අපි මුලින්ම පැහැදිලි කරගමු, 2027 අයවැයේ මූලික අරමුණ මොකක්ද කියලා. ඒක පැහැදිලි කරන්න විෂය බාර නියෝජ්‍ය ඇමැතිවරයා විදිහට හොඳම සුදුස්සා ඔබ…?
ජාතික ජන බලවේගය ආණ්ඩුවට ලැබුණු ජනවරම සහ ඒ ජනවරම ලබාගන්න අපි ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති මාලාවේම දිගුවක් තමයි මේ අයවැය කියන්නෙ. මෙතැන අපි පැහැදිලි කරගන්න ඔ්නෙ සුවිශේෂී තත්ත්වයක් තියෙනවා. ඒ තමයි, සමහර වෙලාවට ආණ්ඩු මාරුවෙනවා ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයේ තියෙද්දි දේශපාලන හේතු නිසා. අපිට ආණ්ඩු බලය ලැබෙනකොට රටේ ආර්ථිකය තිබුණෙ ඉතාම අසීරු තැනක. ඒ නිසා අපි අපේ ආණ්ඩුවේ පළමු අවුරුදු දෙක තුළ, ඒ අයවැය දෙකෙන් අපි මූලිකත්වය දුන්නෙ ආර්ථිකය ස්ථාවර කරගන්න එකට. ඒ පදනමින් තමයි අපි වැඩ කළේ. අපිට සන්තෝෂයි කියන්න, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, ණය කළමනාකරණය, බාහිර අංශය මේ සෑම අංශයකින්ම අපි ලබාගෙන ඇති ප්‍රගතිය ගැන සෑහීමට පත්වෙන්න පුළුවන්. දිට්වා වගේම මැද පෙරදිග තත්ත්වය කියන මේ බරපතළ කම්පන දෙකකුත් තියෙද්දියි අපි එතැන්ට ආවෙ.
දැන් අපිට අවශ්‍යයි ආර්ථිකයේ පරිවර්තනයක්. ඒ සඳහා අපිට තීරණාත්මක ආර්ථික වර්ධන අනුපාතයක් අත්පත් කරගන්න අවශ්‍යයි. ආයෝජනය අවශ්‍යයි. ආර්ථිකය ප්‍රසාරණය කරගන්න අවශ්‍යයි. ඒ අරමුණ සඳහා තමයි අපි මේ අයවැය යෝජනා හඳුන්වලා දීලා තියෙන්නෙ. අපි මේකෙන් උපායමාර්ග 7ක් පෙන්වනවා. නීතිමය පැත්ත, යටිතල පහසුකම්, පරිසරය ආදී වශයෙන් මේවා හදන්නෙ කොහොමද කියලා අපි කියලා තියෙනවා. අනෙක් පැත්තෙන් ජනතාවට දෙන්න පුළුවන් සහන උපරිමයෙන් දෙන්නත් අපි මේ අයවැය අවකාශය ඇතුළෙ උපරිමයෙන් උත්සාහ කරලා තියෙනවා. කෙටියෙන් කියනවා නම් අපි ලබාගත් ආර්ථික ස්ථාවරත්වයේ සිට පරිවර්තනයක් දක්වා යන්න අවශ්‍ය අඩිතාලම දාන එක තමයි මේ අයවැයේ අරමුණ.
අපි කතා කරන්න ඔ්නෙ මූලික කාරණයක් තමයි, ප්‍රාග්ධන ආයෝජන. රජය අයවැයට පෙර කිව්වෙ ඉතිහාසයේ දැවැන්තම මුදලක්, රුපියල් ට්‍රිලියන 2ක් ප්‍රාග්ධන ආයෝජනවලට මේ අයවැයෙන් වෙන්කරනවා කියලා, ඒ කියන්නෙ සරලව කිව්වොත් රජයේ ගොඩනැගීම්වලට…?
