පාස්කු ප්‍රහාරයට වගකිවයුතු යැයි සැක පුද්ගලයන් ටික දවසකින් බලයට පත්වුණා – ජනාධිපති ඇමෙරිකාවේදී කියයි !

283

2019 පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරියේදී හිටපු හමුදා නිලධාරියකු හෝ දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවැසීය.

ප්‍රහාරවලට වගකිව යුතු අය සොයාගැනීම සඳහා දැනට සිදුකෙරෙන පරීක්ෂණ මගින් මේ කෙරෙහි අවධානය යොමුකර ඇති බව ජනාධිපතිවරයා පැවසුවේය. වත්මන් ආණ්ඩුවට හිමිවූයේ අසාර්ථක පරීක්ෂණ ක්‍රියාවලියක් බව හෙළිකළ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, රජයට ඊට අදාළව නව විමර්ශන සිදුකිරීමට ද සිදුවිය හැකි බවයි.

‘ප්‍රහාරවලට වගකිවයුතු අය සොයාගැනීමට නොහැකි වීමට ප්‍රධාන හේතුවක් දේශපාලනය. පාස්කු ප්‍රහාරයෙන් ටික කලකට පසු ප්‍රහාරවලට වගකිවයුතු යැයි සැකකරන පුද්ගලයන් බලයට පත්වුණා. ප්‍රහාරවලට සම්බන්ධ යැයි සැකකරන පුද්ගලයන් ද ඉහළ තනතුරු දරන බව අනාවරණය වුණා. එසේ නම් ඔවුන්ගේ ක්‍රියාවන් කෙසේ සිදුවේවි කියලද ඔබ සිතන්නේ?‘ ඔහු ප්‍රශ්න කළේය.

සිදුවී ඇති අනෙකුත් සිදුවීම් අතර සාක්ෂි මකාදැමීම සහ සඟවා තැබීම සහ විමර්ශනය නොමඟ යැවීම ඇතුළත් බව ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කළේය.

‘එවැනි තත්ත්වයන් යටතේ අපට පරීක්ෂණයක් ලැබී තිබෙනවා. එය ඊයේ සිද්ධිය වෙලා අද පරීක්ෂණය කරන දෙයක් නෙමෙයි. මෙය දුෂ්කර කාර්යයක්. නමුත් මම විශ්වාස කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සඳහා කටයුතු කරනවා. අපි දැක්කා මෑතකදී එම දෙපාර්තමේන්තුව මගින් කිහිපදෙනෙක් අත්අඩංගුවට ගන්නවා. හිටපු හමුදා නිලධාරීන් කිහිපදෙනෙක් ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට නියමිතයි. එබැවින් පරීක්ෂණ අඛණ්ඩව සිදුවෙමින් පවතිනවා‘ ඔහු පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ අදහස් පළකළේ ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ පැවති හමුවකදී ය.