රතු පලසක ඇවිද යන නායකයන්ගේ දර්ශන පිටුපස ඇති කතාව අපට කියා දෙන්නේ

25

ඔබ කවදා හෝ රතු පලසක් මත ඇවිද යන ලෝක නායකයෙකුගේ ඡායාරූපයක් දෙස ඉතාම සියුම්ව බලා තිබේද? සාමාන්‍යයෙන් අපට පෙනෙන්නේ අතට අත දෙන දර්ශන, සිනාසෙන මුහුණු, සහ රාජ්‍ය තාන්ත්‍රික සම්ප්‍රදායන්ගේ අලංකාරයයි.

නමුත් ජාත්‍යන්තර දේශපාලනයේ ඇතැම් අවස්ථාවල එක් ඡායාරූපයක්, එක් පිළිගැනීමේ නිලධාරියෙකුගේ තනතුරක්, නැතිනම්, රාත්‍රී භෝජන සංග්‍රහයක අසුන් පැනවීමක් පවා.. වචන දහස් ගණනකට වඩා ප්‍රබල පණිවිඩයක් ලෝකයට කියාදෙයි.

චීනයේදී ව්ලැඩිමීර් පුටින් පිළිගැනීමට පැමිණි නිලධාරියා සහ ඔහුගේ උස පිළිබඳව සමාජ මාධ්‍යවල හුවමාරු වන කතාබහත්, ඒ හා බැඳුණු රාජ්‍ය තාන්ත්‍රික සංඥාත් දැකගත් විට, බලය, අභිමානය සහ යථාර්ථය අතර ඇති ගැටුම ගැන අපට අලුත් කෝණයකින් සිතන්නට සිදු වේ.
ලංකාවේ අපට ලෝක දේශපාලනය බොහෝ විට පෙනෙන්නේ ඈත අහසේ සිදුවන ග්‍රහ මාරුවක් වැනිය. අපේ රටේ ආර්ථිකයට, වෙළඳාමට, ඉන්ධන මිලට සහ විදේශ සබඳතාවලට එහි බලපෑම සෘජුවම දැනුණත්, ඇමරිකාව, චීනය, රුසියාව සහ යුරෝපය වැනි දැවැන්තයන් අතර ඇති සැබෑ බල තුලනය කුමක්ද යන්න ලංකාවේ බොහෝ දෙනාට සිතාගත නොහැකි තරම් සංකීර්ණය.

එහෙත් මිනිස් ස්වභාවය, මනෝවිද්‍යාව, අහංකාරය සහ අවශ්‍යතාවය යන මූලික කරුණු ගත් කල, ලෝක නායකයන්ගේ හැසිරීම් ද අපේ එදිනෙදා ජීවිතයේ අප දකින මිනිස් හැසිරීම් වලට බෙහෙවින් සමානය.

එක් අයෙකු අනෙකෙකුට වඩා උසස් යැයි පෙන්වන්නට හදන විලාසයත්, තමන්ගේ දුර්වලතා සඟවාගන්නට දරන උත්සාහයත්, කලින් තිබූ බලය ගිලිහී යන විට ඇතිවන අසහනයත්, අපි අපේ සමාජයේත් දකිමු.

