පාස්කු ඉරිදා දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් සමාජයේ පැවති තොරතුරු, සංවාද දැන් දිගහැරෙන්නේ අධිකරණයේ ය. ඒ, විමර්ශකයන් විසින් අනාවරණය කරගන්නා ලද තොරතුරු ලෙස ය. බහුතර ජනතාවගේ අපේක්ෂාව යුක්තියයි.
2019 අප්‍රේල් 21දා ප්‍රහාරය එල්ල විය. ඒ, අප්‍රේල් 04දා සිට අවස්ථා ගණනාවකදී තොරතුරු ලැබී තිබියදී ය. ප්‍රහාරය වළක්වා නොගැනීමට අදාළ ව අධිකරණය මගින් තීන්දු කිහිපයක් ලබාදී තිබේ. ඒ අතරින් එකක් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පිරිසට වින්දිතයන්ට වන්දි ගෙවීමට දුන් තීන්දුවයි. එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ එවකට පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව මරණ දඬුවම් ලබාදීමත්, ප්‍රහාරයට ආධාර අනුබල දුන් 25දෙනාගේ නඩුවේ තීන්දුවත් තවත් එවැනි අධිකරණ තීන්දු 2කි.
මේ අතර මීට අදාළ තවත් තීරණාත්මක නඩුවක් කොළඹ – කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වේ. එය පසුගිය 25දා යළි කැඳවිණි.
සලේ – මවුලානා කතාව ඉදිරියට
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළ ව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ සහ පිල්ලෙයාන්ගේ හිටපු ලේකම්වරයකු වන අසාද් මවුලානා අතර සමීප සම්බන්ධයක් තිබූ බවටත්, සලේ සහ අසාද් මවුලානා අහුංගල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයකදී හමු වී ඇති බවටත් විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් 25දා පැවසීය.
නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නඩුවේ පළමු හා දෙවන සැකකරුවන් වන බුද්ධි නිලධාරීන් දෙදෙනා සහ රැඳවුම් බාරයේ සිටින 3 වන සැකකරු වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණයේ පෙනී සිටියහ.
2026 නොවැම්බර් මස 13 දින අධිකරණ නියෝගය පරිදි විශේෂඥ වෛද්‍යවරුන් 5 දෙනෙකු විසින් සුරේෂ් සලේ සම්බන්ධයෙන් සම්පාදිත පිටු 311 කින් සහ ඡේද 1,295කින් සමන්විත වෛද්‍ය වාර්තාවක් මෙහිදී අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
විශාලතම වෛද්‍ය වාර්තාව ද?
ලංකා ඉතිහාසයේ අධිකරණයකට ඉදිරිපත් කරනු ලැබූ විශාලතම වෛද්‍ය වාර්තාව මෙය විය හැකි බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මේ වාර්තාව සම්බන්ධයෙන් සඳහන් කළේය. මෙම වෛද්‍ය වාර්තාවට පෙර වෙනත් වෛද්‍යවරයෙකු මගින් සුරේෂ් සලේ විසින් තමන් සියදිවි නසාගැනීමට සූදානම් වන බව පවසා අධිකරණයට ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාව පැමිණිල්ල විසින් පිළිනොගැනීම හේතුවෙන් මෙම අධිකරණ වෛද්‍ය වාර්තාව ඉල්ලුම් කර තිබිණි.
මෙම වාර්තාවට සලේ විසින් පිටු 95ක ප්‍රකාශයක් ද, ඔහුගේ බිරිඳ විසින් පිටු 30ක ප්‍රකාශයක් ද ලබා දී ඇති අතර, ඔහුගේ මුළු ඉතිහාසය ම මෙම වාර්තාව තුළ අනතර්ගතව ඇති බව දිලීප පීරිස් පැවසීය. නමුත් මෙම වාර්තාව තුළ සැකකරු නීතීඥවරුන්ගේ සහය ඇතිව අභියාචනාධිකරණයේ නඩුවක් පැවරූ බව සඳහන් ව නැත.
මෙම නඩුවට අදාළ විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර ශානි අබේසේකර සහ විමර්ශන නිලධාරීන් සලේ විසින් විවේචනය කර ඇති අතර, “ලංකාවෙ ඉන්න හොඳම රහස් පරීක්ෂකයා තමයි මගේ නඩුව විමර්ශනය කිරීමට දාලා තියෙන්නේ“ යනුවෙන් ද සලේ පවසා ඇත.
මෙම වෛද්‍ය වාර්තාව කියවීමට පැය 8ක පමණ කාලයක් ගත වන බව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.
