ගැහුවෙ ට්‍රම්ප්ට වැදුනෙ බයිඩන්ට

Share post:

අද පාන්දර නැගිටින කොට අපේ හිතවත් ට්‍රම්පච්චිට වෙඩි තියල තිබුණා. පෙනිසිල්වේනියා ප්‍රාන්තයේ ජනාධිපතිවරණ රැළියක් අමතමින් සිටිද්දි තමයි මේ වෙඩි ප්‍රහාරය එල්ල වෙන්නෙ.

වාසනාවකට වෙඩික්කරුගේ ඉලක්කය 99.99 න් ගිලිහෙනවා. බුලට් එක වදින්නේ ට්‍රම්ප් මහත්තයාගෙ දකුණු කනේ උඩ කොටසේ. ඉලක්කය වරදින්න හේතුව ඝාතකයා මීටර් සීයක් පමණ ඈතින් හිටපු නිසා වෙන්න පුළුවන්. චූට්ටක් එහෙ මෙහෙ උනානම් ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක ඉතිහාසයට එක් වෙලා ඉවරයි. එහෙනම් එතුමාගෙ අවසන් වචනය “Take a look what happened” එහෙම කියන කොටම තමා කණ ගාවින් මාරයා මාරු වුණේ.
කණ අත ගාල බලන ට්‍රම්ප් වහාම බිමට පාත් වෙනවා. ඒත් එක්කම වටේ රැස්ව සිටි ජනතාවද බිමට පාත් වෙනවා. තව වෙඩි පහර කිහිපයක් එල්ල වුවත් ට්‍රම්ප් මහත්තයා බේරෙනවා. ඇමෙරිකානු රහස් ඔත්තු සේවාවේ (US Secret Service) නිලධාරීන් වහා පැන ට්‍රම්ප් වට කරගන්නවා.
US secret Service නිලධාරීන් විසින් වහාම වෙඩික්කරු ඝාතනය කළා. මෙම ඛේදවාචකය නිසා republican පක්ෂයේ ආධාරකරුවෙකු මිය ගොස් තිබෙනවා. තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

තමන්ගේ දේශපාලන සතුරාව ඝාතනය කිරීමට උත්සාහ දැරීම ගැන ජනාධිපති ජෝ බයිඩන් කම්පාවට පත්ව තිබුණා. ” එක්සත් ජනපදය තුළ මෙවැනි ප්‍රචණ්ඩත්වයකට ඉඩක් නැහැ” යනුවෙන් ඔහු ප්‍රකාශ කළා. තමන් ඉදිරි පැය කිහිපය තුළ ට්‍රම්ප් මහතාට කතා කරන බව ඔහු ප්‍රකාශ කළා. කොහොමත් මේ වෙඩි උන්ඩය බයිඩන් මහත්තයාට දේශපාලන අවාසියක්. ඉලක්ක කළේ ට්‍රම්ප් උනාට බිම වැටුණේ බයිඩන්.
2024 ජනාධිපතිවරණයේදී ට්‍රම්ප්ගේ උප ජනාධිපති අපේක්ෂකයා බවට පත් වෙතැයි අපේක්ෂිත රිපබ්ලිකන් සෙනෙට්වරයෙකු වූ JD වැන්ස් බරපතල ප්‍රකාශයක් කළා. ඝාතන ප්‍රයත්නය ගැන කෙළින්ම බයිඩන්ට චෝදනා නොකළත් ඔහු කිව්වේ බයිඩන්ගේ වාචාල බොරු කතා නිසා ට්‍රම්ප්ගේ ජීවිතය අනතුරේ වැටුණු බව. ඒත් බොහෝ දේශපාලන විචාරකයන් එම මතය බැහැර කරනවා. දේශපාලනයේදී තම සතුරාව දැඩිව විවේචනය කිරීම සාමාන්‍ය දෙයක් බවයි බහුතර මතය.

