උතුරේ පීඩිතයන් පරදු තබා දකුණේ ප්‍රභූන් සමග සූදු කෙළින උතුරේ ප්‍රභූන් හඳුනා ගනිමු

Share post:

ඉලංගෙයි තමිල් අරසු කච්චි හෙවත් ITAK පක්ෂය, සිය මධ්‍යම කාරක සභාව රැස්වී ගනු ලැබූ තීරණ තුනක් පසුගිය 01 වැනිදා එහි ප්‍රකාශකයකු වූ M. A. සුමන්තිරන් විසින් ප්‍රකාශයට පත් කරන්නට යෙදුනි.

ITAK පක්ෂය යනු TNA හෙවත් දෙමළ ජාතික සංධානයට අයත් පක්ෂයකි. මෙම පක්ෂය විසින් ගෙන ඇති තීරණ අතුරින් පළමුවැන්න නම්, මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින දෙමළ ජාතික පොදු අපේක්ෂකයා වන පාක්‍යසෙල්වම් අරියනේත්‍රම් මහතාට සහය නොදීම ය.

දෙවැනි තීරණය වී ඇත්තේ, ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින එම අපේක්ෂකයාට මෙම තරගයෙන් ඉවත්වන ලෙසට ඉල්ලීමක් සිදු කිරීමය.

තුන්වැනි තීරණය වන්නේ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වී සිටින සජිත් ප්‍රේමදාස ගේ ජයග්‍රහණය සඳහා සහාය ලබා දිය යුතුය යන්න ය.

එහෙත් මෙම පක්ෂයේ නායකයා වන මාවෙයි සේනාධිරාජා ,මාධ්‍යයට පුකාශ කර සිටියේ, අදාළ මධ්‍යම කාරක සභා රැස්වීමේදී සාකච්ඡා කළ කරුණු මොනවාද යන්න හෝ එහිදී ගත් තීරණ මොනවාද යන්න තමා මෙතෙක් නොදන්නා බවය.

ITAK පක්ෂය මේ මස 01 වැනිදා මෙම තීරණ ගැනීමට පෙර, පසුගිය අගෝස්තු 18 වැනිදා ද වව්නියාවේ දී රැස්වීමක් පවත්වා ඇත. එම රැස්වීමේදී සිදුවූ සිද්ධීන් පිලිබඳව තොරතුරු අගෝස්තු 20 වැනිදා දිනමිණ පුවත් පතේ පළ කර තිබුණි.

එම තොරතුරු වලට අනුව එදා පැවැති සාකච්ඡාවේදීත් කතා බහ කොට ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේ දී සහයෝගය ලබා දෙන්නේ කාටද යන්න ගැනය.
මෙහිදී ද මත කිහිපයක් ඉදිරිපත් වී ඇති අතර, ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය හේතු කොට ගෙන පාර්ලිමේන්තු මන්ත්‍රි S. ශ්‍රීධරන් එම සභාවෙන් නැගිට ගිය බවද එහි සඳහන් ය.
ශ්‍රීධරන්ගේ මතය වී ඇත්තේ දෙමළ පොදු අපේෂකයාට සහය දිය යුතුය යන්න ය.

මේ අතර C. V. විග්නේෂ්වරන් ද දෙමළ පොදු අපේක්ෂකයාට සහයෝගය ලබා දිය යුතු බවට අදහස් පළ කොට තිබෙණු පෙනිණ.

දෙමළ ජාතික ජනතා පක්ෂයේ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලන් ප්‍රකාශ කර සිටින්නේ මෙවර පැවැත්වෙන ජනාධිපති මැතිවරණය, දෙමළ ජාතිකයන් විසින් වර්ජනය කළ යුතුය යන්න ය.

මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ, ශ්‍රී ලාංකීය දේශපාලනයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කොට ඇති කඩඉමක් අභිමුවය.

අද මෙම මැතිවරණය ඉදිරියේ පෙළගැසී සිටින්නේ ,69 ලක්ෂයක ජනවරමක් ලබා බලයට පත් ජනාධිපතිවරයෙක් සහ තුනෙන් දෙකක බහුතරයක් සහිත ආණ්ඩුවක අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් එළවා දැමූ ජනතාවක් ය.

