය සඳහා තමන් විසින් තෝරාගනු ලැබූ යම් පොලිස් නිලධරයකු විසින් හෝ දිවයිනේ යම් පළාතකින් ගෙන්වා ගනු ලැබූ විශේෂයෙන් තෝරාගත් පොලිස් නිලධරයන් කණ්ඩායමක් විසින් ඒ විමර්ශනය හෝ එහි යම් කොටසක් හෝ පවත්වාගෙන යනු ලැබීමට සැලැස්වීම නීත්‍යනුකුල විය යුතුය.’

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...