දවස නොවැම්බර් 9.. හරියටම අද වගේ දවසක්. වර්ෂය 1989. වසර 37කට පෙර අද වගේ දවසක බර්ලින් තාප්පය බිඳවැටෙනවා. බිඳවැටෙනවාටත් වඩා බර්ලින් වැසියන් එකතුවෙලා කඩා බිඳ දමනවා.
බටහිර හා නැගෙනහිර බර්ලිනය වශයෙන් බර්ලිනය බෙදා වෙන්කරන්නෙ ඇයි.? දෙවන ලෝක යුද්ධය අවසන් වන්නේ මිත්‍ර පාර්ශවයට ජයග්‍රහණය ලබා දෙමින්. සෝවියට් රතු හමුදාවත්.. ඇමරිකානු හා යුරෝපා ඒකාබද්ධ සේනාංකත් එකතුවෙලා නාසි ජර්මනිය පරාද කරන බව අපි හැමෝම දන්නවා. නමුත් මේ මිත්‍ර පාර්ශවයේ කඳවුරු දෙකක් තියෙනවා.
කොමියුනිස්ට් හෝ සමාජවාදී කඳවුර නියෝජනය කරන සෝවියට් දේශයත්.. ඇමරිකා එක්සත් ජනපදය හා බටහිර යුරෝපය නියෝජනය කරන ප්රජාතන්ත්රවාදී කඳවුරත් බලය සඳහා ගැටෙනවා තිරයෙන් පිටුපස්සෙ.
බර්ලිනයේ බටහිර ප්‍රදේශය පාලනය කරන්නෙ ඇමරිකානු හා බටහිර යුරෝපීය රටවල් විසින්. නැගෙනහිර කොටස පාලනය වන්නේ සෝවියට් දේශය විසින්. බටහිර කොටස ආර්ථික වශයෙන් සීඝ්රයෙන් දියුණුවෙනවා. නැගෙනහිර කොටසේ තිබූ කර්මාන්තශාලා බිඳවැටීම.. යන්ත්‍ර සූත්‍ර සෝවියට් පාලකයන් විසින් තම රටට ගෙනයාම ආදී හේතු රාශියක් මීට බලපානවා. ඒ අතර ඇමරිකානු කුමන්ත්‍රණ ගැනත් අහන්න නොලැබෙනවා නොවෙයි.
නිදහස, රැකියා අවස්ථා හා ධනය හොයාගෙන නැගෙනහිර කොටසේ ජීවත්වෙන බර්ලින් වැසියෝ බටහිර කොටසට සංක්‍රමණය වෙන්න පටන් ගන්නවා.
මේක මහා විනාශයක්. විනාශයක් වන්නේ මතවාදී වශයෙන් ගැටෙන කඳවුරු දෙකක ප්‍රතිඵල හෝ විසඳුම් එළිපිට දකින්න ලැබීම.
දැන් මොකද කරන්නෙ? නැගෙනහිර ජර්මනියේ නායකයා වූ වෝල්ටර් උල්බ්රිච් උපදෙස් හොයනවා සෝවියට් නායකයාගෙන්. මේ කාලයේ සෝවියට් දේශය පාලනය කරන්නෙ නිකිටා කෘෂ්චෙව්. නැගෙනහිර බර්ලිනය හා බටහිර බර්ලිනය වෙන් කරමින් තාප්පයක් ඉදිකිරීමට තීරණය වන්නේ ආර්රක්ශාකාරී උපාය මාර්ගයක් ලෙසයි.
1961 අගෝස්තු 13 වෙනිදා මේ තාප්පය ඉදිකරන්න පටන් ගන්නවා. එකම පවුලේ සාමාජිකයා එකිනෙකා වෙන්කෙරෙනවා. දරුවන්ට දෙමව්පියන් දකින්නත්.. පෙම්වතුන්ට තම පෙම්වතියන් හමුවෙන්නත් නොහැකිවෙනවා.
කොළඹ නගරයේ උතුර හා දකුණ වෙන්කරමින් තාප්පයක් බැන්දොත් අපිට කොහොමද දැන්නෙනෙ. ?