පුටින්ගේ ශාරීරික උස පිළිබඳව ලෝකයේ විවිධ කතාබහ ඇති බව ප්‍රසිද්ධ රහසකි. රාජ්‍ය තාන්ත්‍රික හමුවලදී ඡායාරූප ගන්නා විට, සපත්තුවල අඩි උස.. කැමරා කෝණ.. සහ අසල සිටින පුද්ගලයන්ගේ පිහිටීම පවා, ඉතා සැලසුම් සහගතව සකස් කරන අවස්ථා ගැන ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත.
මේ අතර, මෙවර චීන සංචාරයේ දී පුටින්ව පිළිගැනීමට පැමිණි චීන කොමියුනිස්ට් පක්ෂයේ උසම නිලධාරියා වන, ෂී ජින්පින්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානී “කායි ක්වී” සමඟ ඔහු ගමන් කරන දර්ශන සමාජ මාධ්‍යවල විශාල අවධානයක් දිනා ගත්තේය.
ඇතැමුන් එහිදී සංස්කරණය කරන ලද ඡායාරූප හෝ දෘෂ්ටි මායා ගැන කතා කළත්, සැබෑ කාරණය වූයේ, කායි ක්වී යනු ෂී ජින්පින්ගේ සමීපතම කාර්ය මණ්ඩල ප්‍රධානියා වීම සහ පුටින්ට වඩා උසින් කැපී පෙනෙන පෙනුමකින් යුක්ත වීමය.

මෙහිදී සිදුවූයේ හුදු ශාරීරික උස පිළිබඳ කාරණයක් පමණක් නොව, රාජ්‍ය තාන්ත්‍රික ප්‍රොටෝකෝලය හරහා යවන ලද සංකේතාත්මක ප්‍රභල පණිවිඩයකි!
රාජ්‍ය තාන්ත්‍රික ලෝකයේ කිසිවක් අහම්බෙන් සිදු නොවේ. රටක ජනාධිපතිවරයෙකු වෙනත් රටකට පැමිණෙන විට, ඔහුව පිළිගැනීමට එන්නේ එරට ජනාධිපතිවරයාද, උප ජනාධිපතිවරයාද, විදේශ ඇමතිවරයාද, නැතිනම් පක්ෂයේ ඉහළ නිලධාරියෙකුද යන්න මගින්, සත්කාරක රටේ “සැබෑ ආකල්පය” හෙළි වේ.
සාමාන්‍ය රටක නායකයෙකුට වඩා තමන් මහා බලවතෙකු ලෙස සලකන නායකයෙකුට, තමන්ගේ සමකාලීනයා වන ෂී ජින්පින් වෙනුවට කාර්ය මණ්ඩල ප්‍රධානියෙකු පිළිගැනීමට පැමිණීම, සියුම් මට්ටමේ පහත හෙළීමක් ලෙස විශ්ලේෂකයන් දකින්නේ එබැවිනි.

විශේෂයෙන්ම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි නායකයෙකුට චීනයෙන් ලැබුණ අතිශය උත්කර්ෂවත් රාජ්‍ය පිළිගැනීම සහ ප්‍රධාන මේසයේ ගෞරවනීය අසුන් සමඟ සසඳන විට, පුටින්ට ලැබුණු ‘සැලකිල්ලේ වෙනස’ ඉතා පැහැදිලිව කැපීපෙනෙයි.

මෙහිදී අපට අමතක කළ නොහැකි තවත් ප්‍රසිද්ධ සිදුවීමක් තිබේ. ඒ ජර්මනියේ හිටපු චාන්සලර් ඇන්ජෙලා මර්කල් සමඟ පුටින් පැවැත්වූ හමුවකදී සිදු වූ දෙයයි. 1995 වසරේදී විශාල බල්ලෙකු සපා කෑම නිසා ඇන්ජෙලා මර්කල්ට විශාල බල්ලන් කෙරෙහි දැඩි බියක් සහ භීතිකාවක් පැවති බව ප්‍රසිද්ධ කරුණකි.

