එරික් ඉලයප්ආරච්චිගේ ‘අන්තගිර’

11

යමක් දුරස්ථව නිරීක්ෂණය කරන විට සහ එයම සමීපව නිරීක්ෂණය කරන විට අපට ලැබෙන අවබෝධය මුළුමනින්ම එකිනෙකට පරස්පර විය හැකිය. පුද්ගලයන් සම්බන්ධයෙන් මෙය අතිශයින් වලංගු ය. දුරින් සිට බලන විට යමෙක් බෙහෙවින් බුද්ධිමත් , විද්වත් සහ ප්‍රඥාවන්ත යැයි පෙනී යනු ඇත. එහෙත් සමීප නිරීක්ෂණයකදී ඇතැම් විට එහි ප්‍රතිපක්ෂය සත්‍ය වීමට පුළුවන. අප නාගරික බුද්ධිමය ප්‍රභූන් ලෙස සිතා සිටින ඇතැමුන්ගේ සිතිවිලි සහ චර්යාව සමීපව අත්දකින විට ඔවුන්ගේ ග්‍රාමීය බව නිරාවරණය වීම මෙයට නිදසුනකි. මෙම විරුද්ධාභාසී පුද්ගල තත්ත්වය සමාජ , ආර්ථික , දේශපාලනික සහ සංස්කෘතික සාධක සමඟ සංකලනය වූ විට පුද්ගල මෙන්ම සමාජ යථාර්ථයේද අදෘශ්‍යමාන සහ අප ප්‍රසිද්ධියේ පිළිගැනීමට අකැමැති දසුනක් නිරාවරණය වීම නොවැළැක්විය හැකිය. මෙකී තත්ත්වය නාගරික අවකාශයක් තුළ ප්‍රබන්ධාත්මකව විනිවිදීමට ගත් උත්සාහයක් ලෙස එරික් ඉලයප්ආරච්චිගේ ‘අන්තගිර’ නවකතාව හැඳින්වීමට පුළුවන.

මෙම නවකතාවේ වර්තමාන නිමේෂය ස්ථානගත වන්නේ 2022 මෙරට සිදු වූ අරගලය සහ ඊට ආසන්න පසු අවධිය තුළ ය. අරගල භූමියේදී හඳුනා ගත් චරිත හතරක් ඔස්සේ කතාපුවත ගලා යයි. අරගලයෙන් පසුව ඔවුහු මීගමුව නම් නාගරික අවකාශයේ එකම නිවහනක දිවි ගෙවති. නිවහන අයිතිකරුවා (සාලිය) කලාකරුවකු වීමේ සිහිනය සපුරා ගැනීමට වෙහෙස වන්නෙකි. වෛද්‍යවරයෙක් ( ගලගම ) , නීතිඥවර⁣යෙක් (කපිල ) සහ ගමෙන් නගරයට පැමිණි උපකාරක පංති ගුරුවරයෙක් (භාතිය ) අනෙක් තිදෙනා වේ. කතාපුවතේ වැඩි ඉඩක් වෙන්වන්නේ කොරෝනා සමයේදී දඹුල්ලේ සිට කොළඹට සංක්‍රමණය වන ටියුෂන් ගුරුවරයාගේ කතාවටය. ඔහු උපකාරක පංති නිසා ස්ථාවර ආර්ථිකයක් ගොඩනඟා ගත්තෙකි. එමෙන්ම කලක් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාධරයෙක්ව සිටි කෙනෙකි. ඔහු කොළඹට පැමිණ දෙමටගොඩ ආසන්නයේ අවවරප්‍රසාදිත කලාපයක කල්ගත කරයි. අරගලය තෙක් ඔහුගේ ජීවිතය ගෙවෙන්නේ එහිය. නවකතාවේ වැඩි කොටසක් භාතියගේ කොළඹ ජීවිතයට වෙන් වෙයි.

මෙම නවකතාවේ දී නාගරික බුද්ධි ජීවීන් යැයි සලකන පිරිසගේ සිතිවිලි ලෝකය ද නාගරික බුද්ධිමය අවකාශවල පවත්නා ග්‍රාමීය බවද ⁣අගනගරයේ නිශාචර ආනන්දය ද , වැල්ලවත්ත සංස්කෘතික විවිධත්වය ද, ජාතික ඇඳුම භාවිතයේ අරමුණු ද, අපෝහක වූ සතුටු කල්පනා ද, රස්තියාදුවට සංස්කෘතියක් පැවති සමයක් ද, සාදය හෝ විනෝදය නොහොබිනා වූ යුගයක් ද,නාගරික අවකාශයේ ගොඩනැඟෙන ස්ත්‍රී පුරුෂ සබඳතා ද අරගලයේ භූමි දර්ශනය ද පාඨකයා අභිමුවට ගෙන ඒමට කතුවරයා තැත් කරයි.

