වීරයන්ගේ ඇතුළට යන වීර චාරිකාව නොහොත් ‘රජා මං වහලා’

Share post:

නාට්‍යකාරයෙක් කියන්නෙ මැජික්කාරයෙක්. ඔහුගෙ අතේ අදෘශ්‍යමාන මැජික් යෂ්ටියක් තියනව. මේ යෂ්ටියෙන් වේදිකාව මත මවන මැජික් එක තමයි නාට්‍යය කියන්නෙ. මම නම් වේදිකාවක් ඉස්සරහ වාඩිවෙන්නෙම ඉන්ද්‍රජාලයක් බලන්න හිතාගෙන. චාමික හත්ලහවත්තගෙ රජා මං වහලා බැලුවහම අපි ජීවත්වෙන මේ වාස්තවිකය කොතරම් ඉන්ද්‍රජාලිකයිද කියල අපිට පෙන්නන්න පුළුවන් මැජික්කාර නාට්‍යකාරයෙකුටද විතරමද කියල හිතෙන්නෙ නැත්නම් පුදුමයි. කොටින්ම කිව්වොත් රජා මං වහලා කියන්නෙම වේදිකාව මත විය නොහැකියාවක්.

වීරයො තුන් දෙනෙක් ගැන කියන මේ නාට්‍යයෙ නළුවන්ට නිශ්චිත භූමිකා නෑ. හරියටම කියනව නම් වීරයො ගැන කියන නාට්‍යයෙ නළු වීරයො වීරවරියො නෑ. හැමෝම වීරය වෙනව; හැමෝම වීරයගෙන් මිදෙනව. මේ වීරයින් තුන්දෙනා සන්දර්භ තුනක වීරයො තුන්දෙනෙක්. ප්‍රේමතිලකගෙ කතාවෙ ප්‍රේමතිලක කියන්නෙ මේ ව්‍යුහයට අවශ්‍ය වීරයා. එයා කාලානුක්‍රමිකව වීර කඩයිම් පසුකරගෙන ව්‍යුහයට අවශ්‍ය වීරයා ලෙස නිෂ්පාදනය වෙමින් ඉන්නව.ඊළඟට දුටුගැමුණු කියන්නෙ සෑම විටම අනෙකෙකු නිර්මාණය කරමින් ගොඩනැගෙන සංකේතික දෘෂ්ටිවාදී වීරයා. සුරංගනා කතාවෙ එන වහලා විතරයි ව්‍යුහන්ගෙන් සහ දෘෂ්ටිවාදී සිරගෙවල්වලින් පරිබාහිර වීරත්වයක් නියෝජනය කරන්නෙ. හැබැයි නාට්‍යය ඇතුළෙම ඒ කතාව
සුරංගනා කතාවක්!

මේ වීරයන් වීරයන් වීම නිසා ඔවුන් දරන ආතතියත් ඒ වීරයන් ගොඩනගන දෘෂ්ටිවාදී ව්‍යුහ සමාජය මත ඇති කරන ආතතියත් හත්ලහවත්ත වේදිකාව මතට ගෙනඑන්නෙ උත්ප්‍රාසාත්මක විදිහට. ඇත්තටම ඒ වීරයන් වීරයන් වෙලා තියෙන්නෙත් සමහර වීරයන් විනාශ වෙන්නේත් ඔවුන්ගේම නිසඟ උවමනාව නිසාද? මේ රජා මං වහල ඇතුළෙ දෝංකාර
දෙන ප්‍රශ්නය…

හත්ලහවත්ත අපි පැටලිලා ඉන්න දෘෂ්ටිවාදී පඹගාල රජා මං වහලා ඇතුළෙදි සීරුවට ලිහනව. එම දෘෂ්ටිවාදී ලෝකයේ ඉන්නවුන් පවා නොරිදෙන විදිහට ඒ වැඩේ කරන එක මැජික් එකක්ම තමයි.

ලහිරු කරුණාරත්න

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...