ප්‍රාථමික ආයෝජනවලට රුපියල් බිලියන 5,070ක් වෙන්කරලා තියෙනවා. ඒක ඇතුළෙම තමයි, මේ ප්‍රාග්ධන ආයෝජන රුපියල් බිලියන 1,750ක් තියෙන්නෙ. එතකොට එතැන තියෙන්නෙ 1,750යි. අපි මේ යන්නෙ අර මම මුලින් කියපු පරිවර්තනයේ දිශාවට. එතකොට ට්‍රිලියන 2ක් වෙන්න නම්, තව බිලියන 250ක් අවශ්‍යයිනෙ. ඒක ගන්නෙ අපි පරිපූරක ඇස්තමේන්තුවක් මගින්. ඒකටත් හේතුවක් තියෙනවා, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතට අනුව අපිට වර්ෂයකට වියදම් කරන්න පුළුවන් ආදායමෙන් සීයට 13යි. අපිට දිට්වා ආපදා තත්ත්වයත් එක්ක ඒ සීමාව කඩලා යන්න පුළුවන්. එතකොට ඒකට අදාළව ඉවර කරගන්න බැරි වුණු කටයුතු තියෙනවා. ඒ ටික කරගන්න අපි 2027 වර්ෂයෙනුත් යම් ප්‍රමාණයක් ගන්නවා. ඒකට ඉඩකඩ තියෙනවා. මේ ඉඩකඩ ඇතුළෙ තමයි අපි ඒ අතිරේක බිලියන 250 ඉදිකිරීම් සහ අනෙකුත් ගොඩනැගීම්වලට ගන්නෙ. එතකොට අපි දළ දේශීය නිෂ්පාදිතයෙන් සීයට 5.2ක ප්‍රමාණයක් දක්වා ප්‍රාග්ධන වියදම් ගෙනැල්ලා තියෙනවා. ඒක සැලකියයුතු අගයක්. ඒ සැලකිය යුතු අගය විසින් අපිට අභියෝගයකුත් එල්ල කරලා තියෙනවා. ඒ තමයි මීට පෙර අපි මෙතැන්ට වෙන්කළේ සීයට 4 සීමාවෙ. දැන් ඒ සීමාව ඉක්මවා යනවා කියන්නෙ අමතර කැපකිරීමක් අවශ්‍ය වෙනවා.
සාමාන්‍යයෙන් කතාබහේ තියෙන දෙයක් තමයි, අයවැයෙන් වෙන්කළාට ඔ්වා වෙනවද කියන එක. මේ අවුරුද්දෙ පහුගිය මාස හයක කාලය තුළ 2026 අවුරුද්දට අයවැයෙන් වෙන් කරපු ප්‍රාග්ධන ආයෝජන හරියට වියදම් කරලා තියෙනවද…?