බිම බත් කෑ කතාව
මෙම වාර්තාවේ කිසිදු තැනක සැකකරුව කෘරත්වයට පත්කර හෝ හිංසනයකට ලක්කර ඇති බවට කරුණු සඳහන් ව නැත.
සැකකරුට ඇත්තේ මානසික ආතතියක් වන අතර, ඕනෑම අපරාධකරුවෙකුට නීතියට හසු වූ පසුව මානසික ආතතිය ඇති වන බව දිලීප පීරිස් මෙහිදී පැවසීය. මෙම සැකකරුට චෝදනා එල්ල වන්නේ සුළුපටු අපරාධයක් සම්බන්ධයෙන් නොවන බව ද අධිකරණය හමුවේ අවධාරණය කෙරිණි.
සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී බිම වාඩි වී බත් කෑ බවට හෝ අසාධාරණ ලෙස හෝ අමානුෂික ලෙස සැලකුම් ලැබූ බව මෙම වාර්තාවේ සඳහන් වී නැත.
කුඩා කාමරයක සිටීම, වාතාශ්‍රය අඩු බව, මීයන් සිටීම, වැසිකිළි පහසුකම් අඩු බව ආදී කරුණු පැවසුණද, කිසිදු අමානුෂික සැලකීමක් ඔහුට සිදු කර නොමැති බව ද දිලීප පීරිස් මෙහිදී පැවසීය.
සලේගේ රංගනය අවසන් ද?
සලේගේ රංගනය මේ වන විට අවසන් බවත්, තවමත් විමර්ශනයට සහය ලබානොදෙන බවත් දිලීප පීරිස් වැඩිදුරටත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේය.
පිටු 95ක ප්‍රකාශයක් ලබාදෙමින් අවුරුදු 37ක හමුදා ඉතිහාසය සහ ජනාධිපතිවරුන් 8 දෙනෙකු යටතේ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් විස්තර කළ ද, සැකකරුගේ දුරකථනයේ මුරපදය අමතක බව තවමත් පවසන්නේ යැයි ද දිලීප පීරිස් පැවසීය.
වින්දිත පාර්ශවයට මෙම විමර්ශනය අවසානයේ යුක්තිය අවශ්‍ය බවත්, තවත් පරම්පරාවකට මෙම විමර්ශන ඉතිරි නොකළ් යුතු බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
දේශපාලන අරමුණ කුමක්ද?
මෙම ප්‍රහාරය පිටුපස නිලධාරි මට්ටමින් එහා ගිය දේශපාලන අරමුණක් ඇති අතර, ඒ දක්වා විමර්ශන යා යුතු බව ද අධිකරණයේදී අවධාරණය කෙරිණි.
මීට අදාළ ව ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි ඇති බව තමන්ගේ පෞද්ගලික මතය බවත්, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 32 වගන්තිය යටතේ සැකපිට අත්අඩංගුවට ගැනීම තීරණය කරනු ලබන්නේ විමර්ශන නිලධාරීන් බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී පැවසීය.
කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ පැවති පාස්කු මහ නඩුවේ පළමු සාක්ෂිකරු සුරේෂ් සලේ වන අතර, 2 වන සාක්ෂිකරු රොහාන් ගුණරත්න ය. මෙම සිදුවීමට සම්බන්ධ අනුගාමිකයන් පිරිසට නඩු පවරා පිටුපසින් ඇති විශාල පින්තූරය වසන් කිරීමේ උත්සාහයක් පවතින බව ද දිලීප පීරිස් පෙන්වා දුන්නේය.
පාස්කු මහ නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙකු විසින් මෙම සිද්ධියට තවත් පුද්ගලයන් සම්බන්ධ බවට දඬුවම් නියම කිරීමට පෙර කළ විත්තිවාචකයේදී ප්‍රකාශ කර ඇති අතර, ඒ අනුව විමර්ශන නිලධාරීන් විසින් ඔවුන්ගෙන් ප්‍රකාශ ලබගැනීමට ගොස් ඇත.
නමුත් එම විත්තිකරුවන් ඒ අවස්ථාවේදී ප්‍රකාශ ලබා දී නොමැති අතර, ඔවුන් පවසා ඇත්තේ පවුලේ අය සමඟ සාකච්ඡා කොට ප්‍රකාශ ලබා දෙන බවයි. ඊට හේතුව ලෙස ඔවුන් දක්වා තිබුණේ එසේ ප්‍රකාශ ලබාදුන්නොත් ඔවුන්ගේ පවුල්වල අයට ජීවිත තර්ජන ඇති විය හැකි බවයි.
