බටලන්ද වාර්තාවේ අනාගතය සහ පිලිපීනයේ ඩුටර්ටේගේ කතාව !

Share post:

පිලිපීනයේ හිටපු ජනාධිපති රොද්‍රිගෝ ඩුටර්ටේ මැනිලා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තුවක් ලැබුණු බව පිලිපීන රජය ප්‍රකාශ කිරීමෙන් පසු හොංකොං සිට පැමිණි හිටපු ජනාධිපතිවරයා මෙසේ අත්අඩංගුවට ගැනිණි.

ඩුටර්ටේ සිය ධුරයේ සිටි කාලය තුළ, පුළුල් හා කුරිරු මත්ද්‍රව්‍ය විරෝධී මර්දනයකට නායකත්වය ලබා දී ඇති අතර, පොලිස් දත්තවලට අනුව 6,000 කට වැඩි පිරිසක් ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය පෙරේදා  (11) වාර්තා කළේය. කෙසේ වෙතත් ස්වාධීන නිරීක්ෂකයන් විශ්වාසය පළ කර ඇත්තේ ඩුටර්ටේගේ නීති විරෝධී ඝාතන සංඛ්‍යාව තවත් වැඩි විය හැකි බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා පවසා තිබුණේ තමන් අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති බවට පළ වූ වාර්තාවලට අනුව තමන් සිරගෙට යාමට පවා සූදානම් බවයි.

2016 ජුනි 30 වැනිදා රොඩ්රිගෝ ඩුටර්ටේ පිලිපීනයේ ජනාධිපති ධුරයේ වැඩ භාර ගත්තේය. පිලිපීන ජාතික පොලිසියේ හිටපු ප‍්‍රධානී රොනල්ඞ් ද රෝසා පවසන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් සමාජයෙන් ඉවත්කිරීමේ මෙහෙයුම සාර්ථකව ක්‍්‍රියාත්මක කළ බවයි. ඒ සඳහා නියෝගය ආවේ ඩුටර්ටේ ගෙන්ය. 2016 ජුලි 01 වැනිදා 2018 අපේ‍්‍රල් 30 වැනිදා වන විට මේ මෙහෙයුමේදී මරා දමන ලද සිවිල් පුරවැසියන් සංඛ්‍යාව 20,000 ඉක්මවූ බව ඒ කාලයේ මාධ්‍ය වාර්තා කළේය. එහෙත් ඩුටර්ටේගේ ආණ්ඩුව ඒ කාලයේ පැවසුවේ තමන් මැරුවේ 4,200 ක් පමණක් බවයි.

‘මිනිසුන් හාරදාස් දෙසීයක් මැරූ බව ආණ්ඩුවක් කියයි.’

මේ කොයිතරම් බරපතළ කතාවක්ද? මේ සම්බන්ධයෙන් හේග් නුවර පිහිටි අන්තර්ජාතික අපරාධ අධිකරණය විශේෂ පරීක්ෂණයක්ද ආරම්භ කළේය.

රොඩ්රිගෝ ඩුටර්ටේ ඇත්තටම කළේ ඔහු කියපු දේ ය. ඔහු ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ජනතාවට කිව්වේ දහස් ගණන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් මරා දමා හෝ මේ වැඩේ කරන බවයි. තමන්ගේ අරමුණට යෑමේදී මරාදැමීම සම්බන්ධයෙන් කිසිදු අවස්ථාවක දෙවරක් නොසිතන බව ද ඔහු ජනාධිපතිවරණ ප‍්‍රචාරක කටයුතුවලදී පිලිපීන ජනතාවට කීවේය. පිලිපීන ජනතාව ඔහුට ඡන්දය දුන්නේය.

2018 පෙබරවාරි 20 වැනිදා ආර්ටුරෝ ලස්කැනාස් නම් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා මාධ්‍යයට පැවසුවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුව් සහ ඇබ්බැහිවූවන් මරාදැමීමට ඩුටර්ටේගේ ආණ්ඩුව වැටුපට අමතරව තමන්ට පිලිපීන පෙසෝ 20,000 සිට 100,000 දක්වා මුදලක් ගෙවූ බවයි. එනම් ලංකාවේ රුපියල් වලින් 68,000 සිට 345,000 දක්වා මුදලකි. පිලිපීනයේ මැනිලා නුවර මත්ද්‍රව්‍ය විරෝධී බලකායේ ප‍්‍රධානියකු අන්තර්ජාතික මාධ්‍යයට පවසා තිබුණේ මරාදැමීමට මුදල් ගෙවීමට ඩුටර්ටේ ආණ්ඩුව කටයුතු කළද, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හෝ ඇබ්බැහිවූවන් අත්අඩංගුවට ගැනීම් සඳහා කිසිදු මුදලක් ගෙවීමට ඔවුන් අනුමැතිය ලබා නොදුන් බවයි. ඒ කියන්නේ කුලියට මිනී මැරීමකි.

