දික්කසාද වූ බිරිඳට සහ දරුවන්ට නඩත්තු මුදල් නොගෙවීම නිසා බන්ධනාගාරගත කර සිටි පුද්ගලයකුට ජනාධිපති සමාව ලබාදීමෙන් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ අධිකරණ අමාත්යාංශයේ ලේකම්වරයා ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
පසුගිය 23දා මෙසේ ශ්රේෂ්ඨාධිකරණය අදාළ නියෝගය නිකුත් කළේ අහමඩ් ජලීල් ෆාමිලා බෙගම් නමැති තිදරු මවක විසින් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් පසුව ය. ජනක් ද සිල්වා, ආචාර්ය සෝභිත රාජකරුණා සහ සම්පත් විජේරත්න යන ත්රිපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මේ පෙත්සම විභාග කෙරිණි.
මේ ජනාධිපති සමාව ශුන්ය හා බලරහිත බවට ප්රකාශ කළ අධිකරණය, ඔහු වහාම නීතිය ක්රියාත්මක කරන බලධාරීන්ට බාර විය යුතු බව ද අවධාරණය කළේය.
පෙත්සම්කාර අහමඩ් ජලීල් ෆාමිලා බෙගම් සහ ජනාධිපති සමාව ලද පෙත්සමේ හය වැනි වගඋත්තරකරු වූ මොහොමඩ් අමීන් මොහොමඩ් නසීම් 2005 වසරේදී විවාහ වී ඇති අතර, ඔවුන්ට දරුවන් තිදෙනෙකි. පසුව ඔවුන් දික්කසාද වී ඇත. විවාහය අවසන් වීමෙන් පසු කොළඹ-නැගෙනහිර කාති අධිකරණය විසින් මසකට රුපියල් 60,000 බැගින් නඩත්තු ගෙවීමට වගඋත්තරකරුට නියෝග කර තිබිණි. එම නියෝගය දිගින්-දිගටම පැහැරහැරීම නිසා එකතු වූ රුපියල් 1,740,000ක හිඟ නඩත්තු මුදල අයකර ගැනීම සඳහා මීගමුව මහේස්ත්රාත් අධිකරණය බලාත්මක කිරීමේ සහතිකයක් නිකුත් කළ අතර, අදාළ මුදල් නොගෙවීම හේතුවෙන් මහේස්ත්රාත් අධිකරණය විසින් ඔහුට මාස 29ක සිරදඬුවමක් නියම කරමින් 2024 ජූලි 19 වැනි දින බන්ධනාගාරගත කෙරිණි.
2024 සැප්තැම්බර් 12 දිනට යෙදුණු ජාතික රැඳවියන්ගේ දිනය වෙනුවෙන් එවකට ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 34 වැනි ව්යවස්ථාව යටතේ විශේෂ පොදු සමාවක් ප්රකාශයට පත්කරන ලදි. එහිදී, වගඋත්තරකරුගේ සිරගත කිරීමේ වරෙන්තුවේ ඔහුගේ දඬුවම ‘දඩ මුදලක් නොගෙවීම වෙනුවෙන්’ ලෙස සටහන්ව තිබීම පදනම් කරගනිමින්, දඩ මුදල් නොගෙවූ රැඳවියන්ගේ ඉතිරි සිරදඬුවම සම්පූර්ණයෙන්ම නිදහස් කිරීමේ කාණ්ඩය යටතට ඔහුව ඇතුළත් කර තිබිණි. ඒ අනුව, තමන්ට නියම වූ මාස 29ක සිරදඬුවමෙන් මාස දෙකකටත් අඩු කාලයක් පමණක් ගෙවා සිටි ඔහුට පූර්ණ නිදහස හිමි විය.