අහුංගල්ල රියූ හෝටලය
අධිකරණ නියෝග පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අහුංගල්ල රියූ හෝටලය විමර්ශනයට ලක් කර ඇති අතර, 2020 අගෝස්තු 15 සහ 16 යන දෙදින සුරේෂ් සලේගේ සහ මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දුන් අසාද් මවුලානාගේ පවුල් මෙම හෝටලයේ නවාතැන් ගෙන ඇති බවට කරුණු අනාවරණය වී ඇත.
මේ වන විට ලැබී ඇති නිශ්චිත සාක්ෂිවලට අනුව සුරේෂ් සලේ ඇතුළු ඔහුගේ පවුලේ දස දෙනෙකු රුපියල් එක්ලක්ෂ තිස්නවදහස් නවසිය හතළිස් හතරක් වැය කරමින් මෙම හෝටලයේ කාමර 4ක නවාතැන් ගෙන ඇති අතර, ඊට අදාළ වෙන්කර ගැනීම 2020 ජූලි 22දා සිදු කර ඇත.
අසාද් මවුලානා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් 2020 අගෝස්තු 15 දින මෙම හෝටලයේ වෙන් කර ගැනීම් සිදු කර, එදින රාත්‍රියේ නවාතැන් ගෙන ඇත. ඊට පසුදා ඔවුන් හෝටලයෙන් නික්ම ගොස් තිබේ.
සුරේෂ් සලේ පවසා ඇති ආකාරයට අසාද් මවුලානා සහ ඔහු අතර සම්බන්ධයක් තිබී නැත.
සලේ සහ අසාද් මවුලානා අතර දුරකතන සංවාද 2020 අගෝස්තු 15 හා 16 යන දිනවලට පෙරත්, පසුවත් සිදු වී ඇති අතර, 15 හා 16 යන දෙදින දුරකතන සංවාද සිදු වී නැත. ඊට හේතුව ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඔවුන් එකම හෝටලයක රැදී සිටීමයි.
මේ සම්බන්ධයෙන් සුරේෂ් සලේ පවසා ඇත්තේ අසාද් මවුලානාව අහම්බයෙන් හෝටලය තුළදී දුටු බවයි. කොයි මොහොතකදීවත් ඔහු හමු වී තිබෙන බව සලේ පිළිගෙන නැත.
හෝටල් වෙන් කළේ කවුද?
හෝටල් වෙන් කර ගැනීම සිදු කර ඇත්තේ සලේගේ බිරිඳ සහ අසාද් මවුලානාගේ බිරිඳ විසිනි.
පොලිස් සැරයන් ෆරීස් නමැති පුද්ගලයා ලබා දුන් ප්‍රකාශවලට අනුව ඔහු ඉන්දියාවේදී පුහුණුවක් ලබා ඇති අතර, ඔවුන්ට තම්බි අන්නා නමින් වැදගත් තොරතුරුකරුවෙක් සිට තිබේ.
තම්බි අන්නා විසින් 2018 ඔක්තෝබර් මාසයේදී පවසා ඇත්තේ සහරාන් ඇතුළු පිරිසක් ඉන්දියාවේ යුද පුහුණුව ලබන බවයි. ඔවුන් ලබන අවුරුද්දේ, එනම් 2019දී ශ්‍රී ලංකාව තුළ විශාල ව්‍යසනයක් සිදු කිරීමට සැලසුම් කර ඇති බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.
එය ඔහු විසින් තමන්ගේ ප්‍රධානියා වෙත වාර්තා කර ඇතත්, කිසිවක් සිදු වී නැත.
යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් රාජකාරි දුරකතන ලබා ගනු ලබන්නේ රජයේ ලිපිනවලට නොවේ. ඔවුන්ට නැව් සමාගමක් යනුවෙන් හඳුන්වන සමාගමක් ඇති අතර, සිලෝන් ෂිපින් කම්පැනි නමින් මෙය හදුන්වනු ලැබේ.
සලේ භාවිත කරන්නේත් එම කම්පැනියෙන් ලබා ගත් අංකයක් වන අතර, සමාගම් මැදුරෙන් ඒ සම්බන්ධයෙන් තොරතුරු විමසීමේදී එම ආයතනය මේ වන විට වසා තිබෙන බව පවසා ඇත.
මෙම විමර්ශනවලට සමගාමීව විදෙස් ගමන් තහනමක් පනවා ඇති හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමේ ඉල්ලීම ද කොළඹ – කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළේය.
