ශ්‍රී ලංකාව වැනි වැසුනු සංස්කෘතියක් නඩත්තු කරණ සාම්ප්‍රදායික මහා සමාජයත් ඇති රටක ලිංගික ශ්‍රමිකයින් (Sex workers) මුහුණ දෙන සමාජ ඛේදවාචකය යනු එක් සිදුවීමකට පමණක් සීමා වූවක් නොවේ. ඔවුන්ගේ දෛනික ජීවිතය පුරා දිවෙන මානව හිමිකම්, සමාජීය, නීතිමය සහ ආර්ථිකමය ප්‍රශ්න ගණනාවක සංකීර්ණ එකතුවකි. ප්‍රධාන වශයෙන්ම ඔවුන් මුහුණ දෙන ප්‍රධානතම සමාජ ඛේදවාචකයන් කිහිපයකි.
ප්‍රධානම කාරණය වන්නේ දැඩි සමාජ කොන්කිරීම සහ අපවාදයට ලක්වීමයි. (Stigma and Discrimination). සමාජය විසින් ඔවුන්ව “සම්ප්‍රදායික රාමුවෙන් පිටත” සිටින පිරිසක් ලෙස සලකා, ගෞරවයක් නැති, පහත් පිරිසක් ලෙස ලේබල් කරනු ලැබ පිටමන් කිරීමක් සිදුකරයි. එය ඒක් අතකින් මනුෂ්‍යත්වයෙන් තොර සැලකීමකි. එහි අනෙක් පැත්ත වන්නේ පවුලෙන් සහ නෑදෑයින්ගෙන් කොන්වීමයි. බොහෝ විට මෙම වෘත්තියේ නිරත වන අයගේ පවුලේ සාමාජිකයින්ට සහ දරුවන්ට පවා සමාජයෙන් දැඩි බලපෑම්, හිරිහැර සහ අපහාස විඳීමට සිදු වේ. මේ නිසාම දරුවන්ගේ අනාගතයට බලපෑම් අතිශය අමානුෂික බලපෑමක් සිදුවේ. දරුවන්ට පාසල් ලබා ගැනීම, සමාජයේ අන් අය සමඟ නිදහසේ කටයුතු කිරීම සහ නෛතික ලේඛන සකස් කර ගැනීමේදී පවා දැඩි අභියෝගවලට මුහුණ දීමට සිදු වේ.
අනෙක් කාරණය වන්නේ නීතිමය හා පද්ධතිමය අරගලයන්ට මුහුණපෑමට සිදුවිමයි. ලිංගික ශ්‍රමිකයන්ට නීතියේ ආරක්ෂාව නොලැබී යයි. නීතිය සිය අර්ථ නිරූපණයන් සැම විටම සිදු කරන්නේ ලිංගික ශ්‍රමිකයාට අවාසිදායක වන ආකාරයෙනි. බොහෝ රටවල (ශ්‍රී ලංකාව ඇතුළුව) ලිංගික ශ්‍රමය අර්ධ වශයෙන් හෝ පූර්ණ ලෙස නීතිවිරෝධී වෘත්තියක් ලෙස සලකන බැවින්, ඔවුන්ට නීතිමය ආරක්ෂාවක් නොලැබී යයි. එසේම නීතිය බලගැන්විම සඳහා ඇති ආයතනික ව්‍යුහයන් වන පොලිසිය හෝ වෙනත් බලධාරීන්ගෙන් සාධාරණය ඉටුවීමට වඩා, ඇතැම් අවස්ථාවලදී ඔවුන් විසින්ම වාචික, ශාරීරික හෝ ලිංගික වදහිංසාවලට ලක්කරන අවස්ථා බහුල වශයෙන් වාර්තා වේ.