2026 අයවැයෙන් ප්‍රාග්ධන ආයෝජන විදිහට රුපියල් බිලියන 1,380ක් වෙන්කළා. පහුගිය සැප්තැම්බර් මාසය වෙනකොට මේකෙන් රුපියල් බිලියන 554ක් වියදම් කරලා තිබුණා. ඒ කියන්නෙ සීයට 33ක වගේ ප්‍රමාණයක් තමයි ඒ වෙනකොට වියදම් කරලා තියෙන්නෙ. මේකෙන් අදහස් කරන්නෙ වියදම් කරලා නෑ කියන එක නෙමෙයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින්, අමාත්‍යංශවලින් ඇවිල්ලා, මහා භාණ්ඩාගාරයෙන් ගිණුම්ගත වෙනකොට යම් ප්‍රමාදයක් තියෙනවා. ගිය අවුරුද්දෙත් මේක සැප්තැම්බර් වෙනකොට තිබුණෙ සීයට 30ක් වගේ. ඒත් අවුරුද්ද අවසන් වෙනකොට ඒක සීයට 76ක් වගේ ප්‍රමාණයක් දක්වා ආවා. ඊට කලින් වර්ෂයේදි ඒක තිබුණෙ සීයට 54යි. 2023දි සීයට 64යි. ඊළඟට අපි මේ අවුරුද්දෙත් පරිපූරක ඇස්තමේන්තුවක් මගින් බිලියන 500ක් වෙන්කරගත්තා. ඒක සුවිශේෂී තත්ත්වයක්. මේකෙන් බිලියන 150ක් විදිහට තියෙන්නෙ පුනරාවර්තන වියදම්. ඒ කියන්නෙ නඩත්තු වියදම් කියන්න පුළුවන්. අනෙක්වා නිවාස ගොඩනැගීම් වගේ ප්‍රාග්ධන වියදම්. පූර්ණ හානි වුණු යම් ප්‍රමාණයක් තව තියෙනවා. පාරවල්, ගොඩනැගිලි යම් ප්‍රමාණයක් තියෙනවා. කාටහරි ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්, මේ අවුරුදුවල අවසානෙදි ඇයි සල්ලි වියදම් කරන්නෙ කියලා. ඒකට හේතුව රාජ්‍ය මූල්‍යයේ තියෙන ප්‍රශ්නයක්. සමහර ඒවා ගෙවලා තිබුණත්, ඒවා වාර්තා වෙලා නෑ. ඒවා පිළිවෙලකට ඇවිත් වාර්තා වෙද්දි තරමක් කාලයක් යනවා. ඒ කියන්නෙ මෙතැනදිත් සෑහෙන්න වියදම් වෙලා වෙන්න පුළුවන්.
මේ ව්‍යාපෘතිවලට රජයේ මුදල් වියදම් කරද්දි ප්‍රසම්පාදන ක්රියාවලීන්වල තියෙන ගැටලු ගැන සංවාදයක් තියෙනවා. ඇත්තටම මොකක්ද එතැන වෙලා තියෙන්නෙ, ඒවා වෙනස් කරන්න මේ රජය පියවර අරගෙන තියෙනවද…?
අපි දැනට වෙනස් කරපු නීති සහ අලුතින් ගේන නීති ප්‍රමාණයක් තියෙනවා. ප්‍රසම්පාදනයෙදි ඉදිකිරීම්, භාණ්ඩ මිලදීගැනීම්, උපදේශක සේවා සහ අනෙකුත් කියලා කොටස් තියෙනවා. එතකොට කාලයක් තිස්සෙ හැදිලා තියෙන්නෙ මේවට යම් දින ප්‍රමාණයක් යන විදිහට. ඒකට හේතුව අවභාවිතයක් වෙන එක, දූෂණයක් වෙන එක වළක්වන්න. උදාහරණයකට ටෙන්ඩරයක් බලන්න, ඒකෙදිත් එහෙමයිනෙ. රාජ්‍ය මූල්‍ය පැත්තෙන් ඒක හොඳ දෙයක්. ඒත් අපිට වේගයෙන් වැඩකරන්නත් අවශ්‍යයි. තවමත් අපිට ඔන්ලයින් ක්‍රමවේදයකට යන්න බැරිවෙලා තියෙනවා. ඒක නිසා අපි මේවා වේගවත් ක්‍රමවේදයකට යන්න අවශ්‍ය පියවර ගනිමින් ඉන්නවා. සමස්ත ඩිජිටල් ව්‍යාපෘතිය තුළ වගේම වෙනමත් මේක ගැන අපි අවධානය යොමුකරලා තියෙනවා. කොහොම වුණත් අවසාන වශයෙන් මහජනතාවගෙන් ලබාගන්න සෑම රුපියලකටම අපි වගකියන්න ඔ්නෙ. මේක සංකීර්ණයි, ඒත් අපි 2027දි යම් ප්‍රමාණයක් දක්වා යන්න බලාපොරොත්තු වෙනවා.
