ජෙෆ්රි බාවා අවකාශය ‘අකුරු කියන කතා’ නරඹන්නට ඔබට ආරාධනා කරන්නේ නැවතිල්ලේය, නිශ්ශබ්දවය. කුඩා දොරකින් ඇතුළ සිරි පෙන්වන්නට පෙර පිළිගැනීමේ කවුන්ටරය ආසන්නයේ තාවරව ‘ශ්‍රී’ අකුරෙන් සැදූ අමුතු හතරැස් ලාම්පුකාර සැරසිල්ලක් වෙත ඇස් සොරා ගනී. ඉන්පසු අමුතු හැඩවලින් රාමු කරන්නට යෙදුණු, විවිධ අකුරු සාම්පල බිත්ති මත එල්ලී සිටින’යුරු දකින්නට පුළුවන. ඒ සියල්ල ‘වීදි අකුරු’ය. වීදිවල දක්නට ලැබුණු විවිධාකාරයේ අකුරු මාදිලි රාමුවක් තුළ දක්නට ලැබීම තරමක් දුර්ලභ සංසිද්ධියකි. දැන් කුඩා දොරින් ඇතුළුව ‘අකුරු කියන කතා’ ගවේෂණාත්මක ප්‍රදර්ශණයට ඇතුළු විය හැකිය. ශ්‍රී ලාංකේය අකුරුවල අසිරිය, එහි අතීතය සහ අනාගතය ගැන තුන් කල් පෙනෙන රූපාවලියකි. මෙමඟින් මුද්‍රිත අකුරුවලින් එහාට පිම්මක් පැන ගොස් අකුරු කලාවේ නව මුහුණු සහ හැඩතල හඳුනාගැනීමට ද හැකිය.
කොළඹ කේන්ද්‍ර කරගත් ‘මූනියැක්’ නිර්මාණ සහ අක්ෂර අක්ෂරාගාරය විසින් සංවිධානය කරා ඇති මේ
ප්රදර්ශණයේදී සිංහල, දෙමළ සහ ලතින් අකුරු මෝස්තර සහ ඒවායේ නිර් මාණාත්මක පැතිකඩ පිළිබඳ , සංරක්ෂණය කළ ලේඛන, මුද්‍රණ යන්ත්‍ර සේම නිදහස් සහ විවෘත මෘදුකාංග පිළිබඳත් තොරතුරු ලබා ගැනීමට හැකිය. ‘අකුරු කියන කතා’ 2026 දෙසැම්බර් 06 වැනිදා තෙක් බදාදා සිට ඉරිදා දක්වා උදෑසන 10.30 සිට සවස 05.30 තෙක් කොළඹ 07, හෝර්ටන් පෙදෙසේ ජෙෆ්රි බාවා ස්පේස් හිදී නොමිලේ නැරැඹිය හැකිය.
අකුරක් සැකසෙන ආකාරය, ඊට අදාළ කේත, ඒවා මුද්‍රිතව දකින ආකාරය දක්වා එන ගමන ගැන වඩා පැහැදිලි විස්තරය කියන්නේ කෝසල සෙනෙවිරත්නය. ඊළඟ ස්ථාපනයෙන් දැකගත හැක්කේ ඒවායේ මුද්‍රිත අකුරු ස්වභාවයයි. වඩාත් උනන්දුව දක්වන ස්ථාපනය හමු වූයේ ‘අභය ලිබ්රේ’ අකුරු ගොමු මුහුණතක් ළඟදීය. ගූගල් විසින් වෙබ් භාවිතය සඳහාම වෙන් වූ නවීන, නිදහස් සිංහල ලතින් අකුරු පෙළක් නිර්මාණය කිරීමේ වගකීම මූනියැක් වෙත පැවරුණු පසු නිමැවුණු අකුරු රටාව ‘අභය ලිබ්රේ’ නමින් දැන් ඔබට දැකගත හැකිය. පුෂ්පානන්ද ඒකනායක නිමැවුණු එෆ්.එම්.අභය ෆොනරුවේ මූලික ලක්ෂණ උකහාගෙන ප්‍රති නිමැවුණු ‘අභය ලිබ්රේ’ සිංහල හැඩතල ආදිය මනාව කැපී පෙනෙන අකුරු රටාවකි. මෙහි ලතින් ඉංග්‍රීසි අකුරු පෙළ ආර්ජන්ටිනා ජාතික අකුරු නිර්මාණ ශිල්පී සොල් මතාස් විසින් නිමවා ඇත. මේ සමස්ථ ක්‍රියාවලියම මතු ප්‍රයෝජන වෙනුවෙන් ලේඛනගත කර ඇත. එසේම ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා ආවරණය වන දියුණුම ‘ත්රෙභාෂා අකුරු පෙළ’ වන්නේත් අභය ලිබ්රේ ය.
