‘මෘත දේහ 178’ සහ ‘කඩදාසි බෝට්ටුවක මරණය’

8

ඊයේ පෙරේදා දිනයක, කන්තෝරුවේ දි මා මිතුරිය ගීතාංජලීට මා පෙන්වූයේ රාජ්‍ය භාෂාවෙන් වැඩ කිරීමට නොහැකි නිසා 2-48 වගන්තිය යටතේ විශ්‍රාම යවන ලද කෙනෙකුගේ විශ්‍රාම වැටුප් ගොනුවකි. එවැන්නෝ විශාල ප්‍රමාණයක් සිටියහ. බොහෝ අය දැන් මියගොසිණි.

“ භාෂාව වෙනස් නොවී ඉංග්‍රිසියෙන් ම වැඩ කළානම් මිනිස්සු ඩිවලොප් වෙනවා වගේ ම යුද්දෙත් එන්නෙ නැතුව තියෙයි නේද ” ඇය ඇසුවා ය.
භාෂා අවුල ගැන ඒ විදියෙ කියවීමක් සාමාන්‍ය ජනයා තුළ තිබීම සැබවින් ම වැදගත් ය.

ඒ කතා එසේ තිබිය දි පහුගිය සතියෙ ඉරිදා එනම් 26 වෙනිදා පාක්‍යානාදන් අහිලන් විසින් රචිත ගීතා සුකුමාරන් විසින් ඉංග්‍රිසියට පෙරළන ලද කාව්‍ය කෘතියක් කංචුකා ධර්මසිරි සහ ලොහාන් ගුණවීර විසිතුත්, අහිලන් විසින් දෙමළ බසින් ලියන ලද්ද අනුෂා ශිවලිංගම් විසින් සිංහල බසටත් නගා තිබුණි. කංචුකාගේ සහ ලොහාන්ගේ කාව්‍ය කෘතිය “කඩදාසි බෝට්ටුවක මරණය” නම් වූ අතර අනුෂාගේ කෘතිය “මෘත දේහ 178” ය.
“කොළඹ සාහිත්‍ය උලෙළේ දි ” සිදු කළ ඒ එළි දැක්වීම හරිම සුන්දර වැඩකි . අනු මෙහෙය වූ සාහිත මණ්ඩපයේ අසුන්ගෙන සිටියේ කංචුකා ධර්මසිර, ජෙගන් ගනේෂන්, ලරීනා හක් සහ සාමිනාදන් විමල් ය. අහිලන් කවියා හිටියේ ඉදිරිපස අසුනකට බරදීගෙන ය . කතා භාෂා තුනෙන්ම සිදු වුණි. (ගීතාජලි කන්තෝරුවෙදි මට කී දේ එහිදි මතක් විය.)

ඒ කතාබහේදි කංචුකා කීවේ තමන්ව බරපතළ විදියට රිදවන, පහර දෙන දෙයක් පරිවරතනය කිරීමට තමන් පෙළඹෙන බව ය. ලරීන‌ා අනෙකා තේරුම් ගැනීම පරිවර්තන කාර්ය හරහා ලැබෙන බරපතළ ම දේ බව කීවා ය. ජෙගන් කිව්වෙ චෙම්මිනි වල සම්බන්ධව මේ දවස්වල මුහුණපොත හරහා සංසරණය වන කතා ඔස්සේ ඇති කමෙන්ට්ස්වලින් පෙන්වන දකුණේ චින්තනය. ඒ ඛේදය විහිළු කරන්නට තලු මරන්නට හැකි දෙයක් ද? එය ම මොනතරම් නම් නරුමද? සාමිනාදන් කිව්වෙ පරිවර්තන කාර්ය යනු තමන්ගේ දේශපාලන කාර්යයේ ම කොටසක් මිස වෙනකක් නොවන බවත්, වසර 30ක යුද්ධය නිසා ඒ සම්බන්ධ පරිවර්තන කෙරෙහි යොමුවීම නිසා තවත් බරපතළ ගැටළු මගහැරුණු බවත් ය. වි කුල ප්‍රශ්නය වැනි බරපතළ කාරණා ගැන අවධානය දෙන්නට බැරි වීම ගැන ය. එක ම දේකට බැඳි සිටීමෙන් තවත් පැත්තක් අහිමි වීම ගැන ය.

ඇත්තට ම සාමිනාදන් විමිල් යනු පුරාවෘත්තයකි. තනි මිනිසෙකුට වඩා ඉතිහාසය තුළ නොමැකෙන ලෙස ලිවිය යුතු පරිච්ඡේදයකි. උතුර කියන්නෙ සයිබීරියාව වැනි දේශයක් ලෙස හිත්හි සටහන්ව තිබුණු යුගයක උතුර දකුණ යා කළ එකම පාලම සාමි අයියා ය. රාවයේ අපට ඔහු අමුත්තකු නොවී ය. අජිත්අයියා, ජයසිරි අයියා, සුනිල් අයියා ආදින් යාපනයට ගොස් ඇවිත් කියන විස්තර මායා කතා ලෙසින් අපි අසා සිටින්නෙමු. ඒවා වෙනම ලිවිය යුතු පුරාකතා ය. නිමලරාජන් ද ඒ කතා අතර විය.