පුටින් එම හමුවට විශාල බල්ලෙකු රැගෙන පැමිණියේ ඇයට එම බිය ඇති කර, මානසිකව ඇයව අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් බව බොහෝ දෙනා පෙන්වා දී ඇත. එදා එම සිදුවීම දුටු බොහෝ දෙනා එය හැඳින්වූයේ තමන්ගේ බලය සහ ආධිපත්‍යය පෙන්වීමට කළ සියුම් මනෝවිද්‍යා උගුලක් ලෙසිනි.
දැන් අපි මොහොතකට ඒ සිදුවීම් දෙක එකට තබා සිතමු. අනෙකුත් පුද්ගලයන්ගේ දුර්වලතා හෝ බිය හඳුනාගෙන, ඒවා හරහා ඔවුන්ව අපහසුතාවයට පත් කරමින් තමන්ගේ මානසික ආධිපත්‍යය තහවුරු කරගන්නට උත්සාහ කළ නායකයෙකුට, අද වන විට තමන්ටත් වඩා බලවත් හෝ තමන් මත යැපෙන තත්ත්වයක් නිර්මාණය වූ පසු එවැනිම සියුම් රාජ්‍ය තාන්ත්‍රික සංඥා වලට මුහුණ දෙන්නට සිදුවීම, ජීවිතයේ සහ දේශපාලනයේ ඇති එක්තරා උත්ප්‍රාසයකි.
අපේ සමාජයේත් මෙවැනි දේ සිදුවේ. තමන්ගේ අසල්වැසියාගේ හෝ සගයාගේ දුර්වලකමකින් විනෝද වන පුද්ගලයෙකුට, කවදා හෝ තමන්ගේ අසරණකම හමුවේ අන් අයගේ හැසිරීම් තියුණු ලෙස දැනෙන්නට පටන් ගනී.

නමුත්, මෙය හුදෙක් පුද්ගලික මනෝවිද්‍යාත්මක කතාවකට පමණක් සීමා වූවක් නොවේ. මෙහි ගැඹුරින්ම ඇත්තේ, නූතන ලෝකයේ ආර්ථික සහ මිලිටරි බලය පිළිබඳ යථාර්ථයයි.

අපේ රටේ බොහෝ දෙනා තවමත් රුසියාව දෙස බලන්නේ පැරණි සෝවියට් සංගමයේ දැවැන්ත ඡායාව හරහාය. සෝවියට් සංගමය බිඳ වැටී දශක ගණනාවක් ගත වී තිබුණත්, රුසියාව යනු තවමත් සුපිරි බලවතෙකු ලෙස සිතන පිරිස් අප අතර සිටිති.
නමුත් සැබෑ ආර්ථික දත්ත දෙස බලන විට, රුසියාවේ ආර්ථිකය ඇමරිකාවේ, චීනයේ හෝ යුරෝපා සංගමයේ ආර්ථිකයන්ට සාපේක්ෂව ඉතා කුඩා මට්ටමක පවතී.

ඇත්ත වශයෙන්ම, වර්තමාන ලෝක ආර්ථිකයේ ප්‍රධාන කුළුණු ලෙස සැලකෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය, චීනය සහ යුරෝපා සංගමයයි.
රුසියාව සතුව අතිවිශාල න්‍යෂ්ටික අවි ගබඩාවක් තිබේ. න්‍යෂ්ටික අවි යනු කිසිදු රටකට නොසලකා හැරිය නොහැකි බරපතල බලයකි. ලෝකයේ බොහෝ රටවල් රුසියාවේ හඬට සවන් දෙන්නේත්, ඔවුන්ගේ ක්‍රියාකලාපය ගැන විමසිලිමත් වන්නේත් එම න්‍යෂ්ටික ශක්තිය සහ ස්වාභාවික සම්පත් නිසාය.
එහෙත් න්‍යෂ්ටික අවි තිබීම පමණක් රටක් ආර්ථික සහ තාක්ෂණික සුපිරි බලවතෙකු බවට පත් නොකරයි. නවීන තාක්ෂණය, ගෝලීය වෙළඳාම, මූල්‍ය පද්ධතිය සහ නවෝත්පාදනය යන ක්ෂේත්‍රවලදී රුසියාවට ඇති සීමාවන් ඉතා පැහැදිලිය.
මේ නිසාම, “චීන – රුසියා අක්ෂය” යනුවෙන් බොහෝ විට හඳුන්වනු ලබන සබඳතාවය දෙස විචාරකයන් දැන් බලන්නේ වෙනස්ම ඇසකිනි. එය සමාන බලය ඇති හවුල්කරුවන් දෙදෙනෙකු එක්ව ගොඩනඟන අක්ෂයක් වෙනුවට, අද එහි ඇත්තේ දැඩි අසමතුලිතතාවයකි.
යුද්ධ, සම්බාධක සහ ආර්ථික පීඩනයන් හමුවේ රුසියාවට චීනයේ වෙළඳපොළ, තාක්ෂණය සහ මූල්‍ය සහයෝගය මත, වැඩි වැඩියෙන් රඳා පවතින්නට සිදුව ඇත.

