කාවන්තිස්ස – ‘සද්දන්ත ජීවිතයක්’ අවසන් !

28
Photo from Wildlife Department

තඹුත්තේගම, එප්පාවල, නීරාවිය කුඹුරක වැටී සිටියදී හමුවූ සද්දන්ත ඇතා, කාවන්තිස්ස අද (16) සන්ධ්‍යාවේ මිය ගියේය.

අද උදෑසන මේ ඇතා වැටී සිටියදී හමුවූ අතර, එම ඇතාට ප්‍රතිකාර කිරීමට පශු වෛද්‍යවරුන් රැසක් ගොස් තිබිණි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කාලයක් තිස්සේ මේ ඇතා නිරීක්ෂණය කරමින් සිටි බව රහසක් නොවේ. එහෙත් එම ඇතාට බඳින තුවක්කු කඳකින් වෙඩි තබා තිබිණි. වෙඩි වැදී ඇති බව දැනගැනීමෙන් පසු සැප්තැම්බර් මාසයේ මුල සිට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතාට ප්‍රතිකාර කරන ලදි.

ඇතා නිද්‍රාවට පත්කොට, රුධිර සාම්පල පරීක්ෂා කරමින්, දින 4ක් පුරා ප්‍රතිකාර කිරීමෙන් පසු, ඇතා යම් සුවයක් ලබා සියඹලන්ගමුව ප්‍රදේශයේ සිට තඹුත්තේගම ප්‍රදේශයට ගියේය.

කෙසේ වෙතත් පසුගිය ඔක්තෝබර් 06දා වනජීවී නිලධාරීන් නිරීක්ෂණය කර තිබුණේ ඇතා රෝගී තත්ත්වයකට පත්ව ඇති බවයි. ඇතා ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් සිටි අතර, ඇතාගේ වසුරු පරීක්ෂා කොට ප්‍රතිකාර කිරීම ආරම්භ කරන ලදි. ඉන්පසු තායිලන්තයෙන් වෛද්‍ය කණ්ඩායමක් රැගෙන ඒම සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්විණි.

ඇත්තටම කාවන්තිස්ස යනු සද්දන්ත ජීවිතයකි.