රාජ්‍ය සේවකයන්ට අදාළ දීමනා ඉහළ දැමීම මේ අයවැයේදි කැපීපෙනෙන කාරණයක්. මේක පහුගිය වසරේ අයවැයත් එක්කත් සම්බන්ධයි. කෙනෙකුට කියන්න පුළුවන්, මේවා අලුත් නෑ කියලත්. ඒක නිසා මේක අපි පැහැදිලි කරගමු…?
මුලින්ම කියන්න ඔ්නෙ, 2027 අයවැයේ ප්‍රධාන වෙන්නෙ පරිවර්තනය, ඒකෙදි අලුත් දීමනා හඳුන්වාදීමක් නෙමෙයි සිදුවෙන්නෙ. අපි 2025 අයවැයේදි වැටුප් වැඩිවීමක් කරනවා. ඒකට එකඟතා, විරෝධතා තියෙන්න පුළුවන්. මේක අපි කිව්වා, අදියර 03කින් කරන්නෙ කියලා. පළවැනි අවුරුද්දෙ බිලියන 110ක්, දෙවැනි අවුරුද්දෙ බිලියන 110ක් වෙන්කළා. තුන්වැනි අවුරුද්ද විදිහට, 2027දි තවත් බිලියන 110ක් මේකට වෙන්කෙරෙනවා. එතකොට මේ කාරණයට අදාළව අයවැයට තියෙන බර සමස්තයක් විදිහට 2027දි රුපියල් බිලියන 330ක්.
ඒකත් එක්ක තවත් ඉල්ලීම් එන්න ගත්තා. ක්ෂේත්‍ර නිලධාරීන්, විවිධ වෘත්තිකයන් ආදී වශයෙන්. රාජකාරියේ ස්වභාවය විසින් දරන්න වෙන වියදම් ගැන. 2027දි වැටුප වැඩි වෙන නිසා ඒ ඉල්ලීම් 2028දි සලකාබැලීම ගැනත් කතාබහක් තිබුණා. ඒත් අපි ඒක අතහැරලා නෑ, යම් දීමනා ප්‍රමාණයක් 2027දි ලබාදෙන්න අපි යෝජනා කරලා තියෙනවා. වෛද්‍යවරුන්ට, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට, ක්ෂේත්‍ර නිලධාරීන්ට, ත්‍රිවිධ හමුදාවලට, පොලිසියට ආදී වශයෙන් මේවා වැඩිකරනවා. ඒත් තිබුණු ඒවමයි මේ වැඩිකරලා තියෙන්නෙ. අලුත් දීමනා හඳුන්වාදීමක් නෑ. පොදුවේ රාජ්‍ය සේවයට දීමනා වැඩිකරලා කිව්වොත් මේක නිවැරදි නෑ, ප්‍රමුඛතා අනුව යම් ප්‍රමාණයක් අරගෙන ඒවා ඉහළ නංවලා තියෙන්නෙ. අප්‍රේල් සහ ජූලි මාසවල ඉඳලා තමයි මේවා වැඩිවෙන්නෙ.
ඊට අමතරව ආබාධ සහිත අයගෙ, වකුගඩු රෝගීන්ගෙ වගේ සුබසාධන වියදම් ප්‍රමුඛ කරගෙන දීමනා වැඩිකරලා තියෙනවා. අපිට මේ සියලු වැඩිකිරීම්වලට තර්කයක් තියෙනවා. මොන පදනමකින්ද මේවා වැඩි කළේ කියලා අපිට කියන්න පුළුවන්. 2028දි වැටුප් වැඩිවීමක් වෙන්නෙ නෑ, එතකොට අපිට ඒ අවුරුද්දෙදි බිලියන 110ක් මේ දීමනා වැඩිකිරීමට, අලුත් දීමනා හඳුන්වාදීමට යොදවන්න පුළුවන්. ඒක නිසා නිවැරදිව මේක තේරුම්ගන්න ඔ්නෙ.