තවත් පැත්තකින් ගතහොත් මෙම ලිංගික ශ්‍රමිකයින් ශාරීරික සහ මානසික හිංසනයන් ගේ (Violence and Exploitation) අසීමාන්තික ගොදුරු බවට පත්වේ. එසේ පත්වන්නේ ඇතැම් තැන්හි සිය සේවාලාභීන්ගෙන් (Clients) වන හිංසනයන් බරපතලය. ලිංගික ආරක්ෂිත ක්‍රමවේද භාවිතා කිරීමට අකමැති වීම, පොරොන්දු වූ මුදල් නොගෙවීම, ශාරීරික පහරදීම් සහ පැහැරගෙන යෑම් වැනි බරපතල තර්ජනවලට ඔවුන් නිරන්තරයෙන් මුහුණ දෙයි. එසේම තෙවන පාර්ශ්වයන්ගේ සූරාකෑම ද බරපතල ප්‍රශ්ණයකි. තැරැව්කරුවන් හෝ ප්‍රදේශයේ අපරාධ කල්ලි විසින් ඔවුන්ගේ ආදායමෙන් කොටසක් බලහත්කාරයෙන් පැහැර ගැනීම සිදු කරයි.
ලිංගික ශ්‍රමික සේවාව සෞඛ්‍ය ගැටලු මතුකරන සේවාවක් බැවින් ඒවායින් ආවරණය වීම අවශ්‍ය පූර්ව සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමේ දී ඔවුන් විශාල අර්බුදයකට මුහුණ දේ. විශේෂයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පාර්ශ්වයන්ගේ නොසැලකිල්ල මෙහිදී අවධානයට ලක්විය යුතු කරුණකි. රෝහලකට හෝ සායනයකට ගිය විට වෛද්‍යවරුන් හෝ හෙදියන්ගෙන් මුහුණ දීමට සිදුවන අපහාසාත්මක ප්‍රකාශ සහ වෙනස් කොට සැලකීම් නිසා ඔවුහු සෞඛ්‍ය සේවා ලබා ගැනීමට මැලි වෙති. ලිංගිකව සංක්‍රමණය වන රෝග (STIs) සහ මානසික සෞඛ්‍යය වැනි කාරාණා වලදී ආරක්ෂිත පියවර ගැනීමට ඇති බාධා සහ සමාජීය පීඩනය නිසා ලිංගික රෝග වැළඳීමේ අවදානම මෙන්ම දැඩි විශාදය (Depression) සහ මානසික බිඳවැටීම්වලට ලක්වීමේ ප්‍රවණතාව ඉතා ඉහළ ය.
තවත් පසෙකින් ආර්ථික උගුලක සිරවීම සහ වෙනත් වෘත්තියකට යොමු වීමට ඇති බාධාවන් ද සැලකිල්ලට ගත යුත්තකි. දරිද්‍රතාව සහ වෙනත් විකල්ප නොමැතිකම මෙවැනි වෘත්තියකට යොමු විමට ප්‍රධාන හේතුවකි. බොහෝ දෙනෙක් මෙම වෘත්තියට යොමු වන්නේ දැඩි ආර්ථික අපහසුතා, පවුල් බිඳවැටීම් හෝ රැවටීම්වලට ලක්වීමෙනි. වරක් මෙම වෘත්තියට සම්බන්ධ වූ පසු, සමාජයෙන් එල්ල වන ලේබල් කිරීම් නිසා වෙනත් සාමාන්‍ය රැකියාවකට යොමු වීමට හෝ සමාජගත වීමට ඇති ඉඩකඩ ඉතා අවම ය. ලිංගික ශ්‍රමිකයින්ගේ ප්‍රධානම සමාජ ඛේදවාචකය වන්නේ ඔවුන්ගේ මනුෂ්‍ය අයිතිවාසිකම් සහ ගෞරවය සමාජය විසින් සම්පූර්ණයෙන්ම අතහැර දැමීමයි. ඔවුහු නීතියේ හෝ සමාජයේ සුරක්ෂිතතාවක් නොමැතිව, සූරාකෑමට සහ පීඩනයට ලක්වෙමින් ජීවත් වීමට සිදුවූ සමාජ ආන්තික කොටසක් බවට පත්ව සිටිති.
මේ පූර්විකාව ප්‍රවේශ මාර්ගයක් ලෙස විවෘත කරගන්නේ චින්තන ධර්මදාස ගේ “අභිසාරී” සිනමා නිර්මාණය තුල ප්‍රවේශමෙන් ඇවිද යාම සඳහාය.
