ශ්‍රී ලංකාවේ තාරුණ්‍යයට පරමාදර්ශයන් හි (Role models) අඩුවක් තිබේ

Share post:

සැබැවින්ම ශ්‍රී ලංකාවේ තාරුණ්‍යයට පරමාදර්ශයන් හි (Role models) අඩුවක් තිබෙනවා.

එය අසත්‍යයක් නොවේ. පරිපූර්ණත්වයට ආසන්න වූ, පරමාදර්ශයක් සේ සැලකිය හැකි පුද්ගලික චරිත මෙරටෙහි අඩුයි.

එවැනි පසුබිමක පවා විවිධ ක්ෂේත්‍ර වලින්, තමන්ගේ උවමනාව අනුව තෝරාගත හැකි සීමිත සුසමාදර්ශ චරිත කිහිපයක් තවමත් ශ්‍රී ලංකාවේ සිටිනවා.

පරාර්ථකාමීත්වය, දේශප්‍රේමීත්වය, අන්‍යයන් උදෙසා කැපවීම ආදී ගුණාංග උදෙසා ආදර්ශයට ගැනීමට හසලක ගාමිණි වීරයා ගේ සිට, ෆස්ලි ලෆීර් වීරයා දක්වා වන රණවිරු චරිත අපට සිටිනවා.

කුඩාම තැනකින් ආරම්භ කොට ව්‍යාපාර ලෝකය ජය ගැනිම පිළිබඳ උගෙනීමට ‘නවලෝක මුදලාලි’ වැනි චරිත සිටිනවා.

මෙවැනි සුසමාදර්ශ අතරින් මා පුද්ගලිකවම ප්‍රිය කරන සහ තවත් අයෙකුට නිර්දේශ කිරීමට මැලි නොවන තවත් එක් සුසමාදර්ශයක් සිටිනවා.

ඒ සංගා.

කෙනෙකු තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගන්නේ කෙසේද, එය නඩත්තු කරන්නේ කෙසේද සහ ජීවිතය සැලැසුම් කිරීම සහ ඉලක්ක ජය ගැනීම වැනි ගුණාංග උදෙසා ආදර්ශ ලබා ගැනීමට ‘සංගා’ ට වඩා චරිතයක් තවත් නැහැ.

කුමාර් සංගක්කාර හරි අපූරු චරිතයක්. එමෙන්ම ශ්‍රී ලංකාව වැනි රටක විරල චරිතයක්.

ඔහුගෙන් මා දකින ප්‍රධානම ගුණාංගය ඔහු කරනා ඕනෑම දෙයක් හරියටම කරනවා.

ක්‍රිකට් ක්‍රීඩාවේ සිට ව්‍යාපාර ලෝකය දක්වාම එය එහෙමයි.

ඔහු ඒ වෙනුවෙන් කැපවෙනවා. තමන්ගේ උපරිමයටත් එහා ලබා දෙනවා.

ආරම්භයේ දී සහජ දක්ෂතාවය අතින් මහේල ලාට වඩා බොහෝ පසුපසින් සිටි ‘කුමාර් සංගක්කාර’ ලෝක පූජිත ක්‍රීඩකයෙක් වීමට හේතුව එයයි.

ඔහුගේ අධ්‍යාපනය, ඉංග්‍රීසි උච්ඡාරණය ඒ සියල්ල ඔහු බොහෝ කැපවීමෙන් උකහා ගත් දෑ. ඔහු කරනා දෙයක් හරියටම කරනා චරිතයක්.

ඔහුගේ ඇඳුම් පැළඳුම්, ඔරලෝසු, වචන භාවිතය ඒ සියල්ල තුළින් ඔහු සිය ප්‍රතිරූපය සන්නාමයක් ලෙස භාවිතා කරනවා.

කුසල් මෙන්ඩිස්, වනිඳු හසරංග වැනි ක්‍රීඩකයන් අඳිනා ‘වර්සාචි’ (Versace) ඇඳුම් රුපියල් මිලියන ගණන් වටිනවා.