එවැනි තත්ත්වයක් තුළ, රුසියාව චීනයේ සමාන හවුල්කරුවෙකුට වඩා චීනයේ අවශ්‍යතාවන්ට අනුගත වන තත්ත්වයකට පත්ව ඇති බව බොහෝ දෙනා පවසති.

තවත් එක් වැදගත් කරුණක් වන්නේ ඇමරිකානු දේශපාලනය හා සම්බන්ධ කාරණයයි. ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇති සබඳතා හෝ ඇමරිකානු දේශපාලනයට බලපෑම් කළ හැකි යැයි සැලකුණු උපායමාර්ගික වාසි කලින්, පුටින්ගේ ප්‍රධාන “කාඩ්පත” ලෙස සැලකුණි.

නමුත් චීනය වැනි දැවැන්ත බලවතෙකු ඉදිරියේ එවැනි කරුණු වලට ඇති වටිනාකම වෙනස් වේ. චීනය සිය ගෝලීය උපායමාර්ග සකස් කරන්නේ තමන්ගේම ආර්ථික සහ භූ දේශපාලනික අවශ්‍යතා මතය.

ඔවුන් ඇමරිකාව සමඟ තරඟ කරන අතරම, අවශ්‍ය තැන්වලදී සෘජු ගනුදෙනු සහ සාකච්ඡා වලටද එළඹේ. එහිදී ඇමරිකානු ජනාධිපතිවරයාට ප්‍රධාන ගෞරවය ලැබෙන අතර, අනෙකුත් නායකයන්ට ධූරාවලිය තුළ වෙනත් ස්ථාන හිමි වේ. රාත්‍රී භෝජන සංග්‍රහයක අසුන් පැනවීම පවා ජාත්‍යන්තර දේශපාලනයේ විශාල කතාවක් කියන්නේ ඒ හෙයිනි.

ෂී ජින්පින් ප්‍රධාන මේසයේ ට්‍රම්ප් සමඟ සිටින විට, පුටින්ට වෙනත් මේසයක, ෂී ජින්පින්ගේ බිරිඳ වන පෙං ලියුවාන් සහ වියට්නාම ජනාධිපති ටෝ ලාම් අතර අසුන් ගන්නට සිදු වූ බවට පැතිර යන කතා සහ විග්‍රහයන් දෙස බලන විට, එහි ඇති සංකේතාත්මක අර්ථය කාට වුවත් තේරුම් ගත හැකිය.
තමන්ව “මහා උපායමාර්ගිකයෙකු” සහ සර්වබලධාරී නායකයෙකු ලෙස හුවා දක්වන පාලනයකට, තම නායකයා ප්‍රධාන මේසයෙන් පිටත සිටින බව පෙනීම විශාල ප්‍රතිරූප ගැටලුවකි.