හිටපු ජනාධිපතිවරුන් වන බිල් ක්ලින්ටන්, ජෝජ් W. බුෂ්, බැරැක් ඔබාමා මේ ප්‍රහාරය හෙළා දැක තිබෙනවා.
ඔය අව් අස්සෙ ශ්‍රී ලංකාවෙ වගේ සීන් එකකුත් වෙලා තියෙනවා. රැළිය ආරම්භ වීමට පෙර යමෙක් ආයුධයක් අතැතිව ඒ ආසන්න ගොඩනැඟිල්ලක වහලය මත වළහෙකු මෙන් බඩගාමින් සිටි බව කිහිප දෙනෙකු දැක තිබුණා. ඔවුන් ඒ බව පොලිස් නිලධාරීන්ට දැනුම් දී තිබුණා. සමහර විට පොලීසිය හිතන්න ඇති ඒ හිම වළහෙක් බඩ කසා ගන්නවා කියල.

කෙසේ නමුත් හිටපු ජනාධිපතිවරයා ඝාතනය වූවානම් එය ඉතාම බරපතල ඛේදවාචකයක්. ලෝක සාමයට බාධාවක්. ට්‍රම්ප් මහතා නැවත ජනාධිපති තනතුරට පත් වූ පසු රුසියානු- යුක්‍රේන යුද්ධය විසඳාගැනීමට හැකිවනු ඇතැයි ව්ලැදිමීර් පූටින් පවා විශ්වාස කරනවා.
ජනාධිපතිවරණයේ Republican අපේක්ෂකයා ඩොනල්ඩ් ට්‍රම්ප් බව තහවුරු වී ඇතත් පක්ෂය විසින් ඒ බව නිල වශයෙන් තහවරු කළ යුතුයි. ඒ සඳහා වන පක්ෂ සම්මේලනය රැස්වීමට නියමිතව ඇත්තේ සඳුදා (15) එනම් හෙට දිනයි. ඇමෙරිකානු ඉතිහාසයේ වඩාත් ආන්දෝලනාත්මක දේශපාලනඥයෙකු වූ මේ හිතුවක්කාර නාකි මයිනා අනිවාර්යයෙන් නැවතත් ධවල මන්දිරයට යන බව පැහැදිලියි.

මූණෙන් ලේ පෙරාගෙන ආරක්ෂකයන් විසින් කුදලාගෙන යද්දි ට්‍රම්ප් “Fight fight ….God Bless America” යනුවෙන් අත මිට මොළවමින් කෑ ගසනවා. නිරූපිකාවො එක්ක කොටු පැනලා මාට්ටු උනාම ඒකත් තමන්ගෙ වාසියට මාකට් කර ගත්ත ට්‍රම්ප් මහත්තයාට මේ වෙඩි උණ්ඩය ඉතින් ඉහටත් උඩින්.
මේ ප්‍රහාරය ට්‍රම්පච්චි විසින්ම සිදුකර ගත්ත මගෝඩියක් කියල කියන්න තරම් ෆේස්බුක් බුද්ධි බලකායක් තාම ඇමෙරිකාවෙ නැහැ.

ශානක ලියනගම (fb)

2024, 07, 14

Related articles

අජිත් තිලකසේන යනු කුමක්ද ?

ලංකාවේ සංස්කෘතික බුද්ධිමය නවීකාරකත්වයේ ඇති සුවිශේෂී ලක්ෂණයක් වන්නේ විශ්ව විද්‍යාල සම්ප්‍රදාය තුළ පමණක් නොව ඊටත් වඩා ඉන් පරිබාහිරවත්...

2025 මුල් මාස 4ට ආණ්ඩුවෙන් හදපු අතුරු සම්මත ගිණුමෙන් වැඩිම මුදල් බිමල්ගේ අමාත්‍යංශයට !

2025 මුල් මාස 4 සඳහා රජයේ අතුරු සම්මත ගිණුමෙන් පෙන්නුම් කරන්නේ, පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම්, රාජ්‍ය ණය සේවාකරණය...

ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රය බලගන්වන IIHS ආයතනයේ 16 වැනි උපාධි ප්‍රදානෝත්සවය සාර්ථකව පැවැත්වේ !

මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) පිරිනමන පදනම්, ඩිප්ලෝමා, ප්‍රථම උපාධි,...

තරුණ පරපුර බලගැන්වීමට IIHS ආයතනය Young Entrepreneurs Hub දියත් කරයි !

ශ්‍රී ලාංකික ව්‍යවසායකත්වයේ අනාගතය නව මාවතකට යොමු කිරීමේ අරමුණෙන් Institute of Health Sciences (IIHS) තරුණ ව්‍යවසායකයන්ගේ එකමුතුව (Young...