වෘත්තිකයන්ගේ උපයන විට ගෙවීමේ බදු සීමාව 150,000 සිට 162,000 දක්වා වැඩි කරලා තියෙනවා මේ අයවැයෙන්. ඒකෙන් 12,500ක යම් සහනයක් දීලා තියෙනවා, බදු නිදහස් කිරීමකින්. කොහොමද මේක පැහැදිලි කරගන්නෙ…?
මේක වෙනත් බද්දක් නෙමෙයි. පොදුවේ ආදායම මත බදු අයකිරීමේ ක්‍රමවේදයේ තියෙන එකක්. ව්‍යාපාරයක් කළා නම්, වසරක් අවසානයේ මේ ආදායම් බද්ද හැදෙනවා. ඒත් වැටුප මත මේ බද්ද තරමක් වෙනත් කතාබහක තියෙනවා. ඒත් අපි කල්පනා කළා, මේ තියෙන තත්ත්වයන් එක්ක කොහොමද මධ්‍යම පාන්තික වැටුප් ලබන පිරිසට මේවා බලපාන්නෙ කියලා. ඒක නිසා බදු සාධාරණත්වය කියන තැනට ගිහින් අපි මේ තීරණය ගත්තා. මෙතැනදි අපි පැති ගණනාවකින් ගණනය කරලා මේ සහනය දෙනවා. මේ වෙනකොට තිබුණු තත්ත්වය තමයි, වැටුප 358,000ට වැඩි හැමෝටම සීයට 36ක් බදු වැදුණා. ඒක දැන් 433,000 දක්වා යනවා. කලින් තිබුණු 150,000 සීමාව සහ 358,000 සීමාව අතර හැමෝටම සීයට 36ක් බදු වැදුණු එක මේකෙන් තරමක් වෙනස් වෙනවා. මේ විදිහට බදු සාධාරණත්වය කියන එක ගැන අපි උපරිමයෙන් අවධානය යොමුකරලා තියෙනවා. මේක ටිකක් තාක්ෂණික කාරණයක්. ඒ වගේම දීර්ඝ කතාබහක් කරන්න අවශ්‍ය දෙයක්. සරලම කාරණය තමයි මම කිව්වෙ. මෙතැනදි මම ස්තූතිවන්ත වෙන්නත් ඔ්නෙ ජනතාවට. මේ වනතෙක් බදු නොගෙවපු පිරිසකුත් දැන් බදු ගෙවන්න යොමුවෙලා තියෙනවා. බදු සාධාරණව සහ පහසුවෙන් අයකරගන්න ක්‍රමයක් හැදුවම ජනතාවට ඒ ගැන යම් විශ්වාසයක් හැදෙනවා.
අභ්‍යාස පොත් සහ සියලුම පොත් සඳහා වැට් බද්ද සීයට බිංදුවක් කරලා තියෙනවා. මේ විදිහට සීයට බිංදුවක් කිරීම අභියෝගයක් වෙන්නෙ නැද්ද, ඒ වගේම සමස්තයක් විදිහට මීටත් වඩා වැට් බදු සහනයකට යන්න ඉඩක් තිබුණෙ නැද්ද…?