එවැනි අවස්ථාවලදී සිදුවන්නේ සුපුරුදු “හානි පාලන” මෙහෙයුමයි. රුසියානු රාජ්‍ය මාධ්‍ය සහ හිතවාදී ප්‍රචාරකයන් වහාම ඉදිරියට පැමිණ, එය සුළු දෙයක් බවත්, එය සැබෑ බලයට කිසිදු බලපෑමක් නොකරන බවත්, හෝ එය උපායමාර්ගික තීරණයක් බවත් පෙන්වන්නට උත්සාහ කරයි.
නමුත් මහජන මතය සහ ජාත්‍යන්තර නිරීක්ෂකයන් එම දර්ශන තුළින් දකින සැබෑ පණිවිඩය, සම්පූර්ණයෙන්ම මකා දැමීමට එවැනි ප්‍රකාශ වලට නොහැකිය.
මේ සියල්ල දකින විට ලාංකිකයන් ලෙස අපට ඉගෙන ගත හැකි පාඩම් බොහෝය. පළමුවැන්න නම්, මාධ්‍යවල හෝ සමාජ මාධ්‍යවල පෙනෙන ප්‍රතිරූපය සහ සැබෑ යථාර්ථය අතර විශාල පරතරයක් තිබිය හැකි බවයි.

සාගර දියගම

යම් රටක් හෝ පුද්ගලයෙකු කොතරම් ශබ්ද නඟා තමන්ගේ ශක්තිය ගැන කතා කළත්, සැබෑ ශක්තිය තීරණය වන්නේ ආර්ථික ස්ථාවරත්වය, තාක්ෂණික දියුණුව, මිත්‍රශීලී සබඳතා සහ අවශ්‍යතා මත රඳා පවතින ප්‍රමාණය අනුවය.

දෙවැන්න නම්, කුඩා රටක් වූ ලංකාවට මෙවැනි දැවැන්ත බලවතුන්ගේ හැසිරීම් තේරුම් ගැනීම අත්‍යවශ්‍ය වීමයි. ලෝකයේ බලවත් රටවල් අතර ඇති සබඳතා කිසිදා සදාකාලික මිත්‍රත්වයන් මත පමණක් පදනම් නොවේ. ඒවා පදනම් වන්නේ ජාතික අවශ්‍යතා, බල තුලනය සහ වාසිදායක තත්ත්වයන් මතය.
එක් දිනක මිතුරෙකු ලෙස පෙනෙන රටක්, තවත් දිනක සිය ප්‍රධාන ප්‍රතිවාදියා සමඟ සෘජු ගනුදෙනුවකට යා හැකිය. එවැනි ලෝකයකදී, කිසිදු එක් බලවතෙකුට අධික ලෙස යටත් නොවී, තමන්ගේ ස්වාධීනත්වය සහ ආර්ථික ශක්තිය ගොඩනඟා ගැනීම කොතරම් වැදගත්ද යන්න මෙම සිදුවීම් අපට පෙන්වා දෙයි.

තෙවැන්න, මිනිස් ස්වභාවය පිළිබඳ ගැඹුරු කියවීමකි. අහංකාරය සහ අනුන්ව පහත් කර සැලකීම කවදා හෝ තමන්ටම පෙරළා පැමිණිය හැකි බව ඉතිහාසය නැවත නැවතත් පෙන්වා දෙයි. “ගෞරවය” යනු බලහත්කාරයෙන් හෝ බිය ගැන්වීමෙන් ලබාගත හැකි දෙයක් නොව, අන්‍යෝන්‍ය ගෞරවයෙන් ගොඩනැඟෙන දෙයකි.

අවසාන වශයෙන්, රතු පලසක ඇවිද යන නායකයන්ගේ දර්ශන පිටුපස ඇති කතාව අපට කියා දෙන්නේ, ලෝක දේශපාලනය යනු නිරන්තරයෙන් වෙනස් වන වේදිකාවක් බවය. එහි ප්‍රධාන චරිත වෙනස් වේ, අසුන් වෙනස් වේ, සහ බලයේ සමීකරණ අලුත් වේ. නමුත් එම සියලු වෙනස්කම් මැද, සැබෑ බලය ඇත්තේ කාටද යන්න එයින් ලෝකයටම පෙනෙයි.