ලංකාවේ දේශපාලනය පසුගිය සතියේ ආලෝලනය කළ සංසිද්ධිය වූයේ ඥානසාර භික්ෂුව පිලිබඳ සංසිද්ධියයි. මෙය අපූර්ව සංසිද්ධියකි ; බලංගොඩ කස්සප හිමිගේ සිට විමල් වීරවංශ දක්වා, රාජිත සේනාරත්නගේ සිට ලක්ෂ්මන් කිරිඇල්ල දක්වා, සමන්තභද්ර හිමිගේ සිට සජිත් ප්රේමදාස දක්වා බොහෝ අය ‘සිවුරේ අයිතිය’ වෙනුවෙන් කඳවුරු බැන්ද, උද්වේගකර සතියක් අපි පසු කලෙමු.
මේ වනවිට සිවුරේ නිදහස පිලිබඳ ප්රශ්නය යම් කඩ ඉමකට පැමිණ ඇත. බදුල්ලේ පැවති ජන රැළියක් අමතමින්, ජනාධිපති අනුර දිසානායක ප්රකාශ කළේ, නීතියට පිටින් ගොස් කාටවත් සමාව දීමේ අයිතියක් ජනවරම අනුව තමුන්ට නොමැති බවයි. මේ අනුව, ඥානසාර භික්ෂුවට සමාව දීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම ජනාධිපතිවරයා ප්රකාශිතවම ප්රතික්ෂේප කළේය.
මෙලෙස ප්රතික්ෂේප කරන්ට පෙර වූ තත්වය කුමක්ද? සිවුරේ අයිතිය පිලිබඳ මෙම ප්රශ්න පැන නැංගේ, අච්චු කරන ලද ගලගොඩඅත්තේ ඥානසාර හිමි, වෙනත් නඩුවකට උසාවිය අබියස ගිහි ඇඳුමින් පෙනී සිටීමේ සිද්ධියත් සමගය. මේ සමග විශාල ඝෝෂාවක් නිර්මාණය විය. මෙම ඝෝෂාවේ වූ විශේෂත්වය නම්, සාමාන්යයෙන් මෙබඳු ඝෝෂාවකට සම්බන්ධ වේ යැයි සිතිය හැකි යූෂුවල් සස්පෙක්ට්ස්ලාට එහා ගිය පිරිසක් ඊට සම්බන්ධ වීමය.
මිට අදාල උදාහරණ තුනක් දැක්විය හැක.
පලමු නිදසුන, රනිල් වික්රමසිංහය. මීට වසර කීපයකට පෙර, ලිබරල් සිවිල් සමාජයේ සහ ජනවර්ග ප්රශ්නය තමයි ප්රශ්නය ලෙස සලකන ලද වාමාංශික ස්ථරවල රොමාන්තික වීරයා වූ රනිල් වික්රමසිංහ සිවුරේ අයිතිය වෙනුවෙන් පෙරට ආවේය. විශේෂ මාධ්ය නිවේදනයක් නිකුත් කරමින්, ඥානසාර භික්ෂුව වෙනුවෙන් තමුන් පෙනී ඉන්නා බවට හේ සැක නැතිව ප්රකාශ නිකුත් කළේය.
දෙවැනි නිදසුන, නන්නත්තාර වූ ‘දකුණු ඉවුර’ එක්සත් කිරීම සඳහා න්යාය සපයන බවට කියමින් පිහිටවූ ‘දිනන දකුණ’ නම් සංවිධානයයි. මෙම සංවිධානය පටන් ගත්තේ වහසි බස් ගොඩක් එක්කය ; රාජපක්ෂවාදය විසින් නියෝජනය කළ ජාතිවාදයටයි, ජාතික ජන බලවේගයේ වාමවාදයටයි විරුද්ධ ලිබරල්-දක්ෂිණාංශික විරුද්ධ අක්ෂයක් නිර්මාණය කරන බවට අඩ බෙර ගසමිනි. සිය ජීවිත කාලයේ වැඩි හරියක් සිංහල ජාතිකවාදය සමග හැප්පෙන්න පාවිච්චි කළ දීප්ති කුමාර ගුණරත්න, සුදර්ශන ගුණවර්ධන වගේ අයත් මේ සංවිධානයේ වැඩමුලුවල පෙනී සිටියහ.
