යුද්ධයේ ජයග්‍රහණයක් නැති බව ට්‍රම්ප් – පුටින් – ෂි ජින්පින් පිළිගනිති !

17
(Pix - Internet)

ලෝක දේශපාලනයේ බලවත්ම රාජ්‍යයන් තුන ලෙස හැඳින්වෙන ඇමෙරිකාව, චීනය සහ රුසියාව අතර නව රාජ්‍යතාන්ත්‍රික සබඳතාවකට මඟ විවර කරමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පිං චීනයේ ෂෙන්ෂෙන් නුවරදී ඓතිහාසික ත්‍රෛපාර්ශ්වික හමුවකට එක්වූ අතර, ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගිතා සමුළුවට (APEC – Asia-Pacific Economic Cooperation) සමගාමීව පැවැති මෙම සාකච්ඡාවෙන් අනතුරුව රාජ්‍ය නායකයෝ තිදෙනා එක්ව ‘සාමය උදෙසා වූ ඒකාබද්ධ ප්‍රකාශනයක්’ නිකුත් කළහ.

පසුගිය 19දා නිකුත් කළ මෙම ප්‍රකාශනයේ ප්‍රධාන එකඟතා 4ක් අන්තර්ගත වේ. ඒ අතරින් වඩාත්ම වැදගත් වන්නේ න්‍යෂ්ටික යුද්ධයක් කිසිවකුට ජයගත නොහැකි බව යළි තහවුරු කරමින් න්‍යෂ්ටික අවදානම අවම කිරීම සහ න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ත්‍රෛපාර්ශ්වික සංවාදයක් පවත්වාගෙන යෑමට එකඟ වීමයි.

එසේම ගෝලීය අභියෝගවලට වඩාත් ඵලදායීව මුහුණ දීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව ද රාජ්‍ය නායකයන් පිළිගෙන තිබේ. රාජ්‍ය ස්වෛරීභාවය සහ රාජ්‍ය නිලධාරීන්ගේ මුක්තියට ගරු කළ යුතු බව අවධාරණය කරමින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය සිය අධිකරණ බලය අනිසි ලෙස භාවිත නොකළ යුතු බවට ද මෙහිදී ප්‍රකාශ වී ඇත. රුසියානු ජනාධිපති පුටින්ට එරෙහිව එම අධිකරණය අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර ඇති පසුබිමක මෙවැනි එකඟතාවක් ඇති කරගැනීම විශේෂ දේශපාලන වැදගත්කමක් ගනී.

එසේම ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ ස්ථාවරත්වය වෙනුවෙන් පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදන හා සැපයුම ඉහළ නැංවීමට ද නායකයෝ තිදෙනා එකඟ වී සිටිති. රුසියාවට එරෙහි බටහිර සම්බාධක සහ ජාත්‍යන්තර බලශක්ති සැපයුම් අර්බුදය හමුවේ මෙය විශේෂ අවධානයට ලක්වන කරුණකි.

කෙසේ වෙතත්, යුක්රේන යුද්ධය සහ මැදපෙරදිග ගැටුම් සම්බන්ධයෙන් නිශ්චිත විසඳුම් මෙම ප්‍රකාශනයට ඇතුළත් නොවීම කැපී පෙනේ. එසේම න්‍යෂ්ටික අවි අඩු කිරීම සඳහා නිශ්චිත කාලසටහනක් හෝ ක්‍රියාකාරී සැලැස්මක් ද ඔවුන් ඉදිරිපත් කර නැත.

දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මෙම හමුව සාමය පිළිබඳ එකඟතාවකට පමණක් සීමා නොවී, දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැඟුණු ජාත්‍යන්තර බල ව්‍යුහය පිළිබඳ නව සංවාදයක ආරම්භයක් විය හැකි බවයි. විශේෂයෙන් චීනය ගෝලීය රාජ්‍යතාන්ත්‍රික කේන්ද්‍රයක් ලෙස ඉදිරියට පැමිණීමත්, රුසියාව ජාත්‍යන්තර හුදෙකලාවෙන් මිදීමට උත්සාහ කිරීමත් මෙහි කැපී පෙනෙන දේශපාලන මානයන් ලෙස ඔවුහු හඳුන්වති.