යුද්ධයක පළමු වින්දිතයා වන්නේ කාන්තාවයි. ලංකාවේ උතුරේදීත්, දකුණේදීත් අපි එය අත්දකිමු. උතුරේ දරුවන් අහිමි අම්මලාගේ, ආබාධිත බවට පත්වූ ස්වාමිපුරුෂයන් සිටින බිරින්දෑවරුන්ගේ, ඇස් අන්ධ – කන් බිහිරි පියවරුන් හෝ මව්වරුන් බලාගන්නා දියණියන්ගේ කතා සිය ගණනකි. දකුණේදී කියා ඒ ගැන අලුතින් ලිවිය යුතු නැත. දරුවන් එනතුරු මගබලන දකුණේ අම්මලා කොතෙක්ද? ස්වාමිපුරුෂයන් අහිමි ව පවුලේ ජීවන බර අදින බිරින්දෑවරුන් කොතෙක් ද? පාසල් රැස්වීම්වලදී තාත්තලාගේ අතේ එල්ලී එන මිතුරන් -මිතුරියන් දෙස බලා සිටින පියවරුන් අහිමි දරුවන් කොපමණක් ද? යුද්ධය සෑමවිට ම දෙපාර්ශ්වය ම පරාජයට පත්කරන්නකි.
ඉරානයේ – ඊශ්‍රායලයේ – ඇමෙරිකාවේ ආදී වශයෙන් බල අරගලයට මැදි වූ සිවිල් වැසියන් කීයකගේ ජීවිත නැති වී අවසන් ද? උන්හිටි තැන් අහිමි, ආබාධිත වූ පණ ගැහෙන ජීවිත කීයක් ද?
පර්නියා අබ්බාසි ද ඒ අතරින් එක් අයෙකි. ඇයගේ පවුල ද ඒ අතරින් එක් පවුලකි. එහෙත් ඇය ලෝකය ඉදිරියට ගෙනයන්නට, යුද්ධයට එරෙහිව – සාමය වෙනුවෙන් ලිව්වාය. එම නිසා ඇයගේ මරණය – නැතහොත් ඇයගේ ඝාතනය විශේෂ ය. ඒ ගැන ලෝකය විශේෂයෙන් කතා කළේ ඒ නිසා ය.
ඔබත් මමත්
කොහේදී හෝ
අවසානයක් වෙත පැමිණෙයි
ලෝකයේ ලස්සනම කවිය
එසේ නිහඬ වෙයි…’
තමන් නිහඬ වන බව අබ්බාසි කිව්වේ එහෙම ය.
‘මම දැවෙමින් සිටිමි
මම මැකෙමින් සිටිමි
මම නිහඬ තරුවක් වෙමින් සිටිමි
එය ඔබේ අහසේ
දුමාරයක් වේවි…’
යුද්ධය විසින් ඇය අවසානයේදී මකා දැම්මාය. ඇයගේ 24 වැනි උපන්දිනයට දින 10කට පෙර එය සිදු විය. කිවිඳියක, ඉංග්‍රීසි ගුරුවරියක, බැංකු ලිපිකාරිනියක ලෙස කටයුතු කළ පර්නියා අබ්බාසි, සිය පවුල සමග ම ඉරානයේ ටෙහෙරාන් නගරයේ, බටහිර ටෙහෙරානයේදී මිහිදන් වූවාය. එම ඊශ්‍රායල් මිසයිල් ප්‍රහාරය එල්ල වී තිබුණේ සිවිල් ජනතාව ජීවත් වූ ගොඩනැගිලි කිහිපයකට ය.
මෙලි ඉරාන් බැංකුවේ ඇයට ස්ථිර රැකියාවක් ද පැමිණ තිබිණි. කළමනාකරණය පිළිබඳ ජාතික උපාධි අපේක්ෂක විභාගය ඇය ඉහළින් ම සමත් වූවා පමණි. ඇයගේ සමීපතම මිතුරියක වන මර්යාම් සිය එක්ස් පිටුවේ ලියා තිබුණේ ‘ඇය සියල්ල විය’ යනුවෙනි.
පර්නියා අබ්බාසි යනු උගත්, බලාපොරොත්තු සහගතව ජීවත් වූ, ඇයගේ ජීවිතය සහ රට වෙනුවෙන් සිය උපරිම දායකත්වය සිදුකරමින් සිටි ඉසෙඩ් පරම්පරාවේ තරුණියකි. ඉසෙඩ් පරම්පරාව යනු ලෝකයේ ඉදිරියයි. මර්යාමි පවසන්නේ ඇය ක්වාස්වින් විශ්වවිද්‍යාලයේ පරිවර්තනය පිළිබඳව අධ්‍යයනය කරමින් සිටි බවයි. ඒ හරහා ඇය ලෝකය පිළිබඳව අලුත් කරුණු ඉගෙනගනිමින් සිටියාය.
ඇය ජීවත් වූයේ ටෙහෙරානයේ සත්තර්කාන් වීදියේ පිහිටි ඔකිඩ් නිවාස සංකීර්ණයේ ය. මර්යාමි සහ ඇයගේ මිතුරියන් අල්-ජසීරා පුවත් සේවයට පවසා තිබූ ආකාරයට මිසයිල ප්‍රහාරය වැටී තිබුණේ අබ්බාසි පදිංචිව සිටි ගොඩනැගිල්ලේ හරි මැදට ය. එම නිසා එය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබිණි. අබ්බාසි ගැන ලිව්වාට, එහිදී අබ්බාසිලා කීදෙනෙක් මිය යන්නට ඇද්ද?
අවසානයට සිදු වූයේ පර්නියා අබ්බාසි, 2009දී උපන් ඇයගේ සහෝදරයා පර්හාම්, ඇයගේ පියා සහ මව ඇතුළු සියල්ලන් දැවැන්ත බැකෝ යන්ත්‍රයකින් කණින ලද විශාල වළක මිහිදන් වීම ය.
පර්නියාගේ කතාව යනු යුද්ධය පිළිබඳ කතාවකටත්, තරුණියකගේ මරණය පිළිබඳ කතාවකටත් වඩා උදුරාගන්නා ලද අනාගතයක් පිළිබඳ කතාවකි.
- ශාලික විමලසේන