නමුත් ඔවුන්ගේ ඇඳුම් තේරීම් වලින් මහත්මයෙක් විද්‍යාමාන වන්නේ නැහැ. කොටින්ම සන්නාම නොදන්නා පුද්ගලයෙක් මෙවැනි වෛර්ණ ඇඳුම් එතරම් මිල යැයි සිතන්නේ ද නැහැ.

නමුත් සංගා ඔහුගේ ඇඳුම් සහ ස්විස් ඔරලෝසු දක්වාම ප්‍රදර්ශනය කරන සහ නඩත්තු කරන ප්‍රතිරූපය විශ්වීයයි.

ඔහු තෝරාගන්නා වර්ණ, ඇඳුම් සන්නාම සියල්ලෙන් ඔහුට තව තවත් ගෞරවය දිනා දෙනවා.

මා දකිනා ආකාරයට සංගා සිය ජීවිතය දැනටමත් සැලසුම් කර අවසන්.

එහි එක් එක් අදියරේ ජය ගත යුතු ඉලක්ක ඔහු සීරුවෙන් ජය ගනිමින් සිටිනවා.

ක්‍රිකට් ක්‍රීඩාවේ දී පවා ඔහුට ජය ගැනීමට ඉලක්ක තිබුණා.

ඩොන් බ්‍රැඩ්මන් ගේ ද්විත්ව ශතක වාර්තාව ඉන් එකක්. එය පිතිකරුවෙකුට ලඟා කර ගත නොහැකි, අසමසම වාර්තාවක්.

දුර්වල විනිසුරු තීරණයක් සහ වැරදි ලකුණු සටහන් පුවරුවක් නොවන්නට අද එම වාර්තාව සංගා ගේ.

මා හිතන්නේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යෑමෙන් පසු ඔහුට එංගලන්තය ජය ගැනීමට අවශ්‍ය වුණා.

සංගා ට සිය කීර්ති නාමය යොදා ගනිමින් බොහෝ පහසුවෙන් ඉන්දියාවේ ස්ථාවර වීමටත්, ඉන් බොහෝ ධනයක් ඉපැයිමටත් තිබුණා.

නමුත් සංගාට ජය ගැනීමට අවශ්‍ය වුණේ එංගලන්තය. ඉංග්‍රීසි භාෂාව ඊට අත්‍යවශ්‍ය වුණා.

සැබෑ කීර්තිය සහ පිළිගැනීම පවතින්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර වන එංගලන්තයේ බව ඔහු දැන සිටියා.

සමුගැනීමෙන් පසුව එංගලන්තයේ ප්‍රාන්ථ ක්‍රීඩා කිරීම සහ MCC සභාපතිධූරය දක්වාම ගොස් එය ජය ගැනීමටත් ඔහුට හැකි වුණා.

අද එංගලන්ත ජාතිකයන් සංගා ට ගරු කරනවා. ක්‍රිකට් ලෝකයේ වෙනත් කිසිඳු ශ්‍රී ලාංකික හෝ දකුණු ආසියාතික ක්‍රිකට් පුරාවෘත්තයකට නොමැති ගරුත්වයක් සංගා ට තිබෙනවා.

එහි පාදම එංලන්තයෙන් ඔහුට ලැබෙනා පිළිගැනීම.

අද සංගා ක්‍රිකට් ලෝකයේ ධනවත්ම පුද්ගලයෙක්.

එයට හේතුව ක්‍රිකට් ක්‍රීඩාවෙන් සිදු කළ ඉපැයිම් නොවෙයි, ඔහුගේ සාර්ථක ව්‍යාපාර.

දර්ශන් මුණිරාජා සමග එක්ව ආරම්භ කළ ‘මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්ස්’ සිට විවිධ ක්ෂේත්‍ර වල විහිදුණු ඩොලර් මිලියන ගණනක් වටිනා ව්‍යාපාර ජාලයක් ඔහු සතුයි.

