අභියාචනාධිකරණ තීන්දුවෙන් පසු කරන්නාගොඩ තීරණය ගනී : ජොන්ස්ටන්ගේ තුෂාර කුරුණෑගලින් ඉවත් කරයි !

Share post:

හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ සමීපතමයෙකු ලෙස හඳුන්වන තුෂාර සංජීව විතාරණ කුරුණෑගල මහා නගර සභාවේ නගරාධිපති ධුරයෙන් ඉවත් කිරීමට වයඹ පළාත් ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ කටයුතු කර තිබේ.

ඊයේ (21) දිනැති අංක 2315/66 දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් මෙසේ නගරාධිපතිවරයා ඉවත් කර ඇත. ඒ අනුව පසුගිය දෙසැම්බර් 31දා සිට එම ධුරය පුරප්පාඩු වූ සේ සැලකිය යුතු බව ද එම ගැසට් නිවේදනයේ සඳහන් ය. ඊට අදාළ හේතු එහි මෙසේ දැක්වේ.

‘වයඹ පළාතට අයත් කුරුණෑගල මහා නගර සභාවේ නගරාධිපතිවරයා විසින් 2023 වර්ෂයට අදාළ ව ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනය 2012 අංක 21 දරන පළාත් පාලන ආයතන (විශේෂ විධිවිධාන) පනතේ 7 වැනි වගන්තිය මගින් සංශෝධිත 252 වැනි අධිකාරය වූ මහ නගර සභා ආඥා පනතේ 215(අ) වගන්තිය ප්‍රකාර ව සභාවේ සම්මත කරනු නොලැබීම හා / හෝ වයඹ පළාත් ගරු ආණ්ඩුකාරවරයා වන ම විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2199/15 දරන සහ 2020.10.29 දිනැති වූ ඇති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කරන ලද 2020 මහා නගර සභා අයවැය සම්පාදනය හා බලාත්මක කිරීමේ නියෝග ප්‍රකාර ව අයවැය සම්පාදනය හා බලාත්මක කිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් 2022.12.31 දින සිට කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපතිවරයා වන තුෂාර සංජීව විතාරණ යන අය ස්වකීය ධුරයෙන් ඉල්ලා අස්වූවා සේ සලකනු ලැබිය යුතු අතර, ඒ දින සිට බලපැවැත්වෙන පරිදි කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති ධුරය පුරප්පාඩු වූවා සේ සැලකිය යුතු බව මෙයින් නියම කරමි.’

තුෂාර සංජීව විතාරණ

අභියාචනාධිකරණ තීන්දුව

මීට අදාළ නැතත්, මීට පෙර නගරාධිපතිවරයාට එරෙහිව කුරුණෑගල මහාධිකරණයේ විභාග වූ ධුරය අවභාවිතය පිළිබඳ HCW/17/2022 නඩුවේ තීන්දුව සම්බන්ධයෙන් ඔහු විසින් ගොනුකරන ලද නඩුවක්  අභියාචනාධිකරණයේ විභාග විය. ඒ, CPA/160/2022 අංකය යටතේ ය. එහි පළමු වගඋත්තරකරු ලෙස නම් කර තිබුණේ වසන්ත කරන්නාගොඩ ය.

එම නඩුවේ තීන්දුව පසුගිය ජනවාරි 10දා ලබාදුන් අතර, එමගින් නඩුව ප්‍රතික්ෂේප කෙරිණි. ඉන්පසු වසන්ත කරන්නාගොඩ විසින් ඔහු ව ධුරයෙන් ඉවත් කිරීමේ තීන්දුව ගැනීම ද විශේෂ වේ.

කුරුණෑගල නගරාධිපති ධුරයේ බලය අවභාවිත කරමින් කටයුතු කළ අවස්ථා රැසක් සම්බන්ධයෙන් තුෂාර සංජීව විතාරණට එරෙහි චෝදනා රැසක් පවතී. පුරාවිද්‍යා වටිනාකමක් සහිත කුරුණෑගල රාජසභා මණ්ඩපය විනාශ කිරීම ඒ අතරින් ප්‍රධාන වන අතර, එහිදී නීතිය ක්‍රියාත්මක වීම වළක්වන ලද්දේ හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් බව මාධ්‍ය මගින් වාර්තා කෙරිණි.

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...