අතුරුදන් කරන ලද මාධ්‍යවේදී ප්රගීත් එක්නැලිගොඩ නඩු විභාගයට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කැඳවීමට නියමිත ය.
රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා වීමට පෙර ඔහු යුද හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය. ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වන අවස්ථාව වන විට ඔහු යුද හමුදා බුද්ධි ප්‍රධානියා නොවූවද, පසුව මේ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් වන සාක්ෂි සැඟවීමට සහ විනාශ කිරීමට ඔහු මැදිහත් වූ බවට ද චෝදනා එල්ල වී තිබේ. එසේම අධිකරණයේ විභාග වන මීට අදාළ නඩුවලට අවශ්‍ය ලිපිගොනු ලබානොදීමට මෙන්ම දැනට හඳුනාගෙන සිටින විත්තිකරුවන් සම්බන්ධයෙන් සුරේෂ් සලේ මැදිහත් වී තිබෙව බවට චෝදනා එල්ල වේ.
මේ අතර ප්‍රගීත් එක්නැලිගොඩ එල්ටීටීඊ සංවිධානය සමග මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක්ට සැලසුම් සකස් කළ බවට පසුගිය දින දෙකේ ප්‍රචාරයක් ගෙන ගියේය. 09දා පැවැති ත්‍රිපුද්ගල මහාධිකරණ නඩු විභාගයේදී එක්නැලිගොඩ නඩුවේ පැමිණිල්ලේ තුන්වැනි සාක්ෂිකරු වන සුමතිපාල සුරේෂ් කුමාර හෙවත් මුරලි එවැන්නක් පිළිගත් බවට මේ ප්‍රචාරයේ සඳහන් විය.
එහෙත් එදින අධිකරණයේදී විත්තිය වෙනුවෙන් මුරලිගෙන් හරස් ප්‍රශ්න ඇසූ නීතිඥවරයා මේ කරුණ වරින්වර මතු කළද, ඒ සියලු අවස්ථාවලදී ඔහු එය ප්‍රතික්ෂේප කළේය. ඔහු පිළිගත් බවට ගෙන ගිය ප්‍රචාරය සම්පූර්ණයෙන්ම සාවද්‍ය ය.
මීට පෙර ද මාධ්‍යවේදී ප්රගීත් එක්නැලිගොඩ එල්ටීටීඊකාරයකු කර, ඔහු පැහැර ගැනීම සාධාරණීකරණය කරන්නට හමුදාව ගත් උත්සාහය අසාර්ථක විය. යුද හමුදා බුද්ධි අංශය මගින් ප‍්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බවට සාධක හෙළිවෙමින් තිබියදී, බුද්ධි අංශය එදවස කඩිනම් මෙහෙයුමක් ක‍්‍රියාත්මක කළේය. එහි අරමුණ වූයේ ප‍්‍රගීත් එල්ටීටීඊකාරයකු බවට මතයක් සමාජගත කිරීම ය. ඒ හරහා ‘ ඕකව උස්සන්නමයි ඕනෙ, ඕකට හොඳ වැඩේ’ කියන පද ටික ජනතාව ලවා ම කියවා ගැනීම බුද්ධි අංශවල ඉලක්කය විය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ කොන්ත‍්‍රාත් මිනීමැරුම් සාධාරණීකරණය කරන්නට සැදී පැහැදී සිටි පරාජිත, එහෙත් යහපාලන ආණ්ඩුවෙන් පින ඵල දුන් ඇතැම් ඇමැතිවරු ද ඒ කුමන්ත‍්‍රණයට තමන්ට හැකි උපරිමයෙන් දායක වෙමින් සිටියහ. ඇතැම් මාධ්‍යවේදීන් කිව්වේ ප‍්‍රගීත් මාධ්‍ය සාකච්ඡාවලට පැමිණ නැති බවත්, ඒ නිසා ඔහු මාධ්‍යවේදියකු නොවන බවත් ය. එහෙත් කර්තෘ මණ්ඩල සම්මාන උළෙල වැනි තැන් වල දී ලියන්නට නොදන්නා, නොලියන මාධ්‍යවේදීන්ට ද සම්මාන ලැබුණු බව ඔවුන් හිතාමතා ම අමතක කර තිබිණි.
ඒත් ඉන්පසු එදවස ද අධිකරණයේදී සියල්ල සුද්ධ විය.
‘රජයේ ආයතන දහයක තොරතුරු මත කරන ලද විමර්ශනයට අනුව මාධ්‍යවේදී ප්රගීත් එක්නැලිගොඩ එල්ටීටීඊ ත‍්‍රස්තවාදයට සම්බන්ධ වී හෝ ඊට අනුබලදීමක් කර හෝ නැති බවත්, ඔහුට එරෙහිව කිසිදු ආයතනයක් හරහා අධිකරණ ක‍්‍රියාමාර්ගයක් ගෙන නැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