මෙතෙක් කාලයක් ඡන්ද දායකයකු ලෙස පමණක් පෙනී සිටිමින් තම භූමිකාව නිමා කළ ජනතාවක් වෙනුවට, අද සිටින්නේ ඊට සාපේක්ෂව දේශපාලන සවිඥාණිකත්වයක් සහිත පිරිසක් ය.

මෙය හුදෙක් දකුණේ ජනාධිපතිවරයෙක් හා දකුණේ ආණ්ඩුවක් පලවා හැර ඒ වෙනුවට තවත් ජනාධිපතිවරයෙක් හා තවත් ආණ්ඩුවක් හදා ගැනීමේ සාම්ප්‍රදායික මැතිවරණයක් නොවන බව උතුරේ නිර්ප්‍රභූ ජනයා විසින් තේරුම් ගත යුතුව ඇත.

උතුර, දකුණ, නැගෙනහිර, බටහිර එක රටක් ලෙස එකට ගෙන, දකුණේ මෙන්ම උතුරේ ද සිටින ජාවාරම්කාර ,දූෂිත ප්‍රභූ පැලැන්තියෙන් රට මුදවා ගැනීමට හැකි කදිම අවස්ථාව මෙය බව, විශේෂයෙන්ම උතුරේ උගත් හා බුද්ධිමත් ජනතාව අවබෝධ කර ගත යුතුව ඇත.

නිදහස ලැබීමෙන් පසු ගෙවී ගිය 76 වසරෙන් වැඩිම කාලයක්, උතුරේ නිර්ප්‍රභූ ජනතාවගේ අව්‍යාජ අපේක්ෂාවන් උතුරේ ප්‍රභූ පංතිය විසින් තම පැවැත්ම සුරක්ෂිත කර ගැනීම වෙනුවෙන්, දකුණේ ප්‍රභූ පංතියට ඡන්ද මල්ලක දමා විකුණා දමා ඇත.

සෑම මැතිවරණයකදීම ඔවුහු දකුණේ ප්‍රභූන් සමඟ කේවෙල් කිරීමේදී දෙමළ ජාතික අපේක්ෂාවන් සූදු පොලේ පරදු තබා ඇත. ඔවුන් ” දෙමළ ජාතික ප්‍රශ්නය ” ලෙස හඳුන්වන්නේ තම වචනයට නැමෙන දෙමළ ඡන්ද කුට්ටියයි. මෙවර ද ඔවුන් කරන්නේ එයමයි. ඒ බව උතුරේ උගත්, බුද්ධිමත් නව පරම්පරාව විසින් තේරුම් ගත යුතු කාලය එලැඹ ඇත.

උතුරේ දෙමළ ප්‍රභූ පංතිය , දකුණේ ප්‍රභූ පංතිය සමග එක පතේ කමින් බොමින් සිටින නමුත්, උතුරේ සහ දකුණේ නිර්ප්‍රභූ පංතික ජනයා එකට එක්වීමට ඇති යම් හෝ ඉඩක් මතු වුවහොත්, එය විනාශ කිරීම සඳහා උතුරේ හා දකුණේ ප්‍රභූ පංතිය එකට එක්ව ක්‍රියා කළ බවට ඉතිහාසය ඕනෑවටත් වඩා සාක්ෂි සපයා ඇත.

පසුගිය වසර 30 ක් පුරාවට උතුරේත් දකුණේත් ප්‍රභූ පංතිය LTTE සංවිධානය ඒ වෙනුවෙන් යොදා ගත් අයුරු හොඳින් නිරීක්ෂණය කිරීමෙන් එය පැහැදිලි කර ගත හැකිය.

LTTE ය උතුරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයකු වූ දොරේ අප්පා ඝාතනය කරන විට උතුරේ ප්‍රභූ පංතිය කට ඇරියේ නැත. ” දෙමළ ජනයාට වෙනම රාජ්‍යයක් ” යන සටන් පාඨය රැඩිකල් තරුණයන්ගේ සිත් තුළට කාවැද්දුවේ මේ ප්‍රභූන් විසිනි.