පළමුව කිව යුත්තේ මෙම සිනමා නිර්මාණය අවමවාදී සිනමා (Minimalist Cinema) ශෛලියෙන් නිර්මාණය වූවක් බවයි. මෙවැනි සිනමා නිර්මාණයකදී අනවශ්‍ය අලංකාරයන්, සංකීර්ණ කතාන්දර හෝ අධික තාක්ෂණික මෙවලම් භාවිතයෙන් මිදී, වඩාත් සරල හා මූලික සිනමාත්මක උපාංග පමණක් භාවිත කරමින් ගැඹුරු ප්‍රකාශනයක් සිදුකරයි. “අභිසාරී” චිත්‍රපටය පළමුව ඒ කඩුල්ල බාධාවකින් තොරව පැන තිබේ. චින්තන එහිදී මනස වෙහෙසවා නිර්මාණ රස වින්දනය සොයා යාමට ප්‍රේක්ෂකයා මෙහෙයවනවා වෙනුවට ඉතා සරල ආකෘතියක් තුල සිය අනුභූතිය ප්‍රකාශයට පත්කරයි. විවාහය නැමති සාම්ප්‍රදායික බන්ධනය තුල රැවටීමට ලක්වන තරුණියක වන ඉන්දු (පබෝධා සංදීපනී) සිය ජීවිතය හා ඇගේ දියණියගේ ජීවිතය ගොඩ නගා ගැනිම සඳහා ස්පා ආයතනයක ලංකාවේ සුප්‍රසිද්ධ අර්ධ ලිංගික ශ්‍රමික සේවාව තෝරාගනී. ඇගේ ඒ තෝරාගැනිම පවා අහඹු සිදුවිමක් තුලින් සිදුවන්නකි. සිය ස්පා ආයතනයේ ප්‍රවර්ධනය සඳහා මහල් නිවාස පරිශ්‍රයට පැමිණෙන සංක්‍රාන්තික ලිංගිකයෙක් වෙන ලේඩි ගාගා (ජෙනට් ඇන්තනී) හමුව අහඹු සිදුවීමක් වන්නා සේම චින්තා මෙහිදී ජීවිත යනු පූර්ව සැලසුම් සහගත ප්‍රපංචයක් නොවන බව ඉඳුරා ප්‍රකාශ කරයි. මුලු චිත්‍රපටය පුරාම සිදුවන බොහෝ සිදුවිම් අහඹු සිදුවීම් බවට පත් කරන්නේ එබැවිනි. හැඳුනුම්පත් ඡායාරූපයක් ගැනිමට ගොස් සිය ගූඪ ලිංගික නැමියාවන්ට වස්තුවක් කරගත හැකි යැයි සිතා විවාහ වෙන රංජි නම් ඡායාරූප ශිල්පියා (ශ්‍යාම් ප්‍රනාන්දු), අහුඹු ලෙස ඇගේ ඇසුරට වැටෙන සුරත් නම් වූ විශ්ව විද්‍යාල තරුණයා හමුවීම (අකලංක ප්‍රභාෂ්වර) ආදී සියල්ල අහඹු සිදුවිම්ය. මෙහිදී පබෝධා සංදීපනී ගේ නිරූපනය චිත්‍රපටය පුරා කැපී පෙනෙයි. චරිතයට අදාලව ඇති කෙරෙන විවිධ මනෝභාවයන් වෙත ක්ෂණිකව පිවිසීම සඳහා ඇය දක්වන කුසලතාව අගය කළ යුතුය.
