56 යේ ගම්පෙරළිය, නිධානය, මනමේ හා කුඩහොරා

5

ශ්‍රී ලාංකේය සාහිත්‍යය, සිනමාව හා නාට්‍ය ඉතිහාසය විමසන විට මාර්ටින් වික්‍රමසිංහගේ ගම්පෙරළිය, ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නිධානය සහ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ මනමේ වැනි නිර්මාණ හැරවුම් ලක්ෂ්‍ය ලෙස සැලකේ. එම දශකයේම ළමා සාහිත්‍යය හා දෘශ්‍ය කලාවට අසම සම දායකත්වයක් ලබාදුන් සිබිල් වෙත්තසිංහගේ කුඩහොරා වැනි නිර්මාණ ද එම මහා කලාධාරාවේ සමාන වැදගත්කමකින් සලකා බැලිය යුතුද යන ප්‍රශ්නය ඉතා වැදගත්ය.
ගම්පෙරළිය සිංහල නවකතාවේ යථාර්ථවාදී ප්‍රවණතාව ශක්තිමත් කරමින් ගැමි සමාජයේ බිඳවැටීම, නව ධනපති පන්තියේ නැඟීම සහ සමාජ පරිවර්තනය ගැඹුරින් විග්‍රහ කරයි. නිධානය මිනිස් ආශාව සහ සදාචාරාත්මක පිරිහීම සිනමා භාෂාවෙන් නිරූපණය කරමින් රූප, ආලෝකය, නිහඬතාව සහ කැමරා භාවිතය හරහා අර්ථ ගවේෂණයට අවකාශ සලසයි. මනමේ දේශීය නාඩගම් සම්ප්‍රදාය නූතන වේදිකා නාට්‍ය කලාව සමඟ ඒකාබද්ධ කරමින් සංගීතය, රංගනය සහ සංකේතාත්මක භාවිතය ඔස්සේ මිනිස් හැඟීම් හා සදාචාරාත්මක ගැටලු විවරණය කරයි.

ඒ හා සමවන සේම සිබිල් වෙත්තසිංහගේ කුඩහොරා ද තමන්ටම අනන්‍ය කලා භාෂාවක් ගොඩනඟා ගත් නිර්මාණයකි. එය ළමා කතාවක් පමණක් නොව, වචන සහ චිත්‍ර එකට එකතු වී කතාවේ අර්ථය ගොඩනඟන දෘශ්‍ය-සාහිත්‍ය කෘතියකි. චරිතවල ඉරියව්, මුහුණුවල හැඟීම් සහ සරල රේඛා චිත්‍ර දරුවාගේ පරිකල්පනය අවදි කරන අතර, සිබිල් වෙත්තසිංහ ගේ චිත්‍ර ශෛලිය “මටත් චිත්‍රයක් අදින්න පුළුවන්” යන විශ්වාසය ද ළමයින් තුල ඇති කරයි. මෙහි චිත්‍ර අලංකාර අංගයක් නොව, කතාවේ අත්‍යවශ්‍ය භාෂාවකි.

සැබෑ කලාත්මක වටිනාකම තීරණය වන්නේ කෘතිය වැඩිහිටියන්ටද ළමයින්ටද ලියූවක්ද යන්නෙන් නොව, එය භාවිත කරන මාධ්‍යයේ නව්‍යත්වය, සන්නිවේදන ශක්තිය සහ සංස්කෘතික බලපෑම මතය. එහෙත් ශ්‍රී ලාංකේය කලා ඉතිහාසයේ ළමා සාහිත්‍යය බොහෝ විට වෙනම ක්ෂේත්‍රයක් ලෙස සලකන නිසා සිබිල් වෙත්තසිංහගේ දායකත්වය ප්‍රධාන කලා විමර්ශනවල අඩුවෙන් සාකච්ඡා වී ඇති බව පෙනේ.

දරුවන් සඳහා නිර්මාණය කිරීම ද විශිෂ්ට කලාත්මක හැකියාවක් ඉල්ලා සිටින කාර්යයකි. දරුවාගේ අවබෝධය, භාෂා හැකියාව සහ පරිකල්පනය සැලකිල්ලට ගනිමින් සංකීර්ණ අදහස් සරලව ඉදිරිපත් කිරීම පහසු නොවේ. ඒ අතින් කුඩහොරා ද ගම්පෙරළිය, නිධානය සහ මනමේ මෙන්ම තමන්ගේ මාධ්‍යය තුළ අර්ථවත් කලාත්මක අත්දැකීමක් නිර්මාණය කරයි.

සිබිල් වෙත්තසිංහගේ නිර්මාණ දේශීය සීමාවන් ඉක්මවා ඉංග්‍රීසි, ජපන්, චීන, කොරියානු, ස්වීඩන්, නෝර්වීජියානු, ඩෙන්මාර්ක් ඇතුළු භාෂා රැසකට පරිවර්තනය වී ජාත්‍යන්තර ඇගයීමට ලක්වීම ද ඇයගේ කලාත්මක වටිනාකම තහවුරු කරයි.
අවසානයේ මතු වන ප්‍රශ්නය සරලය. කලාකරුවකුගේ ශ්‍රේෂ්ඨත්වය මනින්නේ ඔහු හෝ ඇය නිර්මාණය කළ පාඨක පිරිස අනුවද, නැතහොත් මානව පරිකල්පනයට, සංස්කෘතියට සහ කලා උරුමයට එක් කළ වටිනාකම අනුවද? එම ප්‍රශ්නයට පිළිතුර සොයන විට සිබිල් වෙත්තසිංහගේ කුඩහොරා ශ්‍රී ලාංකේය කලා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයකි.

චමින්ද ක්‍රිෂාන්ත