LTTE යට එරෙහිව වාමාංශික අදහස් දරමින් ආයුධ සන්නද්ධව සිටි උතුරේ තරුණ සංවිධාන, දකුණේ ජනයා සමග එක්ව කටයුතු කිරීමට නැඹුරුවක් පෙන්නුම් කළ විට , එම සංවිධාන මරා දැමීම සඳහා දකුණේ ප්‍රභූ පංතියේ නියෝජිතයා වූ ⁣රණසිංහ ප්‍රේමදාස LTTE යට ආයුධ දුන් අයුරු මෙයට කදිම නිදසුනක් ය.

LTTE සංවිධානය ඉංදියාවට හඳුන්වාදීමත් , ඉංදියාව තුළ ඔවුන්ට ආයුධ පුහුණුව ලබා ගැනීමට ඉඩ ප්‍රස්ථා ලබා දීමත් සිදු කළේ උතුරේ ප්‍රභූ පංතිය විසින් ය.

අවසානයේ, උතුරේ ප්‍රභූ පංතියේ නායකයා වූ අමිර්තලිංගම්ටත්, ඉංදියාවේ ප්‍රභු පංතියේ නායකයා වූ රජීව් ගාන්ධිටත්, ලංකාවේ දකුණේ ප්‍රභූ පංතියේ නායකයා වූ රණසිංහ ප්‍රේමදාසටත් අවසන් ගමන් යන්නට සිදුවූයේ එම පංතිය විසින් ම ගොඩ නඟමින් පෝෂණය කරන ලද සුරතලුන්ගෙන්ම ය.

ශ්‍රී ලාංකීය දේශපාලනය තුළ වත්මන් මොහොත අතිශය තීරණාත්මක මොහොතක් ය. එය දකුණේ පමණක් නොව උතුරේ ද ප්‍රභූ පංතිය සලිත කරවන සුළුය. එම නිසාම දකුණේ පමණක් නොව උතුරේ ද ප්‍රභූ පංතිය විශාල වියවුලකට මෙන්ම කලබලයකට පත් වී ඇත. උතුරේ විවිධ සිදුවීම් හරහා මෙය පෙනෙන්නට පටන් ගෙන ඇත.

දෙමළ ජාතික පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම, ජනාධිපති මැතිවරණය වර්ජනය කරන ලෙස ඉල්ලීම, මෙන්ම සජිත් ප්‍රේමදාස දිනවන ලෙස ඉල්ලා සිටීමත් යන ආස්ථාන තුනෙන්ම පිළිබිඹුවන්නේ උතුරේ ප්‍රභූ පංතියේ සලිත වීමය.

මෙ⁣ම යෝජනා තුනෙන්ම උත්සාහ ගන්නේ, ශ්‍රී ලාංකීය දේශපාලනය තුළ මතුවී ඇති ප්‍රභූ පංතියට එරෙහි නිර්ප්‍රභූ පංතියේ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත්කර ගැනීම සඳහා උතුරේ ජනතාවගේ දායකත්වය ලබා ගැනීමට ඇති ඉඩකඩ අහුරාලීමය.

වසර 37 පැරණි 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය , ශ්‍රී ලංකාවේ ජාතික මැතිවරණයක් පැමිණි සෑම අවස්ථාවකම හෝද හෝදා මඩේ දමන උතුරේ සහ දකුණේ ප්‍රභූ පංතිය මෙවරත් එයම සිදු කරමින් සිටිති.

වසර 37 ක් පුරාවට මෙම සංශෝධනයෙන් දෙමළ ජනයාට සිදු වූ කිසිදු සෙතක් නැත. එහෙත් දෙමළ ජනයාට ඇති එකම විමුක්තිය ලෙස මෙය පෙන්වන උතුරේ ප්‍රභූ පංතිය, එය දකුණේ ප්‍රභූ පංතිය ලවා ඉටුකර ගැනීමට නම් ඔවුන් හඳුන්වා ⁣ දෙන දකුණේ අපේක්ෂකයාව ජයග්‍රහණය කරවිය යුතු බව කියා සිටිති.