පිලිපීන ජනාධිපතිවරයා මිනිසුන් මරා දමන බව කියා ඡන්ද ලබාගත් බව මතකයේ තබාගන්න. ඔහුට මිනිසුන් මරන්නට මිනිසුන් ඡන්දය දුන් බව මතකයේ තබාගන්න. එය ශිෂ්ඨාචාරගතවීමේ සහ ගෝත‍්‍රිකවාදයේ වෙනස පිළිබඳ කතාවකි.

ලංකාව කියන්නේ අවුරුදු දෙදහස් පන්සීයක ආඩම්බරකාර ඉතිහාසයක් ගැන වාර්තා ඇති රටකි. අපේ සංස්කෘතිය, සභ්‍යත්වය, සදාචාරය, මේ සියල්ල මාධ්‍යවලින් අනාගත පරම්පරාවට පොම්ප කරන්නේය. එහෙත් බටලන්ද අමතක කර දැමිය යුතු නැත. ඒවා ජනතාවට ද අමතක නැත.

මහින්ද රාජපක්ෂ 2005 දී ජනතාවගෙන් ඡන්දය ගත්තේ විධායක ජනාධිපති ක්‍්‍රමය, නැති කර සුඛිත මුදිත දේශයක් බිහිකරන බව කියමින් ය. අන්තිමට 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනැවිත් ජීවිත කාලයටම ජනාධිපති ධුරයේ ඉන්නට පවා ඔහුට අවශ්‍ය විය.

මෛත‍්‍රිපාල සිරිසේන  ජනාධිපති අපේක්ෂකයා වූ කාලයේ ජනතාව සිතුවේ ඉතිහාසයේ හිටපු මොන ජනාධිපති එහෙම වුණත්, මේ ජනාධිපති එහෙම නොකරයි කියා ය. පරිසර අමාත්‍යංශයේ, මහවැලියේ, සෞඛ්‍යයේ ඇමැතිකම් දරන කාලයේ කරපු සහ කරන්නට මැදිහත් වූ වංචා-දූෂණ වලට සමාව දෙමින් ජනතාව අලූත් ජනාධිපතිවරයෙක් ගෙනාවේය. මෛත්‍රී

දුන් පොරොන්දු අතරින් වැදගත්ම ඒවා වූයේ අලූත් ව්‍යවස්ථාවක් ගෙනඒමේ කතන්දරයත්, ජීවත් වීමේ අයිතිය ඊට ඇතුළත් කරනවා කියූ කතන්දරයත්ය. ව්‍යවස්ථා සම්පාදනයට මහජන අදහස් විමසීමේ විශේෂඥ කමිටුවේ සභාපතිවරයා වූ නීතිඥ ලාල් විජේනායක වරක් ලියුම්කරු සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවේ සියල්ල කෙසේ වෙතත් අඩු තරමේ ජීවත් වීමේ අයිතිය හෝ ඇති රටක ජීවත් වීමට අපට අනාගතයේදී අවස්ථාව ලැබෙනු ඇති බවයි.

වරක් ජනාධිපතිවරයා ලෙස මෛත්‍රිපාල සිරිසේන පිලිපීනයට ගියේය. පිලිපීනයේ ජනාධිපති ඩුටර්ටේ හමු වී පැමිණි මෛත‍්‍රිපාල සිරිසේන ජනතාවට කිව්වේ පිලිපීනයෙන් විශේෂඥ දැනුම ගෙන ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කරන බවයි. ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කළ යුතුය. එය පොඩි‘වුන්ගෙන් පටන් ගෙන ලොකු’වුන් දක්වාම පැතිරිය යුතුය. අපේ රටේ දේශපාලනඥයන් මත්ද්‍රව්‍ය බිස්නස් නැවැත්වුවහොත්, ආයුධ බිස්නස් නැවැත්වුවහොත් ඔය කියන තර්ජන සියල්ල නැති වන්නේය. තැන එතැනය, ගහන්නේ වෙනත් තැන්වලටය.

