මැතිවරණ කොමිසමේ අගමැති බලාපොරොත්තුවත් අතරමග : දිනේෂ් දිගටම සාකච්ඡාව මග හරී : කොමිසමේ අදහස කුමක්ද ?

Share post:

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කිරීමට සූදානම් බවත්, ඒ සඳහා කඩිනමින් දිනයක් ලබාදෙන බවත් අගමැති දිනේෂ් ගුණවර්ධනගේ පාර්ශවයෙන් මාධ්‍ය වෙත සඳහන් කර තිබිණි.

මාර්තු 26දා සඳහන් වූයේ එම සාකච්ඡාව පසුගිය සතිය තුළ අනිවාර්යයෙන්ම සිදු වන බවයි. එහෙත් මේ වන තෙක් අදාළ සාකච්ඡාව සඳහා අගමැතිවරයාගේ පාර්ශ්වයෙන් කොමිසමට වේලාවක් ලබාදී නැති බව එම කොමිෂන් සභාවේ සාමාජිකයෙක් තහවුරු කළේය.

කෙසේ වෙතත් කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා පවසන්නේ කුමන තත්ත්වයක් යටතේ හෝ මැතිවරණය පැවැත්වීමේ බලාපොරොත්තු මෙතෙක් අත්හැර නැති බවයි.

මැතිවරණය සඳහා මුදල් ලබාදීම ජනාධිපති සහ මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ විසින් දිගින්-දිගටම වලක්වනු ලැබිණි. මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන විසින් මැතිවරණ කොමිසමට දැනුම් දී තිබුණේ අදාළ මුදල් නිදහස් කිරීම සඳහා මුදල් ඇමතිවරයාගේ අනුමැතිය අවශ්‍ය බවයි.

කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නියෝග කර ඇත්තේ මැතිවරණය සඳහා අයවැයෙන් වෙන්කරන ලද මුදල් රඳවා නොගන්නා ලෙසයි.

තහනම් නියෝගයක්

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුව මගින් අයවැය හරහා සම්මත කොට, වෙන්කර ඇති මුදල් ප්‍රතිපාදන රඳවාගැනීම වලක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් භාණ්ඩාගාර ලේකම්වරයාට සහ ජනාධිපතිවරයා හෙවත් මුදල් ඇමතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයාට පසුගිය මාර්තු 03දා තහනම් නියෝගයක් නිකුත් කළේය.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විසින් ගොනු කළ රීට් පෙත්සමක් සලකා බැලීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මෙම නියෝගය නිකුත් කෙරිණි.

මෙම නියෝගයට අමතරව ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලයට වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවාගැනීම ද වලක්වමින් රජයේ මුද්‍රණාලයාධිපතිවරිය වෙත ශ්‍රේෂ්ඨාධිකරණය අද තවත් අතුරු නියෝගයක් නිකුත් කළේය.

ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මගින් ගොනුකළ මෙම පෙත්සමේ පළමු වගඋත්තරකරු ලෙස භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන සහ දෙවැනි වගඋත්තරකරු ලෙස මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ නම් කර තිබේ. අනෙකුත් වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා, එහි කොමසාරිස්වරුන් වන එස්.බී. දිවාරත්න, එම්.එම්. මොහොමඩ්, කේ.පී.පී. පතිරණ සහ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක නම් කර ඇත.

අට වැනි වගඋත්තරකරු ලෙස රජයේ මුද්‍රණාලයාධිපති ජී. කේ. ඩි. ලියනගේ සහ නව වැනි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබේ.

පෙත්සමේ අරමුණ

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා 3, 4, 5, 6, සහ 7 වගඋත්තරකරුවන්ට මුදල් ලබාදීම ප්‍රමාද කිරීම මගින් පළමු වගඋත්තරකරු වන භාණ්ඩාගාර ලේකම්වරයා සහ දෙවැනි වගඋත්තරකරු වන මුදල් ඇමතිවරයා විසින් පෙත්සම්කරු ඇතුළු සියලු පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි නියෝගයක් නිකුත් කරන ලෙස මෙම පෙත්සමෙන් ඉල්ලා ඇත. වගඋත්තරකරුවන්ගේ ක්‍රියාකාරිත්වය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 ව්‍යවස්ථා මගින් සහතික කර ඇති ජනතා පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කිරීම වලක්වා ඇති බවත්, එම නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති 12(1) සහ 14(1)(අ) ව්‍යවස්ථාවල ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී තිබෙන බවත් පෙත්සමේ සඳහන් ය.