අපි හැමතැනකදිම අවධානය යොමුකරන කාරණය තමයි ආදායම් ඒකාග්‍රතාව කඩන්නෙ නෑ කියන එක. තර්කයක් ගේන්න පුළුවන්, මේවා වෙනස් කරන්න පුළුවන් නේද කියලා. ඒත් අපිට සිදුවෙනවා මේ ස්ථාවරත්වය හරහා අපේ ඔරොත්තු දීමේ හැකියාව නිර්මාණය කරගන්න. ඒ හරහා ආර්ථික පරිවර්තනයකට යන්න. දිට්වා සුළි කුණාටුව වෙලාවෙ අපිට බිලියන 500ක් වෙන්කරන්න පුළුවන් වුණා. අපි ඒකට ඔරොත්තු දුන්නා. මැදපෙරදිග යුද්ධය වෙලාවෙ බිලියන 100ක සහනයක් දුන්නා. නැවතත් බිලියන 41ක් ඉන්ධන සහනාධාරයට දුන්නා. සමාජ සුබසාධනයට බිලියන 6ක් වෙන්කළා. ඒ කියන්නෙ අපි ඔරොත්තු දුන්නා. ඇත්තටම අපිට වැට් බද්දෙදිත් මීට වඩා සහන දෙන්න පුළුවන්. ඒත් අපි ඒ සහන දෙන්න පුළුවන් යන්ත්‍රණය හදන්න ඔ්නෙ. මේ රට ඇතුළෙ සිදුවන සියලු ගනුදෙනු එක සිස්ටම් එකක් ඇතුළට අරගත්තට පස්සෙ අපිට පුළුවන් මේක තවත් අඩු කරන්න. ඊටපස්සෙ භාණ්ඩ වර්ග දිහා බලලා අපිට පුළුවන් ඒවා වැට් බද්දෙන් සම්පූර්ණයෙන් නිදහස් කරන්න. ඒකෙ එක පියවරක් විදිහට තමයි, මේ පොත්වල වැට් බද්ද සම්පූර්ණයෙන් අයින් කරන්න පුළුවන් වුණේ. ලබන අවුරුද්ද වෙනකොට අපිට තවත් පියවර කීපයක් ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. තාක්ෂණය අපි මේවගෙදි සෑහෙන දායකත්වයක් ලබාදෙනවා. ඒක නිසා තමයි අපි මෙවරත් ඩිජිටල්කරණයට වැඩි අවධානයක් යොමුකරලා තියෙන්නෙ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තවදුරටත් ගිවිසුම්ගත වෙනවද, නැද්ද කියන කාරණය සම්බන්ධයෙන් පුළුල්ව අධ්‍යයනය කරන්න ඔබේ සභාපතිත්වයෙන් රජය කමිටුවක් පත්කරලා තියෙනවා. මේ 2027 අයවැය ඉදිරිපත් වෙන්නෙ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගත වුණු කාලය අවසන් වීමට ළංවුණු පසුබිමක. මොකක්ද ඇත්තටම ඉදිරියෙදි වෙන්නෙ…?
මේ කමිටුවේ මහ බැංකු අධිපතිතුමා, මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමා, විෂය පිළිබඳ ප්‍රාමාණිකයන් ඇතුළු පිරිසක් ඉන්නවා. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගත වෙනකොට තිබුණෙ ස්ථාවරත්වය අත්පත් කරගැනීමේ අභියෝගයක්. දැන් එතැනින් එහාට පිම්මක් පනින්නයි තියෙන්නෙ. කොහොමත් විශේෂ වැඩසටහනක් නොතිබුණත් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ඒ අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන එක්ක කටයුතු කරනවා. නමුත් මේ පිම්ම පනින්න යනකොට ලෝක ආර්ථික තත්ත්වයන්, භුදේශපාලනය වගේ තත්ත්වයන් සැලකිල්ලට ගන්න ඔ්නෙ. රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව අත්පත් කරගත්තට, බාහිර අංශයේ ජාත්‍යන්තර මූල්‍ය කටයුතු ගැටගැහිලා තියෙන්නෙ අපි මතම විතරක් නෙමෙයි. ඒකට ලෝකයේ තත්ත්වයන් බලපානවා. ඒ කියන්නෙ අවදානම් මොනවද, මොන වගේ තත්ත්වයන් එයිද කියලා අපි අධ්‍යයනය කරනවා. මේ තියෙන තත්ත්වය තුළ අපි වෙනත් වැඩසටහනකට යනවද, යනවනම් ඒ කොහොමද කියලා අපි වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. ඒ වාර්තාව ගැන අවසන් තීන්දුව ගන්නෙ කැබිනට් මණ්ඩලය.
