‘ඒඩ්න්’ නගරය අත්පත් කර ගත්තොත් යේමන් යුද ගැටුම්වල තීරණාත්මක සන්ධිස්ථානයක් වේවි

14

යේමනයේ ‘ඒඩ්න්’ නගරය අන්සාර් අල්ලා හුතී සංවිධානය විසින් අත්පත් කරගැනීමට බොහෝ දුරට ඉඩ තියනවා කියලා Al Jazeera පුවත් සේවය වාර්තා කරනවා. යේමනයේ ජාත්‍යන්තරව පිළිගන්න ආන්ඩුව යටතේ තියන ප්‍රධානම නගරය විදිහට සැලකෙන ඒඩ්න් හුතී සංවිධානය අතට පත්වුණොත්, ඒක යේමන් ආන්ඩුව ලබන තීරණාත්මක පරාජයක්.

2026 ජූලි මාසයට කලින් යේමනයේ බටහිර සහ වයඹ කොටස පාලනය කරමින් හිටියේ අන්සාර් අල්ලා හුතී සංවිධානයයි. යේමනයේ සනා අගනගරය අයිතිවෙන්නෙත් මේ කොටසට නිසා, 2014 ඉඳන් එය පාලනය කළෙත් හුතී සංවිධානය විසින් මයි. යේමනයේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 25%ක් විතර සීමාවක පාලනය හුතී සංවිධානය යටතේ තිබුණා.

ඒත් පහුගිය ජූලි මාසයට පස්සේ හුතී සංවිධානය යේමන් රජයට සහ සවුදි අරාබියට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමත් එක්ක, වසර තුනක සටන් විරාමයෙන් පස්සේ යේමනය තුළ නැවත සටන් ආරම්භවුණා. මෙතනදි යේමනයේ ආසන්නයේ, රතු මුහුදේ තියන බාබ්-අල් මන්ඩෙබ් කියන්නේ බොහොම වැදගත් සමුද්‍ර සන්ධියක් නිසා හුතී සංවිධානය ඒකේ බලය තමන් අතට ගන්න සටන් ආරම්භ කලා.

අන්සාර් අල්ලා හුතී සංවිධානය පිටිපස්සේ ඉන්නේ ඉරාන රජය කියන එක රහසක් නෙවෙයි. හමාස් සහ හිස්බුල්ලා වගේම හුතී කියන්නෙත් ඉරානයේ වක්‍ර සහයකයෙක්. ඒ නිසා ඉරානයේ සහය ලබන හුතී සංවිධානය රතු මුහුදේ සහ බාබ්-අල් මන්ඩෙබ් සමුද්‍ර සන්ධියේ බලය ලබාගැනීම අමෙරිකාව සහ හිතවාදී මැද පෙරදිග රාජ්‍යයන්ට බරපතල තර්ජනයක් කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෑ.

ඒ නිසාම සවුදි රජය යේමන් ආන්ඩුවේ හමුදාවට වගේම යේමනය තුළ ඉන්න හුතී විරෝධී කණ්ඩායම්වලට සහය දුන්නේ රතු මුහුදේ ආරක්ෂාව වෙනුවෙන් වගේම, සවුදියේ ආරක්ෂාව වෙනුවෙන්. ඒත් මේ අතරේ හුතී සංවිධානය තමන්ගේ දිගු දුර මිසයිල සහ ඩ්‍රෝන් මගින් සවුදියේ ප්‍රධානම ගුවන් තොටුපළවල් දෙක රියාද් සහ දමාම් වලට වගේම ප්‍රධාන නගර ගණනාවකට පහරදීමත් එක්ක සවුදියට ඒ තරම් පහසු පියවරක් තබන්න අවස්ථාව ලැබුණේ නෑ.
හුතී සංවිධානය එක් පැත්තකින් බාබ්-අල් මන්ඩෙබ් සමුද්‍ර සන්ධිය ආසන්නයේ තියන ඩුබාබ් සහ අල්-හජාබ් නගර ආරක්ෂා කරමින් ඉන්න යේමන් ආන්ඩුවේ හමුදාවලට ප්‍රහාර එල්ලකලා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට රජයේ හමුදා ඒඩ්න් නගරයට පසුබැස්සේ නගරය ආරක්ෂා කරගන්න උපක්‍රමික පියවරක් විදිහටයි. ඒත් මේ වෙද්දි හුතී සංවිධානය ඒඩ්න් නගරය වටකරමින් එය අත්පත් කරගැනීම ආසන්නයට ඇවිල්ලා ඉවරයි.

සති කිහිපයකට කලින් හුතී සංවිධානය විසින් බටහිර මුහුදු වෙරළේ තියන මෝකා සහ ඒ ආසන්නයේම තියන ටායිස් නගරවල බලය නැවත වතාවක් තමන්ගේ අතට ගත්තා. ඒ මාසයකට වැඩි කාලයක් යේමන් රජයේ හමුදා විසින් ඒ නගර තමන්ගේ පාලනයේ තබාගෙන හිටිද්දි සිදුකරපු ප්‍රහාර මාලාවක් එක්කයි.

යේමන් හමුදා කියන්නේ ඒඩ්න් නගරයට ඇතුල්වෙන්න තරම් හුතී සංවිධානයට ශක්තියක් නෑ කියලා. නගරය ආරක්ෂා කරගන්න තමන් උපරිම ශක්තිය යොදවලා තියනවා කියලා ප්‍රකාශ කරනවා.

ඒඩ්න් කියන්නේ පැරණි වරාය නගරයක් වගේම දකුණු යේමනයේ ප්‍රධාන නාවික මර්මස්ථානයක්. මිලියනයකට වැඩි ජනගහනයක් ජීවත්වෙන මේ නගරය 2014 ඉඳන්ම පාලනය කරන්නේ යේමන් රජයේ හමුදා විසින්. ඒ නිසා මේ මොහොතේ මේ නගරය හුතී සංවිධානය අත්පත් කරගත්තොත් යේමන් යුද ගැටුම්වල තීරණාත්මක සන්ධිස්ථානයක් වේවි.

ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර

2026.11.16