‘ජනාධිපතිතුමාට මේක ප්‍රශ්නයක් නෙමෙයි’ – ඩයනා ගමගේ : අභියාචනාධිකරණ තීන්දුව ජූලි 25ට කල්තබයි !

Share post:

රාජ්‍ය ඇමති ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ගොනුකර ඇති පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම ලබන ජූලි 25දා තෙක් කල්තැබීමට අභියාචනාධිකරණය අද (06) තීරණය කළේය.

මෙම තීන්දුව අද ප්‍රකාශ කිරීමට නියමිතව තිබුණත්, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන විනිසුරු මඩුල්ල කියා සිටියේ අදාළ තීන්දුව ප්‍රකාශ කිරීම ජූලි 25 දක්වා කල්තබන බවයි.

පෙත්සම

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත. රාජ්‍ය ඇමති ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් වන නිසා ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සුදුසුකමක් නොමැති බවට තීන්දු කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබේ.

අත්අඩංගුවට ගැනීම

ආගමන හා විගමන පනතේ වැරදි සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීමට  අදාළව අවශ්‍ය පියවර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නීතියෙන් බලය තිබෙන බැවින් අධිකරණය විසින් ඊට අදාළව නියෝගයක් නිකුත් නොකරන බව මීට පෙර කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අවධාරණය කර තිබිණි.

එම සිද්ධියේ පැමිණිලිකරු වන ඕෂල හේරත් සහ අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරුන් විසින් දින කිහිපයකට පෙර අධිකරණයට දැනුම් දී තිබුණේ ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත්ව තිබියදී ඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු නොකරන බවයි.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 32 වැනි වගන්තිය යටතේ අධිකරණයට පැවරී තිබෙන බලතලවලට අනුව ඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස ද එම නීතිඥවරුන් මීට පෙර අධිකරණයෙන් ඉල්ලා තිබිණි. එහි තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ ඊට අදාළව කටයුතු කිරීමට අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ විමර්ශන නිලධාරීන්ට බලයක් තිබෙන බවයි.

සිදුවීම

සංචාරක රාජ්‍ය ඇමති ඩයනා ගමගේ ව්‍යාජ උප්පැන්න සහතිකයක් සහ ව්‍යාජ හැඳුනුම්පතක් භාවිත කරමින් නීතිවිරෝධී ලෙස මෙරට ආගමන විගමන බලපත්‍රයක් (Passport) ලබාගෙන ඇති බවට අධිකරණයට තොරතුරු ඉදිරිපත් විය. ආගමන විගමන නිලධාරීන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට මෙම තොරතුරු දැනුම් දුන් අතර, ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසියෙකු බව ද එම නිලධාරීහු පෙන්වා දුන්හ.

එම නිලධාරීන් දෙපාර්තමේන්තු ලිපිලේඛන උපුටා දක්වමින් අධිකරණයට පෙන්වා දුන්නේ 2014 වසරේදී ඇමතිවරියගේ ශ්‍රී ලංකා ආගමන විගමන බලපත්‍රය අවසන් වී ඇති බවයි.

ආගමන විගමන දෙපාර්තමේන්තු ලිපි ලේඛන අනුව නයනා සමන්මලී හෙවත් ඩයනා නටාෂා කැකනදුර හේවා ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි අයෙකි.

ඒ අනුව ඇය ද්විත්ව පුරවැසිභාවය උසුලන්නියක් නොව බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සහිත, නීතිවිරෝධී ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර හිමිකාරිනියක බව ද ආගමන විගමන නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මගින් අධිකරණයට මීට පෙර පෙන්වා දුන්නේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ අදාළ කරුණු අනාවරණය වීමෙන් අනතුරුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා තීරණය කර තිබුණේ මීට අදාළ නඩුව තවදුරටත් පවත්වාගෙන යෑමටයි.

විමර්ශනවලදී අනාවරණය වූ කරුණු හැකි ඉක්මනින් විශ්ලේෂණය කර මෙම අධිකරණ කටයුතු අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට මීට පෙර නියෝග කර තිබිණි.

ඩයනා කතා කරයි !

ඩයනා ගමගේ රාජ්‍ය ඇමතිවරියට එරෙහිව එල්ල වී ඇති මෙම චෝදනාව සම්බන්ධයෙන් thetime.lk මීට පෙර කළ විමසීමකදී ඇය මෙසේ අදහස් දැක්වීය.

  • මේ චෝදනාව සම්බන්ධයෙන් ඔබේ පාර්ශ්වයේ අදහස විමසීම අපේ වගකීමක්. මොකක්ද කියන්න තියෙන්නෙ …?

මට කරන චෝදනා ඒගොල්ලො අධිකරණය ඉදිරියේ ඔප්පු කරන්න ඕනෙ. එතෙක් මං ඕක ගැන කමෙන්ට් නොකර ඉන්නයි තීරණය කරලා තියෙන්නෙ.”

  • ඒත් ජනතාවට වගකියන ඇමති ධුරයක් දරන කෙනෙකුට, මේ වගේ බරපතළ චෝදනාවක් සම්බන්ධයෙන් නිහඬ ව ඉන්න පුළුවන් ද ?

අධිකරණයේ කටයුතු දෙස බලාගෙන ඉන්නවා. ඒ වගේම ඊට පස්සෙ තමයි වැඩ තියෙන්නෙ. අපහාස නඩු ආදී අධිකරණ ක්‍රියාමාර්ග ගන්න ඕනෙ ඊටපස්සෙ.

  • මේ වගේ චෝදනාවක් එල්ල වෙලා තියෙන අවස්ථාවක, තවදුරටත් ඔබ ඇමති ධුරයේ කටයුතු කිරීම සාධාරණ ද ?

ප්‍රශ්නයක් නෑ. මම ජනාධිපතිතුමා එක්කත් කතා කළා. ජනාධිපතිතුමාට හෝ ඇමති මණ්ඩලයට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒක හින්දා මම මගේ වැඩ කරගෙන යනවා.

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...