නේරංජනාව අසබඩට ගියෙමි…..

3

වරක් බැලුවට පස්සෙ ආයෙම බලන්න කියලා හිත කරදර කරන තාලෙ නාට්‍ය අඩුයි. නේරංජනා කියන්නෙ ඒ වගේ ආයෙ බලාපං කියලා හිත පොළඹවන නාට්‍යයක්. අනුවර්තනයක් වුනාට ඒක අපේම නාට්‍යයක් අපේම කතාවක් කියලා හිතෙන තරමටම මේ පොලව ස්පර්ශ කරන නිර්මාණයක්. වැඩිහිටියන්ට පමණයි කියන වර්ගීකරණය නියම වුනා කියලා දැක්කට පස්සෙ කොහොම හරි පවුලෙම සාමාජිකයන් එකතු වෙලා බලනවා කියලා හිතා ගත්තෙ. නාට්‍ය අහවර වෙලා එළියට ආවහම අපේ පවුලෙ හැමෝටම කියන්න විවිධ අසහස් තිබ්බා. හැබැයි හැමෝම එක කාරණයක් ගැන සියයට සීයක්ම එකඟයි.
මරු වැඩක්! ඒ තමයි සියල්ලන්ගේම නිගමනය.

සිදුහත් ආත්ම විමුක්තිය සහ සමාජ විමුක්තිය පතා නේරංජනාව තරණය කරනවා. ඒකත් විසල් ආදරයක් පෙරදැරි කරගත් තීරණයක්. නේරංජනාව කියන්නෙ සිදුහත්ගෙ ගමන් මගේ තීරණාත්මක කඩඉමක්. හැබැයි නාට්‍යෙය මාලකට තමන්ගෙ නේරංජනාව- ආදරය හමුවෙද්දිම අහිමි වෙනවා. සමලිංගිකත්වය, මධ්‍යම පංතික පවුල් ජීවිතය, මිත්‍ර සමාගම්, සමාජ පිලිගැනීම, වගේ විවිධ තේමා අතර දෝලනය වෙන නාට්‍යෙය් මධ්‍යම පංතික පවුලක උත්කර්ෂයට නංවන ලද ආදර ලෝකයකට ආගන්තුක ආදරයක් කඩාවැදීම හරහා වෙන දෙදරා යාම ප්‍රේකෂකයාගේ ලොකයට තදට වදිනවා.

අපි ආදරය කියන්නෙ ඒ ආදරය කියලා වර්ණනා කරන්නෙ විශ්වාස කරන්නෙ මොන තරම් තුනී බිඳෙනසුළු අසිය් තට්ටුවකටද කියලා මාලක-සුලෝ ගේ ආදර කැදැල්ලට කඩා වදින නේරංජනා-ආදරය සිහිපත් කරනවා. මාලක සහ සුලෝචනා නිතරම උත්කර්ෂයට නංවන තමන්ගේ ආදර බලකොටුව මොන තරම් දුර්වලද, ආදරය යනුවෙන් ඔවුන් කරන ගොඩනැංවීම මොන තරම් ව්‍යාජයක්ද ඒ සියල්ලටම වඩා අපි මහත් බරක් දාලා නඩත්තු කරන සමාජ තත්වය කියන කබොල මොන තරම් අපිට බලපානවද කියලා ප්‍රේක්ෂාගාරයට දැනෙන්න ගන්නවා.

මාලකගෙ මිත්‍රයා දඟදාගෙන ආරක්ෂා කරන්න හදන මිත්‍රයගෙ සමාජ ගෞරවය, මේ නව ආදරය පිලිගනන්න කිසිවකුට ඇති නොහැකියාව, අපි ආරක්ෂා කරගත යුතුය කියලා හිතන සමහර දේවල් හමුවේ අපිට ජීවිතය අහිමි වන්නට ඇති ඉඩ -මේ සියල්ලම කල්පනා කළ යුතු කොටස්.
මට නං නාට්‍යෙය් තදටම දැනුනෙ අවසන් හරියෙ දෙබස්. ඒවා ඒ හැටියටම මතක නැති වුනත් මාලක අහන ප්‍රශ්ණය හරි වැදගත්.
ඇයි කිසි කෙනෙක් මං එහෙම වුනේ ඇයි කියන එක ගැන කල්පනා නොකරන්නෙ. මොනවා හරි කරලා ජාම බේරා ගන්න එක විතරයි වැදගත්.
අපි හැමෝම අපේ ගරුත්වය ගැන හරිම සැලකිලිමත්. හැබැයි මිනිසුන්ට වෙනස් වෙන්න බලපාන තත්වයන් ගැන අපි හරිම අනවධානීයි. ආදර සංකේතයද එළුවද කියන එකට වඩා හරිම යහපත්, සාමකාමී පවුලක් හැටියට තියෙන පවුලක් දෙදරලා යන තාලෙට මාලකගෙ වෙනස්වීම කියන කාරණය අපි හතරැස් කොටු වල දාගෙන රකින බොහෝ සම්ප්‍රදායික අදහස් අභියෝගයට ලක් කරනවා.

මේ නාට්‍යය ආයෙම වේදිකා ගත වෙන්නම ඕනැ. ඒ වගේම හැකි තරම් වෙනත් පලාත්වල පෙන්වන්නත් ඉඩක් හැදෙන්න ඕනැ. ඒත් ඉතිං මේ ලංකාව.

චූලානන්ද සමරනායක