ලෝකය බෙහෙවින් නවීන ය. එහි ආත්මය ව ඇත්තේ වේගයම ය. මිනිසාගේ ජීවිතය තීරණය කරනුයේ වේගය මතම වූ විටක මෙනි. වේගී යතුරු පැදි ධාවකයන්ගේ සිරුර කඩ කඩව යන වර්තමානයක අනුවණ, අපරිණත, අපරීක්ෂාකාරී යෞවනයක විනාශය ගැන විස්සෝප වෙන වැඩිහිටියෝද බොහෝ හදිසි අනතුරුවලට මුහුණ දෙමින් ආත්මයෙන් මියැදෙමින් සිටිති. පසුවන එක් නිමේෂයක අපට මගහැරෙන බොහෝ දේ ගැන මහත් සේ වදවෙන මිනිසා තමන්ට වේගයෙන් මගහැරෙන ජීවිතය ගැන අනවධානීය. අපේ ලෝකය ඩිජිටල්කරණයෙන් බබලන්නකි. අනෙකාට අත දෙන්නට, අනෙකාගේ අත ගන්නට අපට වුවමනාවක් හෝ වෙලාවක්ද නැති. එහෙත් අපට අහිමිව ගිය නැතිනම් අප විසින්ම අහිමි කරගන්නා ලද අතීතයක ඇතැම් මතයන් යළි අපේ හදවතට රිදුම් දෙන නිමේෂයන් එළඹෙයි. අපට යළි ඒ අතීත ලෝකයට පිවිසිය නොහැකිය. අප ඒ අතීතයෙන් වර්තමානයට එළඹ වේගයෙන් අනාගතයද ආක්‍රමණය කරන්නට ලහි ලහියේ දුවන බැවිනි. එහෙත් ඒ අතීත මතක අපේ ජීවිතයට එක් කරන සියුම් සුන්දරත්වය අපට අමතක කළ නොහැකිය. එය එක්තරා ආකරයක අතීතකාමී මොහොතකි. අමා ඔවිනි අලුත්ගේ කිවිඳියගේ අතීත වැසි මැයෙන් එන කව එවන් මතක අවුස්සාලන සුන්දර නිමේෂයකි.
ඇය අපට සිහිපත් කරන රතු ගොඩනැගිල්ල යනු මේ වනවිට ජීවිතයේ සිවුවන දශකය තරම කාලයක් පසුකරනා අයගේ ජීවිතවල කොටසකි. ඊටත් පෙර අයගේ ජීවිතවල වැදගත්ම තොටසකි. ගැසට් පත්‍රය බලා රැකියාවන්ට අයදුම් කළ, ලියුම් කරදහිය ජීවිතයේ වැදගත්ම සන්නිවේදන මාද්‍යය බවට පත් යුගයක සාක්ෂියක් ලෙස අභාවයට යන තැපැල් කන්තෝරුව අවිනිගේ කවියට විෂය වන්නේ පුළුල් හැඟුම් පරාසයන් අවදි කරමිනි.
බස් පාර අද්දර
සෙමෙන් සිය අතුපතර විහිදන
පිහිඹියා ගස් සෙවුණු පෙදෙසෙහි
කුඩා රතු පෑ ගොඩනැගිල්ලකි
ඉල්ලුම් පත් සුපැතුම් පත් නේක බරැති
පාර්සල් ගත්තෝද පැමිණෙත්,
ඒ කිසිත් නැති මා වැන්නන්
තව කිසිවෙකුත් වෙත්ද මෙහි
බලා හොරැහින්
කවියක් දෙකක් පමණක් රැඳි
අව බර ලියුම් කවරය දක්වමි
අද අප ඉන්නේ කවි තැපැල් කර පුවත්පතක පලවනතුරු නොඉවසිල්ලෙන් බලා ඉන්නා ලෝකයක නොවේ. පුවත්පත් පුරාවස්තු බවට පත් වෙමින් යද්දී අපේ යුද බිම බවට සමාජ මාධ්‍ය පත්ව තිබේ. තවදුරටත් සංස්කාරක වැදගත් නැත. වාරණය අනදාලය. අපට අපේ රිසි පරිදි ලියා අපට රිසි පරිදි පලකරගත හැකිය. නමුදු ඒ විවෘත සේ පෙනෙන ලෝකය තුළ පෙර අප විඳි ආශ්වාදය නොඅඩුව ලැබිය හැකිද?
අමා ගේ කවි තුළ දක්නට ලැබෙන සුවිශේෂීම කරුණ වනුයේ ඇය බස හැසිරවීමේදී දක්වන දක්ෂතාවයයි. ඇගේ බස නිසි ලෙස තම කවියට ගැලපෙන සේ සකසා ගන්නට, වදන් අතිරික්තය වෙනුවට වදන් සූක්ෂමතාව කෙරේ ලංවන්නට ඇය සමත් වන්නීය. එසේම ඒ සියුම් සංවේදනයන් අවදි කරවන වදන් ගැලපුමකි. එහෙයින් ඇගේ කවිය ඇසුරු කිරීම යනු නිවී සැනසිල්ලේ ලෝකය දෙස බලා සිටීමක්, නිරීක්ෂණය කිරීමක් වැනිය. ඇය ව්‍යංගාර්ථවත් බසක් සිය කවියට මැනවින් ගලපා ගනියි. ඒ හරහා රසිකයාට කවිය තමන්ගේද වැඩබිමක් කරගන්නට ඇරයුම් කරයි. ඇය ඔවුහු නිර්ණාමිකව සැරිසරති මැයෙන් රචනා කරන කවිය ඇගේ කවිතාව මෙන්ම සමාජ දැක්මද පල කරන නිර්මාණයකි. ඇය තම කවියෙන් විමසනුයේ කාන්තාවන්ගේ ජීවිත පිලිබඳවය. මේ එළඹුම අද අපේ කිවිඳියන් අතර දුලබ නැත. එහෙත් අමා එහිලා කැපී පෙපෙනන දක්ෂතාවක් පල කරන්නීය.