නැවත කවිපොත් වෙතට ගියහොත් කිව යුත්තේ ඒ කවි ඊයම් බරු මෙන් හෘදයට කිඳා බැස හදවත සූර සූරා රිදවන බවක්ත් රාත්‍රි නින්ද පවා අහිමි කරවන තරමට ඒ කවි බර බර බවත් ය. අහිලන්ව දුටු මතින් හදවත බර වන්නේ ඒ සා දුක් වේදනා දරමින් හදවත පෙනේරයක් බඳු, හිස මත මහා බරක් රඳවාගෙන පීඩා විඳින මිනිසුන් අතර ඒ මිනිසුන්ගේ දුක ද තමන්ගෙ ගැහැට ද අකුරු කළ මිනිසෙකුට අප හා සිනාසෙන්නට හැකියාව තිබීමේ වේදනාවෙන් සහ ලජ්ජාවෙන් ය.

අනු සහ කංචුකා කළ කටයුත්ත සුළු නැත. ඒ අකුරු දකුණට ගෙන ඒම ම බරපතළ කාර්යයකි. ‍මේ සා දුකක් ඔවුන් විඳිදීත් අප කළේ මොනවාද කියා අපේ හදවත අපෙන් අහන නිසා ය. ඇත්තට ම අනුගෙත් කංචුකාගෙ සහ ලොහාන්ගේත් වචන අප සංත්‍රාසයට පත් කරයි . ඒ විඳවීම් ඒ අහිමිවීම්වල ඇති වේදනවා ඔවුන් වචන හරහා දකුණට රැගෙන එයි. ඇත්තෙන් ම උතුරට අනුකම්පාව අවශ්‍ය නැත. නමුත් අතීත සිදුවීම්වල ඇති දේශපාලනය තේරුම් ගන්න දකුණට පුළුවන් නම් ඒ අවබෝධය මේ නිර්මාණ හරහා සිදු කරන්නට හැකිනම් එය අතිශය වැදගත් ය. උතුර ගැන දකුණ සැබවින් ම සංවේදී ද? ඇත්තටම වැදගත් වන්නෙ සහකම්පනය ය. එවන් සහකම්පනයක් දකුණේ වැසියන් කී දෙනෙක් තුළ තිබේ ද, කොහොමත් සහකමපනය බලහත්කාරයෙන් ඇති කළ නොහැකි ය. කංචුකාලා, ලොහාන්ලා, අනුලා, සාමි අයියලා තවතවත් බිහි විය යුතු ය. ඇත්තම සාම පාලම් ඔවුන් ය.

“කඩදාසි බෝට්ටුවක් මරණය” කෘතියෙ අතුරුදන් වූ ගැහැනිය කිය න කවියෙ ලොහානුත්, කංචුකාත් මෙසේ කියයි.

වීදිවල දින ගණන්
හිටගෙන සිටිමට
බලකෙරිණි ඇය හට
අහරක් නැති ව
සමහර විට
බෙහෙත්පෙති නැති ව
අවියක් විය
පිටාර ගලන
ඇගේ කඳුළු
බොහෝ සටන් පාඨවල
හඩවල් සමග
මුසුවීමට
සිදු වූ අම්මා

එක් සේයා රුවක්.
බරැති මතක මල්ලක්
වෙන සිසිවකුත් නොමැති
වියපත් ගැහැනියක්
එක් ප්‍රශ්නයක්,
පසුවට සහ සැම විටක ම
එක ම ප්‍රශ්නයක පමණක්,
සදාතනික සිනාව රැඳි
ඇගේ දරුවා කොහි ද?

“මෘත දේහ 178” හි චන්ද්‍රමති දහවලේ ලියයි යනුවෙන් අනු මෙසේ ලියයි.

මස් කැබලිති
වැකුණු
උනු ලේවල
ගිලුණු
දෙපා
ඈ තැබුවාය
හිස් කබලක් මත
නිලමැස්සන් රොත්තක්
සැරව විසුරුවමින්
අහසට නැගෙද්දි

විලාප දුන්නා ය
ඈ පසු කළා ය
ඈ ඇවිද්දාය
වියළුණු කඳුළු ඇගේ
මිනී ගොහොරු මත
කඩා වැටෙද්දිත්
ඈ පුතු කවුරුද
කොහිද ඔහු?

දසත
මිනී කැබලිය
එකිනෙක තල්ලු කරමින්

විපරම් කළා ය

එතැනම ඇද වැටුණාය

දිරාගිය කාලය මතින්
මැදියම් දහවල පෙරළි ගියේ ය
පොළොව
සුසාන භූමියක්ව දිගහැරී තිබුණේය

මේ වචන තුළ තැවරී ඇති වේදනා කඳ, අහිමිවීම විඳවීම පිළිබඳ දකුණට දැනෙනවා දැයි නොදනිමි. කියවා පසෙක දැමීමෙන් ඔබ්බට මේ කෘති ගමන් කළ යුතු බව හඟිමි

හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