මේ පසුබිම තුළ, ඥානසාර භික්ෂුව සම්බන්ධව දිනන දකුණ ගත් ස්ථාවරය සිත් ගන්නා සුලුය. එහි න්යායාචාර්ය ශිරාල් ලක්තිලක භික්ෂු පෙලපාලිය නිසා ආස්වාදයෙන් කුල්මත් විය. ආණ්ඩුවට විරුද්ධ නම්, ඥානසාර වුණත් හා අම්මේ වගේ ආකල්පයකට මාරු විය.
තෙවැනි නිදසුන, සමගි ජන බලවේගයයි. නුවර සිට කොළඹට කළ ඥානසාරවාදී පෙලපාලියේ උච්චතම අවස්ථවේ මහනායක හිමිවරු බැහැ දකින්ට ගිය සජබ නායකයන් කීවේ ආණ්ඩුව සුලු ජාතීන් පින වන්ට සිවුරට පහර දෙන බවයි. අදාල පෙලපාලිය කොලඹ කඳවුරු ලෑ විට, එහි ආරක්ෂාව වෙනුවෙන් සජිත් ප්රේමදාස මහතා නිවේදනයක් නිකුත් කළේය. ආණ්ඩුව බුදු දහමට කෙණෙහිලි කම් කරන බව කීම මෙම සංසිද්ධිය අබියස එම පක්ෂය ගත් ආස්ථානයයි.
මේ නිදසුන් තුන පෙන්වන්නේ කුමක්ද? මේ කිසිවෙක්, ඥානසාර හිමි, බලංගොඩ කස්සප හිමි වගේ අය එක්ක පෙනී ඉන්න යූෂුවල් සස්පෙක්ට්ස්ලා නොවේ. යූෂුවල් සස්පෙක්ට් පොහොට්ටුවයි. යට කී බලවේග, සිය පැවැත්මේ වැඩි කාලයක් තුළ ඥානසාරවාදය සමග පසමිතුරු සම්බන්ධයක් දැක්වූ අය වෙති. ඥානසාරවාදය යනු පශ්චාත්-යුද ලංකාව තුළ ඇති කළ විපරිත ප්රවණතාවයක් බව මේ සැවොම හොඳින් දනිති. එය අවංක සිංහල බෞද්ධ යමක් නොව, අශ්ලීල අන්තර්ගතයක් සහිත, විකෘතියක් බව මේ හැමෝම ඉතා හොදින් දනිති.
එහෙම තිබියදී, මෙය අන්තිම අශිෂ්ට, විපරිත ප්රවණතාවයක් බව හොදින් දැන සිටියදී පවා – රනිල් වික්රමසිංහ, සජිත් ප්රේමදාස, දිනන දකුණ වගේ අය ඥානසාරවාදය වෙනුවෙන් මේ වෙලාවේ පෙනී ඉන්නේ ඇයි?
මෙය තරමක් බැරෑරුම් ලෙස ගත යුතු සංඥාවකි. මෙම ආණ්ඩුව බලය ගැන්මට පෙර, අපගේ රටේ දේශපාලනය කඳවුරුගත වී තිබුණේ රාජපක්ෂවාදය සහ රනිල්-සජිත් ආදී බලවේගවලින් සමන්විත විපක්ෂය ලෙසටය. එනම්, දක්ෂිණාංශික ජනතාවාදී හවුලක් සහ මධ්ය-දක්ෂිණාංශික හවුලක් ලෙසටය.
ජාතික ජන බලවේගය මෙම සමීකරණය අවුල් කළේය. රාජපක්ෂවාදය විසින් සංවිධානය කළ ජනතාවගේ විශාල කොටසක් සහ මධ්ය-දක්ෂිණාංශයට සහය දුන් ජනතා කොටස් වල සැලකිය යුතු ස්ථරයක් එක්සත් කරමින්, ‘දූෂණ විරෝධය’ නම් වූ අක්ෂය වටා එය නව දේශපාලන හවුලක් බිහි කළේය.
මෙම බලවේගයේ නැගීම නිසා රාජපක්ෂවාදය වගේම, මධ්ය-දක්ෂිණාංශික හවුලද බරපතල අර්බුදයට මුහුණ පා සිටී. රාජපක්ෂ විරෝධය වගේ සටන් පාඨ සාමාන්යයෙන් මධ්ය-දක්ෂිණාංශික හවුලේ සටන් පාඨ ලෙස පැවැති ඒවාය. ජාතික ජන බලවේගය ඒවා තමුන්ගේ කරගත්තේය. අනෙක් අතට, ආර්ථිකය සම්බන්ධව, රැඩිකල් තීරණවලට නොගොස්, යම් ආකාරයක ප්රවේශම්කාරී ප්රතිපත්තියක් අනුගමනය කරන්ට ආණ්ඩුව මේ වන තෙක් ක්රියා කොට තිබෙන නිසා, ආර්ථික ප්රතිපත්ති ගැන ද ලොකු දෙයක් කියන්ට මෙම බල කඳවුරට නොහැකි වී තිබේ.
