CCIB ලොක්කා රන්මල්ට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු නීතිපති – පොලිස් කොමිසම ඉටුකරලා නෑ !

Share post:

පොලිස් දෙපාර්තමේන්තුවට අලුතින් එක්කරන ලද මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු පිරිසකට එරෙහිව පවරා ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් 2024 අගෝස්තු මාසයේදී නිකුත් කළ අධිකරණ නියෝග නීතිපති දෙපාර්තමේන්තුව සහ ජාතික පොලිස් කොමිසම ක්‍රියාත්මක කර නැති බව අනාවරණය වෙයි.

04දා ශ්‍රේෂ්ඨාධිකරණයේදී මේ බව හෙළි විය. මෙසේ අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරියගෙන් ශ්‍රේෂ්ඨාධිකරණය කරුණු විමසූ අතර, එම නියෝග ක්‍රියාත්මක කර ලබන මැයි 08 වැනිදාට පෙර ඒ ගැන අධිකරණය දැනුවත් කරන ලෙස ද නියෝග කෙරිණි.

මේ මූලික අයිතිවාසිකම් පෙත්සම ඒ.එච්.එම්.ඩී.නවාස්, අර්ජුන ඔ⁣බේසේකර සහ සම්පත් බී අබේකෝන් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබිණි.

2021 ඔක්තෝබර් මාසයේදී මිශාර රණසිංහ ඔහුගේ මෝටර් රථයෙන් රත්නපුර සිට පානදුර දක්වා යමින් සිටිනදී පොලිස් ජීප් රථයකින් පැමිණි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු පිරිසක් ඔහුට පහර දී කිරිඇල්ල පොලිසිය වෙත ගෙනගොස් තිබිණි. මේ සිදුවීම සිදුවූයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, නියෝජ්‍ය පොලිස්පති නිලයේ සිට එම නිලයට උසස්වීම් ලබා මාස කිහිපයකට පසුව ය. මිශාර රණසිංහව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පිරිස කිරිඇල්ල පොලිස් ස්ථානය වෙත ගෙන ගොස් අමානුෂික ලෙස පහරදුන් බව මිශාර රණසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සමාගම විසින් 2021 වසරේදී එවකට ජනාධිපතිවරයා වූ ගෝඨාභය රාජපක්ෂට යොමු කළ ලිපියක සඳහන් විය.

පසුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කිරිඇල්ල පොලිසියෙන් පිටත්ව ගොස් තිබූ අතර, මිශාර වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයෙකු පොලිසිය වෙත පැමිණීමෙන් පසු ඔහුව මුදා හැරීමට කටයුතු කර තිබිණි.

මේ සිදුවීමෙන් පසුව සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ රන්මල් කොඩිතුවක්කුව පොලිස් වෛද්‍ය හා සුබසාධන ඒකකයට මාරුකර යවන ලදි.

ඉන්පසු මිශාර රණසිංහ විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පිරිසකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකළේය.

මේ පෙත්සම 2024 අගෝස්තු 08 වැනිදා කැඳවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ නීතිපති දෙපාර්තමේන්තුව, පොලිස් කොමිසම සහ පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයකට අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...