බර්ලින් වැසියන්ටත් ඒ ආකාරයෙන්ම දැනෙන බවට සැකයක් නෑ.
අධික රැකවල් යොදපු මේ තාප්පය හරහා යෑම ජීවිතය අහිමිවන තරම් අවධානම් වැඩක්. සිය ගණනක් බර්ලින් වැසියන් වෙඩි වැදීමෙන් මරණයට පත්වෙනවා. සමහරු මේ තාප්පය යටින් උමං හදනවා.. තවත් කෙනෙක් තාප්පයට උඩින් ඉනිමං බඳිනවා. කොයිතරම් ආරක්ෂක රැකවල් තිබුනත් බර්ලින් වැසියෝ පසුබට වන්නේ නැහැ.
අපි කතා කරන්නෙ සීතල යුද්ධය ගැන. මතුපිටින් හැමදේම සාමකාමී වුනත් බල කඳවුරු දෙකක් ගැටෙනවා තිරයට පිටුපසින්.
සෝවියට් නායකයා වූ මිහායිල් ගොර්බචෝව් විසඳුම් හොයනවා තමන්ගෙ කඳවුරේ බලය පවත්වාගෙන යන්න. ඇෆ්ඝනිස්තානය ආක්‍රමණය කිරීම නිසාත්.. චෙකොස්ලෝවැකියාව වැනි රටවල නැගීම මර්ධනය කිරීම නිසාත් සෝවියට් කඳවුර පාඩු ලබනවා. ඒ අතරෙ රොනල්ඩ් රේගන්.. ගොර්බචෝව් සාකච්ඡා පැවැත්වෙනවා රහසිගතව.
ලෝකය විවිධ දෙසින් බර්ලින් තාප්පයට එරෙහිව.. බර්ලින් ජනතාව බෙදා වෙන් කිරීමට එරෙහිව විවිධ කතාබහ ඇහෙන්න ගන්නවා. සෝවියට් සංගමය දුර්වල වෙනවා හෙමින් සැරේ.
අපි මේ ඇවිල්ලා ඉන්නෙ 1989 වසරට.
නොවැම්බර් හත්වෙනිදා හවස හතට විතර නැගෙනහිර බර්ලිනයේ රූපවාහිනියේ සාකච්ඡාවක් පැවැත්වෙනවා. මේ සාකච්ඡාවෙදි ජර්මානු නිළධාරියෙක් ප්‍රකාශ කරනවා බර්ලින් තාප්පය හරහා ගමන් කිරීමට අලුත් ප්‍රතිපත්තියක් හඳුන්වාදෙන බවට. එහිදී සඳහන් කෙරෙන්නෙ ක්ෂණිකව බලපැවැත්වෙන සංචාරක නියාමනයක් ක්‍රියාත්මකවන ආකාරයට.
මේ පුවත් නැගෙනහිර ජර්මානු රූපවාහිනියේ ප්රවෘත්ති ප්‍රකාශයේ සඳහන් වෙන්නෙ එක්තරා ආකාරයක අතිශෝක්තියකුත් එක්ක.
නොවැම්බර් 9 වෙනිදා හවස වෙලාව හතට පමණ නැගෙනහිර බර්ලින් හා බටහිර බර්ලින් වැසියන් එකා දෙන්නා තාප්පය අසලට රැස්වෙනවා. හවස හත අට විතර වෙද්දි මේ ප්‍රමාණය සිය ගාණක් නොවෙයි දාස් ගාණක් බවට පත්වෙනවා. ඔවුන් බලාපොරොත්තුවන්නේ මුරකාවල් ලිහිල් කරලා ගේට්ටු විවෘත්ත කරාවි කියලයි.
රෑ නමය විතර වෙද්දි පුදුමාකාර සෙනගක් දෙපසම දකින්න පුලුවන්. සමහරෙක් තාප්පය උඩට නගිනවා. සමහරෙක් සිංදු කියනවා.. තව පිරිසක් කෑ ගහනවා තාප්පය බිඳ දමන්න ඕනෙ කියමින්.