12(1) ව්‍යවස්ථාව :

නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුත්තේය.

14(1)(අ) ව්‍යවස්ථාව :

සෑම පුරවැසියෙකුට ම භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළකිරීමේ නිදහසට හිමිකම ඇත්තේය.

2022 දෙසැම්බර් 21 සහ 29 !

1946 අංක 53 දරන සංශෝධිත පළාත් පාලන මැතිවරණ ආඥා පනතේ 4(1) අනුව නිකුත් කරන ලද  2022 දෙසැම්බර් 21 දිනැති අංක 2311/26 දරන ගැසට් නිවේදනය මගින් වගඋත්තරකාර මැතිවරණ කොමිසමේ සාමාජිකයන් විසින් දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් පත්කිරීමට අදාළ කටයුතු ආරම්භ කළ බවත්, පළාත් පාලන මැතිවරණ ආඥා පනතේ 27, 28 සහ 29 වගන්ති අනුව නිකුත් කරන ලද 2022 දෙසැම්බර් 29 දිනැති අංක 2312/44 දරන ගැසට් නිවේදනය මගින් වගඋත්තරකාර මැතිවරණ කොමිසමේ සාමාජිකයන් විසින් පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් මැතිවරණය සඳහා ඇප මුදල් ලබාගැනීමට අදාළ ක්‍රියාවලිය ආරම්භ කළ බවත් පෙත්සමේ සඳහන් ය.

2023 ජනවාරි 04 !

එසේ ම වගඋත්තරකාර මැතිවරණ කොමිසමේ සාමාජිකයන් විසින් 2023 ජනවාරි 04 දිනැති නිවේදනය මගින් දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් මගින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර අනෙකුත් පළාත් පාලන ආයතන 340ක් සඳහා තරග කරන අපේක්ෂකයන්ගෙන් නාමයෝජනා කැඳවීම ආරම්භ කළ බවත්, ඉන්පසු 2023 මාර්තු 09 මැතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත්කළ බවත් පෙත්සම්කරු සඳහන් කරයි.

2023 පෙබරවාරි 17 !

මේ අතර 2023 පෙබරවාරි 17දා පෙත්සමේ පළමු වගඋත්තරකරු වන භාණ්ඩාගාර ලේකම්වරයා විසින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් ලබාදිය නොහැකි බව වගඋත්තරකාර මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට දැනුම් දීමේ අනපේක්ෂිත පුවත ඇසීමෙන් පෙත්සම්කරු දැඩි කම්පනයට පත්වූ බවත්, ඊට හේතුව ලෙස දෙවැනි වගඋත්තරකරු හෙවත් ජනාධිපතිවරයා නිකුත් කළ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් මුදල් ලබාදීමේ චක්‍රලේඛයක් උපුටා දක්වා ඇති බව වගඋත්තරකාර මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මාධ්‍ය වෙත පැවසූ බවත් පෙත්සම මගින් අවධාරණය කර සිටී.

රුපියල් බිලියන 10ක්

භාණ්ඩාගාර ලේකම්වරයා සහ මුදල් ඇමතිවරයා මෙසේ කටයුතු කර ඇත්තේ 2023 අයවැය මගින් පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් මැතිවරණ පැවැත්වීම සඳහා රුපියල් බිලියන 10ක් වෙන්කර තිබියදී බව ද එහි වැඩිදුරටත් දැක්වේ.

පාලනය කළ නොහැකි හේතු

එසේ ම පාලනය කළ නොහැකි හේතු නිසා බව සඳහන් කරමින් පෙත්සමේ වගඋත්තරකාර මැතිවරණ කොමිසම මගින් තැපැල් ඡන්ද කල්දැමූ බවත්, ඊට පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස සඳහන් රජයේ මුද්‍රණාලයාධිපති විසින් තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට මුදල් නොමැති බව දැනුම් දීම හේතු වූ බවත් එහි සඳහන් ය.

මේ ක්‍රියාවලිය නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ජනතා පරමාධිපත්‍යය බලය ක්‍රියාත්මක කිරීම ගැටළුවක් වී ඇති ආකාරයත්, එමගින් පෙත්සම්කරු ඇතුළු පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන ආකාරයත් පෙත්සම මගින් පැහැදිලි කර ඇත.

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...