දෙමළ ජනතාව මේ රැවටිල්ලට හසුවී වසර 37 කි. උතුරේ සිටින්නේ උගත් , බුද්ධිමත් ජනතාවක් නම්, වසර 37 ක් පුරා තමන් රැවටුණු බව දැන්වත් තේරුම් ගත යුතුව ඇත.

මෑත ඉතිහාසය තුළ පැවැති ජනාධිපති මැතිවරණ තුන පිලිබඳව පමණක් සියුම්ව විමසා බලන්නට උතුරේ බුද්ධිමත් ජනතාවට හැකි නම්, ඔවුන් සතු ඡන්ද අයිතියේ වටිනාකම ඵල රහිත බව තේරුම් ගැනීමට අපහසු නැත.

2010, 2015 සහ 2019 යන වසර වල පැවැත්වූ ජනාධිපති මැතිවරණ තුනේදීම ඡන්දය පාවිච්චි කළ උතුරේ ජනතාවගෙන් බහුතරය, දකුණේ UNP යේ හෝ UNP ය විසින් තෝරා ගත් අපේක්ෂකයාට ඡන්දය ලබා දී ඇත.

එහෙත් උතුරෙන් වැඩි ඡන්ද ලබාගත් පමණින් ජනාධිපතිවරයා ලෙස පත්වීම අනිවාර්ය සාධකයක් නොවන බව 2019 ජනාධිපති මැතිවරණයේ ප්‍රතිඵල මගින් තේරුම් ගැනීමට උතුරේ ජනතාවට ⁣හැකි වනු ඇත.

සැබවින්ම මේ ජනාධිපති මැතිවරණය ඓතිහාසික මැතිවරණයක් බව කිසිවෙකුට නොදැන තිබිය නො හැක. එය දකුණේ මෙන්ම උතුරේ වෙසෙන පොදු ජනයාගේ ඇඟට දැනෙන බව ස්ථීරය.

ශ්‍රී ලාංකීය ඉතිහාසය, ලෝක ඉතිහාසය තුළ නැවත ලියා තබන්නට මුල් පියවර තබන මෙම සද් කාර්‍යයට දකුණ මෙන්ම උතුරද දායක වන්නේ නම්, එයද ඉතිහාසය තුළ අලුත් පරිච්ඡේදයක් සනිටුහන් කිරීමට සමත් වනු ඇත.

සුනිල් ගාමිණී ජයලත්ගේ

Related articles

වැදගත්ම ආර්ථිකය : නීතිය ඊට පස්සෙ : අපේක්ෂකයන්ගෙ ජනවර්ගය අදාළ නෑ : පවුලේ කැමැත්ත පස්සට දමයි – වෙනස් හැඩයේ සමීක්ෂණයක ප්‍රතිඵල මෙන්න !

ජනාධිපතිවරණය පිළිබඳ සමීක්ෂණයක් කියූ සැණින් අපට මතක් වන්නේ ප්‍රධාන අපේක්ෂකයන් ලබාගන්නා ඡන්ද ප්‍රතිශතය පිළිබඳ ඉලක්කම් කිහිපයකි. මෙවැනි සමීක්ෂණ...

අසත්‍ය පුවත් සමාජගත කිරීම – සජිත්ට එරෙහිව ජපුරෙන් මැකොට ලිපියක් !

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් සම්බන්ධව ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ නියෝජිතයන් මැතිවරණ වේදිකා හරහා අසත්‍ය පුවතක්...

සත්‍යපාල ගල්කැටියගේ ‘අරණ තුළ අරම’

සමාජයේ පවත්නා විවිධ සම්මුතිගත තත්ත්ව නිසා නැතහොත් සංකේතීය රටාව නිසා මිනිසුන්ට බොහෝවිට ස්වකීය ආශාවන් අවරෝධනය කර ගැනීමට සිදු...

‘ලයිටරේ සුළඟට විසිකළා’ – අනුසාර මාහිංගොඩ

වසර කිහිපයකට පෙර දිනෙක එක් සරසවියක මා මිතුරු මහාචාර්යවරයෙකු සමගින් සිටින විට ඔහුලේ පිහිට පතා පැමිණි සිසුවියක් කී...