අනුරාධපුර පූජා භූමිය සංවර්ධනය කිරීම සඳහා රුපියල් කෝටි 400ක දැවැන්ත මුදලක් (රුපියල් මිලියන 4,079ක්) යෙදවීමට රජය අපේක්ෂා කරයි.
පූජා භූමිය සංවර්ධනය කිරීම සඳහා මීට පෙර නාගරික සංවර්ධන අධිකාරිය සහ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විවිධ සැලසුම් සකස් කළද, මුදල් වෙන්කිරීම ප්රමාද වීම නිසා එම සැලසුම් ක්රියාත්මක නොවීය. වර්තමාන රජය මගින් තීරණාත්මක ව්යාපෘති 26ක් සඳහා මේ මුදල් වෙන්කර ඇත. 1946 අංක 13 දරන නගර හා ග්රාම නිර්මාණ ආඥා පනත යටතේ 1981 සැප්තැම්බර් 18 දිනැති අංක 159 ගැසට් පත්රයමගින් අනුරාධපුර පූජා භූමි ප්රදේශය ප්රකාශයට පත්කර ඇත. අනුරාධපුර, මධ්යම නුවරගම් පළාත ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්රාම නිලධාරි කොට්ඨාස 16ක වර්ග කිලෝමීටර් 28 සිට 32 දක්වා භූමි ප්රදේශයක් මෙසේ සංවර්ධනය කිරීමට අදාළ ව්යාපෘති පිළිබඳව 2026 පෙබරවාරි 27 දිනැති අංක 2477/44 දරන ගැසට් පත්රයෙන් ප්රකාශයට පත්කර තිබේ.
බැතිමතුන්ගේ සනීපාරක්ෂාව සහ සංචාරකයන්ට පහසුකම් සැලසීම මූලික කරගෙන, ඉන්දීය රජයේ මූල්ය ආධාර යටතේ ක්රියාත්මක කිරීමට අපේක්ෂිත මේ සැලැස්ම මගින් පුරාවිද්යාත්මක ස්ථාන සංරක්ෂණය, පරිසර පද්ධති ආරක්ෂා කිරීම සහ ප්රදේශවාසීන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම අපේක්ෂිත ය. ප්රවේශ මාර්ග, වාහල්කඩ සහ භූදර්ශන, පූජනීය සහ ආගමික ගොඩනැගිලි ප්රතිසංස්කරණය, පොදු පහසුකම්, සනීපාරක්ෂක මධ්යස්ථාන සහ රථගාල, පරිසර, පොකුණු සහ උරුමයන් සුරැකීම, ප්රවාහන, සංචාරක සහ නවීන තාක්ෂණික ව්යාපෘති යන ක්ෂේත්ර ආවරණය කිරීමට නියමිත ය.
ඒ අනුව පූජා භූමියේ සිංහ කණුවේ සිට ශ්රී මහා බෝධිය නැගෙනහිර ප්රවේශ මාර්ගය දෙපස භූදර්ශනය සකස් කිරීම සඳහා රුපියල් මිලියන 108ක් ඇස්තමේන්තු කර ඇත. ශ්රී මහා බෝධිය නැගෙනහිර ප්රවේශ ද්වාරය/වාහල්කඩ ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 36ක්, ශ්රී මහා බෝධිය පෙරහැර මාවත ප්රතිසංස්කරණයට රුපියල් මිලියන 258ක්, ශ්රී මහා බෝධිය දක්ෂිණ ප්රවේශය සංවර්ධනයට රුපියල් මිලියන 420ක්, රුවන්වැලිසෑය සහ ශ්රී මහා බෝධිය අතර ස්වර්ණමාලි මාවත සංවර්ධනයට රුපියල් මිලියන 97ක් මේ යටතේ ඇස්තමේන්තු කර තිබේ.
රුවන්වැලිසෑය නව ආවාසගෙය, දාන ශාලාව සහ සති ශාලාව ඉදිකිරීමට රුපියල් මිලියන 675ක්, ලෝවාමහාපාය පොහොය ගෙය ප්රතිනිර්මාණය කිරීමට රුපියල් මිලියන 210ක්, ශ්රී මහා බෝධිය නැගෙනහිර රථගාල තුළ සනීපාරක්ෂක මධ්යස්ථානයක් ඉදිකිරීමට රුපියල් මිලියන 82ක්, ශ්රී මහා බෝධිය නැගෙනහිර ප්රවේශයේ සනීපාරක්ෂක පහසුකම් ප්රතිසංස්කරණයට රුපියල් මිලියන 56ක් සහ සන්නිපාත ශාලාව අසල සනීපාරක්ෂක මධ්යස්ථානය සඳහා රුපියල් මිලියන 60ක් වශයෙන් මෙහිදී මුදල් වෙන් කර ඇත. රුවන්වැලිසෑය රථගාල, අක්කර අට රථගාල, අභයගිරිය රථගාල සහ සමාධි පිළිමය අසල රථගාල රුපියල් මිලියන 852ක වියදමින් ප්රතිසංස්කරණය කිරීමට නියමිත ය.
රන්මසු උයන භූ දර්ශනය සහ පහසුකම් සංවර්ධනය, මහා විහාර, ථූපාරාමය අසල කක්කුද පොකුණ, නන්දන මාවත අසල සහ සුනාත අසල පොකුණු සංවර්ධනය/සංරක්ෂණය, පූජා භූමියේ රුක්රෝපණ වැඩසටහන, ඇතුළුනුවර සල්ගහවත්ත හා කොටුබැම්ම කැණීම්/සංරක්ෂණය සහ බටහිර ආරාම සංරක්ෂණය, පූජා නගරය සහ නව නගරය යා කරමින් විද්යුත් ප්රවාහන සේවාවක් ඉදිකිරීම, බයිසිකල් මංතීරු සංවර්ධනය, පැරණි දුම්රිය නිවාස නවීකරණය කර සංචාරක ආකර්ෂණීය උරුම උද්යානයක් ඇති කිරීම, QR කේත, VR/AR තාක්ෂණය, Mobile App, ත්රිමාණ සංචාර ඇතුළත් විද්යුත් උරුම වැඩසටහනක්රියාත්මක කිරීම මේ යටතේ සිදුකිරීමට අපේක්ෂිත ය.