ප‍්‍රශ්නය ඇත්තේ මේ වෙනත් තැන්වලට ගැහිල්ලටත් ජනාධිපති මෛත්‍රී තෝරාගත්තේ පිලිපීන ආදර්ශය වීම ය. ඔවුන්ගේ විශේෂඥ දැනුම කියන්නේ මිනීමැරීමය. ඒ පැරණි කතාවකි.

මේ මිනීමැරීම ගැන උදාහරණයක් කිව යුතුය.

ඇල්බෙයා කැමූගේිගිලටීනය පිළිබඳ අවලෝකනයන්’ පටන්ගන්නේ සිය පියා මුල්කොටගත් කතාවකින්ය. එය මෙසේ පරිවර්තනය කළ හැකිය.

‘එක්දහස් නවසිය දාහතරේදී පළමු ලෝක යුද්ධය පුපුරා යන්නට කලින්, ඇල්ජීරියාවේ ගොවි පවුලක දරුවන්ද ඇතුළු සියලූ දෙනා ඝාතනය කළ ගොවිපොළ කම්කරුවකු ඇල්ජියර්ස් නගරයේදී මරණ දණ්ඩනයට කැපකරනු ලැබිණි. ඔහු වැනි ලේ පිපාසිතයකු හිස ගසා දැමීමෙන් මරණයට පත්කිරීම මෘදු දඬුවමකැයි බොහෝ දෙනා සිතූහ. දරුවන් ඝාතන පුවතින් කැළඹුණු කැමූගේ පියාද කල්පනා කළේ ඒ විදිහටමය. ඒ නිසාම අපරාධකරුවාට මරණ දඬුවම පමුණුවනු බලන්නට නගරයේ එක් කෙළවරක රැුස් කෑ පිරිස සමග කැමූගේ පියාද එක් විය. ඔහු අලූයමින්ම නැගිට ඊට පිටත් විය.

නමුත් පෙරළා ගෙදර ආ ඔහු තමන් දුටු දේ ගැන කිසිවකු සමග කතා නොකළේය. විකෘති වූ මුහුණින් කඩිමුඩියේ ගෙදර ආ ඔහු මුනිවතින් මොහොතක් ඇඳේ වැතිර හිඳ නැගිට වමනය කරන්නට පටන්ගත්තේය.

උදාර වදන්වලින් වසා සඟවන ලද යතාර්ථය ඔහු හරියටම වටහාගෙන තිබිණි. යැයි කැමූ පසුව ලිව්වේය. හිස සිඳලනු පිණිස පෝරකය මතට ඇද දැමූ වෙවුලන සිරුර ගැන හැරෙන්නට අන් කිසිම දෙයක් ගැන ඉන්පසු සිතන්නට තම පියා අසමත් වූ බව ඔහු තවදුරටත් ආවර්ජනය කරයි.’

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුව බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන්නට තීරණය කර තිබේ. වාර්තාව ආවේ 1998දී ය. රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා අල්ජසීරා සම්මුඛ සාකච්ඡාවේදී කිව්වේ එය සභාගත කර නැති බවකි. එය ඉදිරියට නොගියේ හිටපු ජනාධිපතිවරුන් එය ඉදිරියට නොගත් නිසා බව අමුතුවෙන් කිව යුතු නොවේ.

එම වාර්තාවේ අවසානයට කොමිෂන් සභාවේ නිර්දේශ දක්වා ඇත. එයින් තෝරාගත් කොටස් කිහිපයක් මෙසේ ය.

‘නිතිවිරෝධීව රඳවාගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටුවා පවත්වාගෙන යෑමට තුඩුදුන් එක් ප්‍රධාන හේතුවක් නම් එවකට පැවැති රජයේ දේශපාලනඥයන් සහ පොලිසිය 1987 සිට 1990 දක්වා පැවැති කැරැල්ලට ප්‍රතිචාරයක් වශයෙන් හැසිරුණු ආකාරයයි. ප්‍රකෝප කරනු ලැබූ ප්‍රමාණය කොපමණ වුවත්, වගකිවයුතු රජයක් සහ එහි සංවිධාන කැරැල්ලක් පැවැති කාලසීමාවක පවා එම ප්‍රකෝප කිරීමට එරෙහිව ප්‍රතික්‍රියා දැක්වීම සිදුවිය යුතු ආකාරය පාලනය කරන යම් යම් ව්‍යවස්ථා තිබිය යුතුය. සිදුකෙරෙන සියලුම ක්‍රියා නීතියේ ආධිපත්‍යයට අනුකූල විය යුතුය. ආණිඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති සියලුම පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතුය. 

