ලොව මෙතෙක් වාර්තා වූ ලාබාලතම මව, අද ලෝක මව් වරුන්ගේ දිනය

Share post:

අද ලෝක මව් වරුන්ගේ දිනයේ මේ සටහන ලොව මෙතෙක් වාර්තා වූ ලාබාලතම මව පිළිබඳවය.
මේ පළමු පින්තූරයේ දැක්වෙන කාන්තාව ගේ දැන් වයස අවුරුදු 89 ක් වෙනව.
1933 වසරෙ සැප්තැම්බර් මස 23 වෙනි දින පේරු රටේ උපන් ඇගේ නම ලීනා මාර්සෙලා මෙඩිනා.
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ ඇගේ නම ලියැවී තිබෙන්නෙ ලොව මේ දක්වා වාර්තා වී තිබෙන ලාබාලතම මව ලෙසයි.
මේ 2023 වර්ෂයේ ලෝක මව්වරුන්ගේ දිනය යෙදී තිබෙන අද වාගෙ දිනයක, එනම් 1939 වසරෙ මැයි මාසෙ 14 වෙනි දිනයෙ ඇය සිසේරියන් සැත්කමක ආධාරයෙන් පිරිමි දරුවෙකු බිහි කරනව.

එදිනට ඇගේ වයස වූයේ අවුරුදු 5, මාස 7, දින 21 යි.
කිලෝ ග්‍රෑම් 2.7 ක් බරැති ඇගේ දරුවා පිරිමි දරුවෙකු වන අතර ඔහුට ජෙරාඩෝ යනුවෙන් නම් තබනව.

පසුව වයස අවුරුදු 40 ක් වන තෙක් ජීවත්වන ඔහු ඇට මිදුළු වල ඇතිවන රෝගයක් නිසා මරණයට පත් වන්නෙ 1979 වසරෙදි.
ලීනා මෙඩිනා උපත ලබන්නෙ දරුවන් නව දෙනෙක් සිටි පවුලක එක් දරුවෙක් ලෙසයි.
ඇගේ පියා, ටිබුරෙලෝ මෙඩිනා රිදී කාර්මිකයෙක්.
ඇගේ මව , වික්ටෝරියා ලොසියා.

ඇයව වයස අවුරුදු පහේදී දෙමාපියන් විසින් පේරු රටේ පිස්කෝ නගරයේ රෝහලක් වෙත රැගෙන යන්නෙ ඇගේ උදරයේ අසාමාන්‍ය ලෙස සිදුවෙමින් පැවති මහත්වීම නිසයි.
එවිට එහි වෛද්‍යවරුන් විසින් ලීනා මෙඩිනා සත් මස් ගැබිණියක බව අනාවරණය කර ගන්නව.
එයින් සති 6 කට පසු පේරු රටේ ජාතික මාතෘ රෝහලේදී ඇය වෛද්‍ය ජෙරාඩෝ ලොසාඩා සහ වෛද්‍ය බුසලියු විසින් සිදු කරන සිසේරියන් සැත්කමකින් පසුව ඇය තම දරුවා බිහි කරනව.
ඇගේ ප්‍රජනනේන්ද්‍රියයන් ඒ වන විටත් සම්පූර්ණයෙන් පරිණතව ඇති බව වෛද්‍යවරුන් විසින් අනාවරණය කර ගන්නව.
එපමණක් නොව ඇගේ මල්වරවීම වයස මාස 8 දී සිදුව ඇති බවත් , වයස අවුරුදු 3 හෝ දෙක හමාරේ පටන් ආර්තව චක්‍රය ක්‍රමවත්ව ක්‍රියාත්මකව පැවති බවත් සොයා ගන්නව.

පළමුව ඇගේ දරුවාට ඇයව හඳුන්වා දෙන්නෙ ඔහුගේ සහෝදරිය ලෙසයි.
එහෙත් ඔහුට වයස අවුරුදු 10 දී පමණ ඇය තම මව බව හඳුන්වා දෙනු ලබනව.
ලීනා මෙඩිනා තම දරුවාගේ පියා කවරෙකුදැයි කිසිම විටෙක අනාවරණය කර නැහැ.
ළමා ලිංගික අපයෝජනය පිළිබඳව ඇගේ පියා සැක පිට අත් අඩංගුවට ගනු ලැබුවද, ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන් ඔහු පසුව නිදහස් කෙරෙනව.

ලීනා මෙඩිනා තම 37 වෙනි වියේදි, එනම් 1970 වසරෙ විවාහ දිවියට ඇතුළත් වෙනව.
රාවුල් ජුරාඩෝ නම් ඇගේ සැමියාට දාව ඇය තම දෙවෙනි දරුවා බිහි කරන්නෙ, 1972 වසරෙ. ඔහුත් පිරිමි දරුවෙක්.
ඇගේ තරුණ වියේදි ඇය පේරු රටේ අගනුවර වන ලීමා වල පිහිටි වෛද්‍ය ලොසාඩා ගේ සායනයේ ලේකම්වරියක ලෙස සේවය කරනව.
ඇගේ පළමු දරුවාට ජෙරාඩෝ යන නම තබන්නෙත් වෛද්‍ය ජෙරාඩෝ ලොසාටා විසින්මයි.

ප්‍රේමශාන්ත කුමාරසිරි

ලීනා මෙඩිනා දැරිය සහ ඇගේ බිළිඳු දරුවා.
ලීනා මෙඩිනා දැරිය හා හෙදියක විසින් වඩාගෙන සිටින ඇගේ දරුවා.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...