ආව විතරයි එතකොට
නමේ පංතියට
අටේ පංතියෙ ලකුණු අරගෙන
දුටුවෙමි මොනාලිසා මොහොතකට
විදුලි රේඛාවක ඇඳුණු ගිනි දල්ලක
බස් එක කැඩුනු දවසක
ලෑන්ඩ් මාස්ටරයක ඉදිරි ඇන්දක
එල්ලී ගෙදර ආ හවසක
ඉරණමත් අහම්බකාරක
ඇය පසු කරන නොකරන ගානට
ගැස්සි ගැස්සී නැවතිණ
ලෑන්ඩ් මාස්ටර් හදවත.
සුදු සපත්තුවක් එසවිණි
වාරුවුණි සුදු දිගු ඇඟිලි
මිරිකී ටේලර් ඇන්දට
පොත් මිටිය ගන්නට
වහ වහා නැමුණු මට
ඒ දෑස් හමුවුණි.
වුණු නොවුණු ගානට
මන්දස්මිතය පිපී නැවතුණි..
හිනා ඇති නැති මූණු
නවාතැන්ගෙන විටක
නැවතී නොනැවතී ගියද?
බිතුසිතුවමක් ගානට
සීගිරි ලෙන් බෙයෙදක
කාලයටවත් මැකිය නොහැකිව
තාමත්…. තාමත්..ඒ හිනාව එතන
ඇගෙ
හිනා වත
නැගීමෙන් සිතුවමට
ඩාවින්චිට වුව හැකිවුණිද?
මොනාලිසාගෙන් මිදීමට
සදාකාලික සිතුවම
අමතක නොවන මතකය
තාමත් ඇය එතන
ජයන්ත කහටපිටිය