රුසිරු
සුදු කළු තලෙළු
කුදු මහත් ගැහැනු වෙති
රිදුම් සීරුම් දරති
රැවුම් ගිගිරුම් අසති
මනා සේ හිස් සකසා
පමා නොවී වැඩට එති යති
මෙහෙ කරති
සතුටු දර්ශකයෙහි
උස්ම තැන් හොබවති
තැළුණු ඇස්
කළු කන්නාඩියෙන් වසති
අමාගේ කවියෙහි මේ පොදු පීඩනය මැද එකිනෙකා මත වාරුව ජීවිතය දරන්නට යත්න දරනා ස්ත්‍රීන් ගේ ලෝකය නිරූපණය වනුයේ කියවන්නාගේ හද තුළ සියුම් රිදුමක් දනවන තරම් සංවේදී බසකිනි. නිර්ණාමිකව පැමිණ නිර්ණාමිකව ඉවත්ව යන කතුන්!
අමාගේ කවි තුළ වැඩියෙන්ම දැනෙනුයේ බිඳී විසිර වැලලී යන ලෝකයක දුහුවිලි මෙන් ගසා යන මානව හැඟුම් කෙරේ දක්වන අවධානයයි. සොරකු යයි වරදවා ගෙන මිනිසුන්ගේ පහර කෑමට ලක්ව ඉන් හද බිඳී දිවිනසාගත් මිනිසා ගැන කවිය මේ සඳහා කදිම නිදසුනකි. අමාගේ කවි අතර කළු කුමරු මැයෙන් එන කවිය ඇගේ කවි අතර විශේෂයෙන්ම අවධානය යොමු කළ යුත්තකි. ගර්හාත්මක ලෙස ගෙදරට නාකි වෙන ලමිස්සියන් යනුවෙන් සමාජයේ උපහාසයට ලක්වන තරුණියන් සහ සමාජ විශ්වාස තුළ කළු කුමාර දෝෂය යනුවෙන් සැලකෙන මානසික තත්වය තම කවියට ගෙන එන ඇය ඒ හරහා සමාජයේ හෘද සාක්ෂිය ප්‍රශ්ණ කරන්නීය.
ඇය තම කවියට ආලෝකය දෙනු පිණස නිමවන යෙදුම් නැවුම් රසයක් ජනිත කරවයි. මේ ඇය කෝපි හලට වන් ගැහැනිය නමින් රචනා කරන කවිය අරඹන ආකාරයයි.
කැරමල් මුහුළසැති ගැහැනිය
සොයා එන
චොකලට් පැහැති සෝපාව
එක්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය යනු මෑත කාලයේ අප අත්විඳි බරපතලම පාරිසරික විනාශයකි. එහෙත් එය දිගින් දිගටම දේශපාලන සහ ප්‍රාග්ධන බලය හමුවේ යටපත්ව ගිය බව අපි දනිමු. අමා එය නැවත මතුපිටට ගෙනෙන්නීය. ඇය තම කවියෙන් ආමන්ත්‍රණය කරන්නී මේ කිසිදු ව්‍යසනයකට වගකිව යුතු නැති එහෙත් එහි ගොදුරු බවට පත් සමුදුරු ජීවීන් හටය. ඇය එහිදී කාලාන්තරයක් තිස්සේ පවත්නා විශ්වාසයන් තම කවියෙහි සංවේදී බව තවත් තීව්‍ර කිරීමට සියුම් ලෙස භාවිතා කරන්නීය.
සමා වුව මැන
බිළිඳු කැසැබෑ දරුවනි
එකක් නොව සියදහක් වියගස්
පාව ගිය මුත්
සඳ දකිනු කෙලෙසද මින් මතු
මේ පාරිසරික විනාශය යනු මෑත ඉතිහාසයේ සිදුවූ දරුණුතම මානව ක්‍රියාකාරකමකි. එය අපට පෙන්වා දෙනුයේ ලාභය හඹා යන ප්‍රාග්ධන හිමියන් සහ දේශපාලනය කෙතරම් බලවත් ලෙස අත්වැල් බැඳගෙන කටයුතු කරන්නේද යන්නයි.
නොදනිමු තවම
අපි නොදනිමු
කොහේ සිට ආවේද ශාපය
කවුරුන් ද කළ පාපය?
නැත. අමා කියන්නාක් මෙන් එය අප නොදන්නා දෙයක් නොවේ. සමස්ත ලෝකයේම විනාශය කැඳවන බල ව්‍යුහයන්හී ද්වන්ධ සටන් අප කරා කැඳවන විනාශය මිනිසා දනියි. එහෙත් ඔහු වේගී ගමන තුළ එහිම ගොදුරුව යයි.
අමාගේ කවියෙහි මා කලින් සඳහන් කළ වේගී සමාජයට ආපසු හැරී බලන්නට ගැලපෙන නිර්මාණයක් හමුවෙයි. එය මේ සටහන හමාර කරන්නට මෙහි බහා ලමි.
ගෙම්බනි නවත්වාපන්
තොපේ ගොරහැඩි විවාදය
අහන් ඉන්නට උවමනා මට
විල් දියට
පිනි වැටෙන නාදය