ඒ ඇතැම් ව්‍යාපාර ඔහු ආරම්භ කළේ ක්‍රිකට් ක්‍රීඩා කරද්දීමයි. නමුත් ඔහු ක්‍රීඩාවත් හරියට කළා. ව්‍යාපාරත් හරියට කළා.

එයට අතිශය ඉහළ ධාරිතාවක කැපකිරීමක් අවශ්‍යයි.

සංගා ගේ ලෝකය බොහෝ විශාලයි. ඔහුගේ ඉලක්ක සහ සිහින ද විශාලයි.

බොහෝ කුඩා සිහින සහ ඉලක්ක වලින් සෑහීමකට පත් වන වත්මන් ක්‍රීඩකයන්ට වයස අවුරුදු 47 ක සංගා ට පවා ලං වීමට බැරි හේතුව ඒකයි.

සංගා මාස්ටර්ස් ලීග් තරගාවලියේ දක්වන දක්ෂතා කිසිවක් අහම්බ නොවෙයි. ඔහුගේ කඩුලු රැකීම්, තවමත් ප්‍රබල පිතිකරණය අහම්බ නොවෙයි.

ඒවා සියල්ල කැපකිරීමක ප්‍රතිඵල.

එමෙන්ම සංගා ගේ විශාල සිහිනයක සහ ඉලක්ක වල කුඩා ජයග්‍රහණ.

එවැනි විසල් සහ විශ්වීය මිනිසුන් ශ්‍රී ලංකාවට හිඟයි.

පරමාදර්ශයක් ලෙස සැලකීමට හෝ ඔහු වැන්නෙක් අප අතර සිටීම සහ තවමත් ඔහුගේ ක්‍රීඩාව නැරඹීම ශ්‍රී ලංකාවට පමණක් නොවෙයි, මුලු උප මහද්වීපයටම භාග්‍යයක්!

ඉරේෂාන් සිරිවර්ධන (fb)

  2025. 03. 11

Related articles

බටලන්ද කොමිෂන් වාර්තාව රට පුරා මර්දනයෙන් බැට කෑ ජනයාට යුක්තිය ඉටුකිරීමේ අවස්ථාවක් : එය ජාතික ජන බලවේගය ආණ්ඩුවේ වගකීමක් –  කුමාර් ගුණරත්නම් 

බටලන්ද කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ආණ්ඩුවට බල කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද (10) මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය. එහිදී...

මහින්ද මහත්තයට හැම පන්සලකම ගෙයක්, කුටියක් හදලා තිබුණා – කතරගම දේවාලයේ බස්නායක නිලමේ සීඅයිඩිය ඉදිරිපිටදී කියයි !

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දරන කාලයේදී කිරිවෙහෙරේ සෝරත හිමියන් විසින් ඉදිකරන ලද නිවසක් සම්බන්ධයෙන් කතරගම දේවාලයේ බස්නායක...

‘සතියක් විතර හිටියනේ, ඉස්සරහටත් එහෙමම ඉඳීවි‘ – විනිසුරු කියයි! : තමන් කැත වැඩ කරපු අය තමන්ට කැත වැඩ කරනවා කියමින් දේශබන්දු දැමූ පෙත්සමේ කතාව!

“පෙත්සම්කරු සතියක් විතර කරදරයක් නැතුව හිටියනේ. ඉදිරියටත් එසේ හිඳීවි” දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක් හෝ අඩු තරමේ එවැන්නක්...

රනිල් ඇණගත් පමණින් හසන් උඩදැමිය හැකිද?

රනිල් සාකච්ඡාවේදී ඇණගත්තේය. ඒ පිළිබඳ සංවාදයක් නැත. රනිල් මෙවැන්නක් බලාපොරොත්තු වූයේ නැත. ඔහු හසන්ගේ මාදිලිය නොදන්නවා නොවේ. ඔහු...