රාත්‍රී 10.30 වෙද්දි මේ පිරිසගේ පීඩනය හමුවේ සමහර ගේට්ටු විවෘත්ත වෙනවා. තාප්පය දෙපැත්තේම පිරිස ප්‍රීතිඝෝෂා කරනවා. රාත්‍රී 11.30 ලඟාවෙනකොට බෝර්න්හෝල්මර් ස්ට්රාසේ හි ප්‍රධාන බාධකය ඉවත්කෙරෙන්නෙ නගර වැසියන්ගේ ප්‍රීතිඝෝෂා මැද්දෙ.
පැයක කාලයක් තුළදි 20,000ට ආසන්න පිරිසක් නැගෙනහිර ඉඳලා බටහිර පැත්තට ගමන් කරනවා.
නගරය හැමතැන ප්‍රීති ඝෝෂා පැවැත්වෙද්දි තාප්පය උඩට නැගගත් තරුණ තරුණියො තාප්පයට මිටි පහර දෙන්නෙ බොහෝම සතුටින්.
නොවැම්බර් 10 වෙනිදා දවස උදාවෙන්නෙ වෙන්කර බෙදා තිබූ නැගෙනහිර බටහිර බර්ලිනය එක්සත් කරමින්.
මෙහිදී කඳවුරු දෙකක සටනට වඩා වැදගත්වන්නේ මිනිස් සබඳතා පිළිබඳ හැඟීම.
මොන කඳවුරකට අයිති වුනත් කාටද පුළුවන් එකම පවුලේ සාමාජිකයන් එකිනෙකාගෙන් වෙන් කරන්න.?
දරුවන්ගෙන් දෙමාපියන් වෙන් කරන්නත්.. සහෝදරයාට සහෝදරිය අහිමි කරන්නත් තාප්පයකට පුළුවන්ද? දේශපාලන මතවාදවලට පුළුවන්ද බිරිඳ සැමියාගෙන් වෙන්කරන්න බැහැ.
අන්න ඒ නිසයි බර්ලින් තාප්පය බිඳවැටීම වැදගත්වන්නේ.
අපි අයිති බටහිර කඳවුරටද.. නැගෙනහිර කඳවුරටද කියන කතාංදරය වැදගත් නෑ. නමුත් අපි අයිතිවන්නේ බෙදා වෙන්කෙරූ පිරිස එකතු කෙරෙන කඳවුරට නම් එතැන ගැටුමක් නෑ.
බර්ලිනය නැවත වරක් එකතුවෙනවා. නොවැම්බර් 10 වෙනිදා උදාවන්නේ බර්ලින් තාප්පය බිඳවැටුනු පුවත ලෝකය පුරා ප්‍රසිද්ධ වෙමින්.
පුදුමයි…වසර 28ක් පුරා බර්ලින් වැසියන්ව බෙදා වෙන්කෙරූ තාප්පය බිඳවැටෙනවා.
කවදා හෝ දවසක යුරෝපයේ සංචාරය කරන්න ලැබුනොත් බර්ලින් තාප්පය බලන්න අමතක කරන්නෙ එපා. බිඳ වැටුනු තාප්පයේ කොටසුත් එහි චිත්‍ර ගැලරියත් බලන්න වටිනවා.
පින්ක් ෆ්ලොයිඩ් විසින් ගායනා කරන the wall නැමැති ගීතය අහන්න වටින බොහොම ලස්සන ගීතයක්. “All in all, it’s just another brick in the wall”
1990 ජූලි මාසයේදී පින්ක් ෆ්ලොයිඩ් ගීත සැන්දෑව පැවැත්වෙන්නෙ බිඳවැටුනු තාප්පය අසලදීයි. එය සම්පූර්ණයෙන්ම නොමිළේ පැවැත්වූ ගී ප්‍රසංගයක්. නැගෙනහිර හා බටහිර බර්ලින් වැසියන් එකතුව විනෝද වූ මේ සංගීත සන්ධ්‍යාව බර්ලිනයේ නොමැකෙන මතකයක් විදිහටත් සටහන් වෙනවා.
Malcolm Sang

