තොරතුරු කොමිසමේ තීරණයට එරෙහිව මධ්‍යම අධිවේගයේ පීඩාවට පත් පවුල් 138ක් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සම් 2ක් !

Share post:

මීරිගම-කුරුණෑගල මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්වලින් විපතට පත්වූ පවුල් 138ක තොරතුරු ඉල්ලීම්වලට අදාළ අභියාචනා 138ක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමෙන් තොරතුරු කොමිසම විසින් තොරතුරු පනත සහ ඒ යටතේ ගැසට් කර ඇති රීති උල්ලංඝනය කර ඇති බව සඳහන් කරමින් එම පීඩාවට පත් පවුල් 138 වෙනුවෙන් සමාජය හා සාමයික කේන්ද්‍රයේ පර්යේෂණ කණ්ඩායම ලෙස මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන අද (10) අභියාචනාධිකරණයට පෙත්සම් 02ක් ඉදිරිපත් කළේය.

තොරතුරු කොමිසමේ තීන්දුව ඉවත දමමින් ඉල්ලා ඇති තොරතුරු ලබාදෙන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියට නියෝග කරන්නැයි එම අභියාචනා පෙත්සම් මගින් ඉල්ලා තිබේ.

සමාජය හා සාමයික කේන්ද්‍රයේ පර්යේෂණ කණ්ඩායම වෙනුවෙන් මානව හිමිකම් නීති චේම්බරය විසින් මෙම පෙත්සම් ගොනු කර ඇති අතර, එක් පෙත්සමක් වෙනුවෙන් නීතිඥ ඩිලාන් නාලක සමග නීතිඥ තිෂ්‍ය වේරගොඩත්, තවත් පෙත්සමක් වෙනුවෙන් නීතිඥ මනුෂිකා කුරේ සමග නීතිඥ සුරෙන් ඩී පෙරේරාත් පෙනීසිටීමට නියමිත ය. මෙම අභියාචනා ඉදිරිපත් කර ඇත්තේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසමේ සභාපති උපාලි අබේරත්න ප්‍රමුඛ කොමසාරිස්වරුන් විසින් දෙන ලද තීන්දුවකට එරෙහිව ය.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසම අලු‍තින් රීති සකස් කරන්නේ නම්, එය ක්‍රියාත්මක විය යුත්තේ ඇමතිවරයා විසින් ගැසට් පත්‍රයේ පළකිරීමෙන් පසුව බවත්, එසේ තිබියදී මෙම අභියාචනාවලට අදාළ රීති වෙනස් කරමින් ප්‍රතිචාර දැක්විය යුතු පෝරම සංශෝධනය කරමින් කොමිසම කටයුතු කර ඇති බවත්, අභියාචනා රීති සංග්‍රහයේ 18, 19 ඇතුළු රීති ගණනාවක් මෙන්ම පනතේ ප්‍රතිපාදන ද තොරතුරු කොමිසම උල්ලංඝනය කර ඇති බවත් එම පෙත්සම්වල සඳහන් වේ.

සාමාන්‍ය ක්‍රමවේදය යටතේ අභියාචනයක් යොමු කර මාසයක් ඇතුළත තීන්දුව ලබා දිය යුතු තොරතුරු කොමිසම, හදිසි ප්‍රතිපාදන යටතේ ඉදිරිපත් කළ මෙම තොරතුරු ඉල්ලීම්වලට අදාළ අභියාචනා විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරමින් තීන්දුව ලබා දී ඇත්තේ කොමිසමට අභියාචනා කර මාස 09කට පසු බව ද එහි සඳහන් කර තිබේ.

එසේම කොමිසම අභියාචනාවලට අදාළ ව ලිඛිත දේශන ලබාදෙන ලෙස ඉල්ලමින් නිකුත් කළ සිතාසිය ගැසට් පත්‍රයේ පළ කළ රීති උල්ලංඝනය කරමින් එම රීතිවල සඳහන් කරුණු ඉවත් කර සංශෝධනයට ලක්කරමින් ⁣සකස් කළ සිතාසියක් බවත්, කොමිසම අභියාචනා විභාග කිරීමට මුලින් තීන්දු කර පසුව රීති උල්ලංඝනය කරමින් අභියාචනා ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කර ඇති බවත් එම පෙත්සම්වල වැඩිදුරටත් දැක්වේ.

Related articles

එක්සත් ජාතීන්ගේ සංවිධානය තවමත් වැදගත් වේ : එහෙත් බල දේශපාලනය එහි ශක්තිය හීන කරයි !

දෙවන ලෝක යුද්ධය අවසන් වූ දා සිට, එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රිකභාවය සඳහා වූ වේදිකාව ලෙසත්, ජාතීන් කතා...

දීපචෙල්වන්ගේ කෘති රේගුව විසින් රඳවා ගනියි : ශ්‍රී ලංකා රේගුව විසින් ඉතිහාසය පුරා දෙමළ කෘති රඳවා තබාගැනීමේ හේතුව කුමක්ද?

රාජ්‍ය සම්මානලාභී ලේඛක , දීපචෙල්වන් ප්‍රදීපන් විසින් ඉන්දියාවේ මුද්‍රණය කර නැවකින් මෙරටට ගෙන ආ පොත් තොගයක් ශ්‍රී ලංකාවේ ඒකීයත්වය...

ගොඩෝ උන්නැහේ එනකම් විපක්ෂය බලා සිටී !

ඉංග්‍රීසි ජාතික නාට්‍යකරුවෙක් වූ සැමුවෙල් බෙකට් ගේ Waiting for Godot නාට්‍යය කලෙකට පෙර සුගතපාල ද සිල්වා ‘ගොඩෝ උන්නැහේ එනකම්’ යන නමින් සිංහලට...

විශිෂ්ටතම හා විශාලතම චරිතාපදානය Indian Sun

බෙංගාලි ජාතික මහා සංගීතඥ පණ්ඩිත් රවී සංකර් ( Pandith Ravi Shanker 1920 - 2012 ) පිළිබඳව මෙරට ඉන්දියානු...