නිත්‍යා රාමන් (Nithya Raman) ( අවු.45) කියන්නේ ඉන්දියාවේ උපත ලබා ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලනයෙහි නියැලෙන, ප්රමුඛ පෙළේ නාගරික සැලසුම්කාරියක, සමාජ ක්‍රියාකාරිනියක සහ දේශපාලනඥයෙක්. ඇය ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් (Los Angeles) නගරයේ නගරාධිපතිවරිය ලෙස තේරී පත්වූ පළමු ආසියාතික-ඇමරිකානු, ඉන්දියානු-ඇමරිකානු මෙන්ම හින්දු ජාතිකයා ලෙස ඉතිහාසයට එක්වුණා.
ඇය උපත ලබන්නේ 1981 ජූලි 28 වන දින ඉන්දියාවේ කේරළයේදී. ඇයගේ පවුල දකුණු ඉන්දියානු දෙමළ අයියර් ප්‍රජාවට අයත් පවුලක්. නිත්‍යා ඇමරිකාවේ සුප්‍රකට හාර්වර්ඩ් විශ්වවිද්‍යාලයෙන් (Harvard University) සමාජ අධ්‍යයනය පිළිබඳ උපාධියක් ලබාගත් අතර, පසුව මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයෙන් (MIT) නාගරික සැලසුම්කරණය (Urban Planning) පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ලබා ගත්තා.
ඇය ඇමරිකාවට අමතරව යම් කාලයක් ඉන්දියාවේ ද ජීවත් වූ අතර, චෙන්නායි නගරයේ සනීපාරක්ෂක හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම අරමුණු කරගත් ‘Transparent Chennai’ නම් පර්යේෂණ ආයතනයක් ආරම්භ කලා.පසුව ලොස් ඇන්ජලීස් වෙත පැමිණි ඇය, එතුළ නිවාස නොමැති සහ අසරණ වූ ජනතාවට පිහිට වීම සඳහා ‘SELAH Neighborhood Homeless Coalition’ නමින් ලාභ නොලබන සංවිධානයක් සම-ස්ථාපනය කලා.මීට අමතරව, ඇය හොලිවුඩයේ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ‘Time’s Up Entertainment’ සංවිධානයේ විධායක අධ්යක්ෂවරියක ලෙසද කටයුතු කර තිබෙනවා
ඇය සිය දේශපාලන ගමන අරඹන්නේ නගර සභික ධුරයකින්. ඒ ප්රජාතන්ත්රවාදී සමාජවාදී දේශපාලන පක්ෂයෙන්, 2020 වසරේදී ලොස් ඇන්ජලීස් නගර සභාවේ 4 වන දිස්ත්‍රික්කයට (4th District) තරඟ කළ ඇය, වසර 17ක් තිස්සේ බලයේ සිටි ප්‍රබල දේශපාලනඥයෙක් පරදවමින් ඓතිහාසික ජයග්‍රහණයක් ලැබුවා. මෙම ජයග්‍රහණය දේශපාලන විචාරකයන් විසින් හැඳින්වූයේ “දේශපාලන භූමිකම්පාවක්” ලෙසින්. පසුව 2024 වසරේදී ඇය යළිත් එම ධුරයටම තේරී පත්වුණා.
පසුගියදා ලොස් ඇන්ජලීස් නගරාධිපති තනතුර සඳහා පැවති මැතිවරණයේදී ඇය ප්‍රධාන ප්‍රතිවාදීන් පරදවා ඓතිහාසික ජයක් අත්කර ගන්නේ ආසියාතිකයින්ගේ පමණක් නොව ලෝකයේ ද අවධානය තම්න් වෙත යොමු කරගනිමින්.
නිත්‍යා රාමන් ප්රගතිශීලී ප්රජාතන්ත්රවාදී සමාජවාදී අදහස් දරන්නියක් ලෙස ප්‍රසිද්ධයි. ඇය මූලිකවම අවධානය යොමු කරන කරුණු වන්නේ නිවාස අර්බුදය සහ නිවාස නොමැති වීම විසඳීම කෙරෙහි. නගරයේ සැමට දැරිය හැකි මිලකට නිවාස ලබාදීම සහ අසරණ වූවන්ට තාවකාලික නවාතැන් සැපයීම.
දේශගුණික විපර්යාස, නගරය තුළ හරිත බලශක්ති භාවිතය ඉහළ නංවා කාබන් උදාසීන ඉලක්ක කරා ළඟා වීම ඇයගේ දේශපාලන අරමුණු. කුලී නිවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ නාගරික පරිපාලනයේ විනිවිදභාවය තහවුරු කිරීම කෙරෙහිද ඇය අවධානය යොමුකර තිබෙනවා
ඇය රූපවාහිනී තිර රචකයෙකු වන වැලි චන්ද්‍රසේකරන් (Vali Chandrasekaran) සමඟ විවා වී සිටින අතර, ඔවුන්ට නිවුන් දරුවන් ලෙස පුතෙකු සහ දියණියක සිටිනවා. ඇය දැනට පදිංචිව සිටින්නේ ලොස් ඇන්ජලීස් හි සිල්වර් ලේක් (Silver Lake) ප්‍රදේශයේ.
ඇගේ මෙම ජයග්‍රහණය සමග ඇමෙරිකාවේ ප්‍රධාන නගර දෙකක මුල් පුරවැසි අසුන ඉන්දියානුවන් දෙදෙනෙකුට හිමිවුණා. අනෙකා වන්නේ නිව්යෝර්ක් නගරාධිපති සොරාන් මම්දානි.