එසේම ‘යාල් දේවි’ අකුරු මුහුණත ද තවත් ස්ථාපනයක ය. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් නිමවා ඇති ‘යාල්දේවි’ අකුරු මුහුණත ෆොන්ට් ලෝලීන් අතර අතිශය ජනප්‍රිය එකකි.
මේ ප්‍රදර්ශනයේ මගේ වඩාත් සිත්ගත් ස්ථාපනය අකුරු නැටවීමකි. කෝසල සෙනෙවිරත්න කියන ආකාරයට මේ ‘වැඩ කරන ෆොන්ට්’ එකකි. එනම් පණ ඇති ෆොන්ට් එකකි. ස්ක්‍රීනය ඉදිරිපිට සිටින්නාට සංවේදීව, ඒ තැනැත්තාගේ අංග චලනවලට ප්‍රතිචාර දක්වමින් ස්ක්රීනයේ ඇති අකුරු නටන්නට ගනී. ඒචා විටෙක කුඩා වන අතර, තවත් විටෙක විශාලනය වෙමින් තම හැඩය වෙනස් කර ගනී. මේ අපූරු අකුරු අත්හදා බැලීම් නරඹන්නටම වටින තත්ත්වයේ ඒවාය.
ජෙෆ්රි බාවා ස්පේස් හි ඇති ගෙවත්තේ අමුතු අකුරකින් තැනුණු දුම්රිය නාම පුවරුවකි. එහි ඇත්තේ ‘යක්කල’ යන්න සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවේ අකුරු වර්ග සියල්ලේ සංකලනයෙන් සෑදුණකි. මේ අමුතු පුවරුවේ නිමැවුම්කරු පැතුම් එගොඩවත්තය. ඔහුගේ උපාධියේ අවසන් වසර නිර්මාණ ව්‍යාපෘතියේ කොටසක් ලෙස 2013දී මේ අකුරු මෝස්තරය නිමවා ඇති අතර, ඊට දී ඇත්තේ ‘අම්මා’ යන නමයි.
එමෙන්ම පැරැණි මුද්‍රණ යන්ත්‍රයක් ද මේ ප්‍රදර්ශන භූමියේ ස්ථාපනය කර ඇත. නරඹන්නට පැමිණෙන ඕනෑම කෙනෙකුට මේ මුද්‍රණ යන්ත්‍රයෙන් ලෙටර් ප්‍රෙස් ක්‍රමයට යමක් මුද්‍රණය කර බැලිය හැකිය. ඒ අමතර බෝනසයකි.
එමෙන්ම එහි ස්ථාපනය කරන ලද අමුතු මාදිලියේ යන්ත්‍ර කිහිපයකි. එකකින් ‘ගෝල්’ ෆොනරුවෙන් ඕනෑම වාක්‍යයක් ටයිප් කර බැලීමට හැකි ආකාරයෙන් සැකසූ කීබෝඩයක් සහ ස්ක්රීනයකි. ඊළඟ යන්ත්‍රය ෆොන්ට් වෙන්ඩින් මැෂින් එකකි. ආහාර, ටිකට් හෝ පොත් මිලදී ගන්නා ආකාරයට මේ මැෂින් එකෙන් ෆොන්ට් මිලට ගනු හැකිය. ඔබේ විස්තර යන්ත්‍රයට කැවූ පසුව යන්ත්‍රය විසින් කිව්ආර් කේතයක් සහිත රිසිට් පතක් නිකුත් කරනු ලබයි. ඒ කිව්ආර් කේතය ස්කෑන් කිරීම මඟින් ඔබට ෆොනරුවක් බාගත කරගත හැකිය. විශේෂත්වය වන්නේ මේ ෆොනරුවේ ලයිසන් එකක්ද ඔබට ලැබීමයි. මේ යන්ත්‍ර තවත් දියුණු කෙරෙමින් පවතී.
අකුරු කියන කතා බොහෝය. එසේම නොකියන කතා ද බොහෝය. ඒ නොකී කතා සොයාගැනීමට නම් මේ මහරු
ප්‍රදර්ශණය නරඹන්නට යා යුතුය. ඒ ඔබ සතු ක්‍රියාවලියකි.