මෙවන් අභිමුඛ කිරීම් හරහා එරික් තවමත් සමාජට එතරම් විෂය නොවූ කතිකාවක් පෙරබිමට ගෙන ඒමේ උත්සාහයක යෙදේ. එනම්, අරගල සමයේ මහා බුද්ධිමය කතිකාවන්ට සජීවී ලෙස දායකවූවන්ගේ පශ්චාත් අරගල භාවිතයයි. මීගමුවේ නිවහන තුළ කතුවරයා චිත්‍රණය කරන්නේ එහි හරස්කඩකි. කපිල නීතිඥයකු වුවත් ප්‍රභූ උරුමයක් නොමැති අයෙකි. භාතිය නගරයේ ජීවත් වුවද නාගරික ආත්මයට පිවිසීමේ නොහැකියාවෙන් පෙලෙන්නකි. වෛද්‍යවරයාගේ ජංගම දුරකථනයේ තිර රූපය ඔහුගේ අවිඥානයේ කැඩපතකි. එය සාරියක් ඇඳ වර්ෂාවෙන් තෙතබරිතව සිටින තම බිරිඳගේ අතිපුද්ගල රූපයකි. මීගමු නිවහන යනු අරගලය මෙන්ම සංකීර්ණතා සහ ප්‍රතිවිරෝධතා සහිත අඩවියකි. එමෙන්ම මෙම නිවහන අවට භූමි දර්ශනය ද ප්‍රබල සංකේතීය අරුතක් ගෙන එයි. නිවහනේ යාබද ඉඩමේ බන්ධනාගාරය ද ඉදිරියෙන් උසාවිය ද අනෙක්පසින් පල්ලිය ද හූවක දුරින් පොලිසිය ද ඊට එහායින් පෘතුගීසි , ලන්දේසි හා ඉංග්‍රීසි බලකොටු ද පිහිටා ඇත.මේවා සංකේතීය අර්ථයෙන් අරගලය සමඟ යුගලනය කළ විට බහුවිධ සමාජ , ආර්ථික , දේශපාලන හා සංස්කෘතික කතිකාවකට මග විවර කරගත හැකිය. එහෙයින් මෙම නිවහන අරගලයේ ම ක්ෂුද්‍ර බුද්ධිමය ආකෘතියක් ලෙස සැලකීමට පුළුවන.

එරික් මෙම නවකතාවේ ආඛ්‍යානය සඳහා යොදාගන්නා අසමපාත ශිල්පක්‍රමය පාඨකයා නියත දෘෂ්ටිවාදයක සිරකරුවකු කිරීමෙන් වලකාලයි. මෙයින් අදහස් වන්නේ යම් චරිතයක් තමා, තම ජීවිතය සහ සබඳතා අවබෝධ කරගැනීමට එකිනෙකට වෙනස් දෘෂ්ටි කෝණ සමඟ පොරබැදීමයි. එවිට යම් සිදුවීමක් දෙස බහුවිධ පර්යාලෝකවලින් බැලීමේ අවස්ථාව උදා වේ. ඒ අනුව තමාට සත්‍යය හෝ යථාර්ථය වන දෙය අනෙකාට එසේ නොවන බව අනාවරණය වනු ඇත. එරික් මෙම බහුවිධ යථාර්ථය වෙත අප යොමු කරනුයේ නගරයේ භෞතික මෙන්ම සමාජ භූමි දර්ශනය ද විනිවිදින සමීප නිරීක්ෂණයකින් යුක්තවය. එය දුරස්ථ නිරීක්ෂණයේ ව්‍යාජය පෙන්වාදීමට සමත් වන්නකි. එමගින් පාඨකයා හිසින් දරා සිටින දෘෂ්ටිවාද පුපුරුවා හැරේ. මෙම කාර්යයේදී ඇතැම් විට කතුවරයා භාවිත කරන නාට්‍යමය සහ සම්මුඛ සාකච්ඡාමය ආකෘති අන්තර්ගතයේ ප්‍රබලත්වය තවත් තීව්‍ර කරයි.එහි ප්‍රතිඵලයක් ලෙස කතාව අරගලය සහ එහි ක්ෂුද්‍ර බුද්ධිමය ආකෘතියක් වන මීගමුවේ නිවහන වෙතට අභිසරණය වන ආකාරයටත් එතැන් සිට බහුවිධ පර්යාලෝක හරහා අපසරණය වන ආකාරයටත් ගොඩනැංවීමට කතුවරයාට හැකියාව ලැබී තිබේ.

⁣මෙලෙසින් ‘අන්තගිර’ අපට පෙන්වා දෙන්නේ බුද්ධිමය ජීවියා යනුද දෘෂ්ටිවාදී සංකීර්ණතා සහ ප්‍රතිවිරෝධතා හමුවේ ඝනීභූත වන්නෙකු නොව චලනය වන්නෙකු බවය. එමෙන්ම සංකීර්ණ සමාජ දේශපාලනික සන්දර්භයක් තුළ බුද්ධිමය කතිකාව , බහුවිධ යථාර්ථය සහ නාගරික හෘදසාක්ෂිය ක්‍රියාකරන ආකාරයේ විරුද්ධාභාසී ස්වභාවයයි.සැබැවින්ම මෙය රසබර කතන්දරයේ සීමාව ඉක්මවා යමින් පුද්ගල මෙන්ම සමාජ යථාර්ථයේද බහුවිධත්වය වෙත කිඳා බැසීමට පාඨකයාට ඉඩ සලසන ප්‍රබන්ධමය වෑයමකි.

උදිත අලහකෝන්