චින්තා මේ චිත්‍රපටය තුල ලිංගික ශ්‍රමිකයින් (Heterosexual and Homosexual) ගැන හෙලන මානුෂිය දෘෂ්ටිය මහා සමාජය තුල දෑස් විවර කිරිමක් (Eye Opening) බවට පත් වන්නේ ඒ සංස්කෘතික අධිපතිවාදී මායාමය පටලය සියුම් ලෙස ඉරා දමා මානුෂිය ගුණය චිත්‍රපටය පුරා ස්ථරයක් ලෙස එලන නිසාය. ඔහු කිසිම විටක මේ විවිධ ලිංගික දිශානතීන් හාස්‍යයට බඳුන් කරන්නේ හෝ අනවශ්‍ය ලිංගික ලාලසාවක් ඇති කරන්නේ හෝ නැත. එසේම සියලු සිදුවීම් පාදක චරිතයයන්ට තර්කනයක් ද ගොඩ නගයි. ඕනෑම සමාජ සංයුතියක් තුල මේ සියලු දෙනා අන්තර්ගත බවත් ඔවුන්ගේ අනන්‍යතාව සහිතව ඔවුන් පිළිගත යුතු බවත් පවසයි.
“අභිසාරී” චිත්‍රපටය තුල චින්තා නුතන ශ්‍රී ලාංකිය සමාජ දේශපාලන සන්දර්භයේ පවතින දෙබිඩි පුද්ගල ස්වරූපයන් ද (Dual Personality) සියුම්ව මතු කරයි. ආගමික නායකයින්, දේශපාලනඥයින්, අනුගාමිකයින් තුල බලපවත්නා මේ ස්වරූපය ඔහු මතු කරන්නේ තරමක සෝපහාසයෙනි. ඒ සඳහා ඔහු භාවිතා කරන අවස්ථා සිද්ධීන් ද අපට බෙහෙවින් හුරු පුරුදු ඒවාය. උදාහරණයක් ලෙස මාධ්‍ය හමු ගත හැකිය. එහිදී ලංකාවේ මාධ්‍ය තුල පවතින ඒකාකෘත (Stereotype) ස්වරූපයද ඔහු යාන්තමට මතු කරයි.
සිනමා නිර්මාණය තුල චින්තා මතුකරණ මානව නිදහස පිළිබඳ අදහස සමාජ ඉදිරිගාමී අදහසකි. මානව නිදහස යනු සකලවිධ නිදහසේ ඓක්‍යයයි. ඉන් කිනම් හෝ නිදහසක් සිමා කෙරෙන්නේ නම් එවන් සමාජයක් වඩාත් තල්ලුවන්නේ ගෝත්‍රික තලයකටය. ඒ නිසා “අභිසාරී” චිත්‍රපටය තුල නිදහස් සමාජයක ආහ්ලාදයත් ගෝත්‍රිය සමාජයක සිරකාරිත්වයත් යන උභතෝකෝටිකය චින්තා අප ඉදිරියෙන් තබයි. සමාජයත කිසිදු පුරවැසියෙක් පූර්ණ වශයෙන් සාධු වන්නේවත්, පූර්ණ වශයෙන් අසාධු වන්නේ වත් නොවන පරම සත්‍යය චිත්‍රපටය තුල වරින් වර මතුවී අතුරුදන් වෙයි.
“අභිසාරී” චිත්‍රපටය විටෙක සංජය ලීලා බන්සායි නිර්මාණය කළ Gangubai Kathiawadi (2022) චිත්‍රපටය සිහිගන්වයි. තවත් විටෙක ෂෝන් බේකර් අධ්‍යක්ෂණය කළ The Florida Project (2017) චිත්‍රපටයේ තේමාව ද සිහි ගන්වයි. ඇතැම් තැනෙක කලාත්මක ප්‍රබන්ධ ස්වරූපයෙන් මිදී අර්ධ වාර්තාමය ලක්ෂණ පෙන්වුවත්, චින්තන ධර්මදාස නම් අධ්‍යක්ෂවරයා අපේ සමාජය තුල ආන්තීකරණයට ලක් වන අව වරප්‍රසාධිත සමාජ තීරුවක් පිළිබඳ කරන මානුෂීය නිරාවරණයත්, ඒ තුලින් ඇති කරන සමාජ කතිකාවත් (Discourse) අප වැනි සමාජය සන්දර්භයකට මේ මොහොතේ අතිශයින් වැදගත් වෙන කාරණයකි.
කපිල එම්. ගමගේ