මහජන නියෝජිතයන් තමන් සඳහා ම ආචාර රීති පද්ධතියක් සකස් කොටගෙන සම්මත කරගැනීම උචිත වනු ඇත. යම් මහජන නියෝජිතයෙක් පෙර කී ආචාර රීති පද්ධතිය උල්ලංඝනය කිරීමේ වරදට අසුවුවහොත් අදාළ මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන්ට වරදට හසුව සිටින සාමාජිකයාට විරුද්ධව දෝෂාභියෝගයක්…… මහජන නියෝජිතයකු වීම අහෝසි විය යුතුය.’

‘ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් විසින් මෙන්ම එවකට පැවැති රජයේ දේශපාලනඥයකු විසිනුත් අමානව අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය කරනු ලැබූ ආකාරය අප විසින් නිරීක්ෂණය කොට ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයට පවරා තිබෙන අධිකරණ බලයත්, එම අධිකරණය විසින් එම අධිකරණ බලය උචිත ලෙස ක්‍රියාත්මක කිරීමත් නොතකාම පෙරකී අයිතිවාසිකම්, දඬුවම් විඳීමට සිදු වන බියක් නොමැතිව ම පිට පිට උල්ලංඝනය කර තිබෙන බව අපට පෙනී යයි. ………. පුද්ගලයන් පැහැරගෙන යෑම, ඝාතනය කිරීම, අයුක්ති සහගත ලෙස සිරකොටගෙන සිටීම, පුද්ගලයන්ට බරපතළ තුවාල සිදුකිරීම මෙහිදී සිදුකර ඇති බව කොමිෂන් සභාවේ පරීක්ෂණ කටයුතු අතර හෙළිදරව් විය.’

මෙසේ සාක්ෂි සහිතව කොමිෂන් සභා වාර්තාවේ කරුණු රැසක් අඩංගු වේ.

කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමෙන් නොනැවතී ඉදිරි පියවර ගැනීම ආණ්ඩුවේ වගකීමකි.

එසේ ම පිලිපීනයේ ඩුටර්ටේගේ සිට සියලු රාජ්‍ය නායකයන් මතක තබා ගත යුත්තේ නීතියේ ආධිපත්‍යයට යටත්ව සියලු කටයුතු සිදු කළ යුතු බවයි. එසේ නොවුණහොත් ඔවුන්ට බලය අහිමිවීමෙන් පසු නීතියේ ආධිපත්‍යයට යටත්වීමට සිදුවීම අනිවාර්ය ය. 

  • ශාලික විමලසේන

Related articles

දේශබන්දු අත්අඩංගුවට ගන්නෙ නෑ කියන්න බෑ – නීතිපති අභියාචනාධිකරණයට දැනුම් දෙයි !

දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට නොගන්නා බවට එකඟතාවක් ලබාදෙන්නේ නැති බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙයි.පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් තමන්...

පාරිභෝගිකයන්ට රක්ෂණාවරණ පිරිනැමීමට Ceylinco General Insurance සමඟ Dearo Investment එක්වෙයි !

Dearo Investment Ltd සිය පාරිභෝගිකයන්ට රක්ෂණාවරණ පිරිනැමීමට සඳහා සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹේ. මේ හරහා...

ලොව පිළිගත් ව්‍යාපාර නායකයන් බිහිකිරීමේ අරමුණෙන් IIHS ව්‍යාපාර පාසල ආරම්භ වේ !

මෙරට සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනයට අනුබද්ධ ව්‍යාපාර පාසල පසුගියදා විවෘත...

ශ්‍රී ලංකාවේ තාරුණ්‍යයට පරමාදර්ශයන් හි (Role models) අඩුවක් තිබේ

සැබැවින්ම ශ්‍රී ලංකාවේ තාරුණ්‍යයට පරමාදර්ශයන් හි (Role models) අඩුවක් තිබෙනවා. එය අසත්‍යයක් නොවේ. පරිපූර්ණත්වයට ආසන්න වූ, පරමාදර්ශයක් සේ සැලකිය...