මේ නිසා කියා ගන්ට දෙයක් නොමැති තත්වයකට ඔවුන් පත්ව සිටිති. රාජපක්ෂවාදය පැත්තෙන් ගත් විට තර්කය පැහැදිලිය. ආණ්ඩුව සිංහල බෞද්ධයාට නොසලකන බව, අරක බව, මේක බව ඔවුන් කිව හැක. එහෙත් මධ්ය-දක්ෂිණාංශයට කිව හැක්කේ කුමක්ද? ආණ්ඩුව සොරු අල්ලයි. නීතියේ ආධිපත්යය ක්රියාත්මක කරයි. රාජපක්ෂලා හිරේ දමයි. ඥානසාර භික්ෂුව පවා හිරේ දමයි. මෙම තත්වය විසින් පැවැත්ම පිලිබද අර්බුදයක් මධ්ය දක්ෂිණාංශය වෙත අභිමුඛ වී ඇත.
මේ වනවිට පෙනෙන්ට තිබෙන්නේ, මෙම පැවැත්ම පිලිබඳ අර්බුදය විසින් අන්තිම නරක අන්තය වෙත ඔවුන් තල්ලු කෙරෙමින් සිටින බවයි. සිවුර වගේ දේවල්වලට මෙරට සිංහල බෞද්ධ ජනයා අතර යම් හැගීම්බර පිලිගැන්මක් තිබෙන බව දන්නා ඔවුන්, අතිශය අගතිගාමී බලවේගයක් සක්රීය වී හෝ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව අර්බුදයට යන්නේ නම් මැනැවි යැයි සිතන බව පෙනෙයි. මේ අයගේ තක්සේරුව, සිංහල බුද්ධාගම පිලිබද ප්රශ්නය ආණ්ඩුවේ ‘දුර්වලම පුරුක’ බවයි. මෙම දුර්වලම පුරුකට කවුරු පහර දුන්නත්, ආණ්ඩුව දුර්වල වන නිසා, එය තමාගේ වාසියට හේතු වේ යැයි මේ අය සිතන බව පෙනෙයි. මෙසේ සිතන විට, මේ අයට සමාජය ගැන වගකීමක්, වගවීමක් නැත.
මේ අතර, ‘වාමාංශිකයන්’ කරන්නේ කුමක්ද? සාමාන්යයෙන් යුරෝපීය රටවල නම්, අන්ත දක්ෂිණාංශික බලවේග සමග මුහුණට මුහුණ හැපෙන්නේ දැඩි වාමාංශික ස්ථාරවල සිටින කණ්ඩායම්ය. නව නාසිවාදී පක්ෂ ආදිය උද්ඝෝෂණය කරන විට, මෙබඳු කණ්ඩායම් විවෘතව ගේම ඉල්ලයි. හැපෙයි. අභියෝග කරයි. සමාජය ඊට එරෙහිව සංවිධානය කරන්ට උත්සාහ කරයි.
අපගේ ‘වාමාංශය’ සිවුරු අරගලය අබියස ගත් ස්ථාවරය කුමක්ද?
ආණ්ඩුව කොයි මොහොතක හෝ ඥානසාර හිමිට සමාව දේ යැයි අපේක්ෂාවෙන් බලා සිටීම හැර ඔවුන් කල වෙන දෙයක් නැත. එවිට ඊට හූ කිව හැක. කාටුන් ඇඳිය හැක. තමුන්ගේ සදාචාරමය පවිත්රතාවය ගැන සිතමින්, හස්ත සේවනයේ යෙදිය හැක. සාමාන්යයෙන්, ඥානසාරවාදය වගේ, දක්ෂිණාංශික-ස්වෝත්තමවාදී ප්රවණතාවයකට විරුද්ධ වේ යැයි අපේක්ෂා කරන, මධ්ය-දක්ෂිණාංශික හා ‘වාමාංශික’ කොටස් මේ මොහොතේ ලංකාවේ ස්ථානගත වී සිටින්නේ මෙන්න මේ ආකාරයටය.
