මැද පෙරදිග යුද්ධය එක පැත්තකින්, අනෙක් පැත්තෙන් රුසියාව සහ යුක්රේන යුද්ධය. මේ දෙකම තීරණාත්මක විදිහට අපිට බලශක්තියට බලපානවා. කොහොමද මේ තත්ත්වය යටතේ අපි වැඩ කරන්නෙ…?
විශේෂයෙන්ම මැද පෙරදිග යුද්ධය ආරම්භ වීමත් එක්ක ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් සීග්රයෙන් ඉහළ ගියා. සංඛ්යාලේඛන හැටියට බැලුවොත් පෙට්රල් 92 යුද්ධය පටන්ගන්න කලින්, ඒ කියන්නේ පෙබරවාරි 25ට කලින් බැරල් එකක මිල ලෝක වෙළෙඳපොළේ තිබුණෙ ඇමෙරිකානු ඩොලර් 75.282ක් වගේ. මාර්තු වෙනකොට 128.835 වුණා, මේ වෙනකොට ඒක 145.131 දක්වා වැඩි වෙලා තියෙනවා. ඉහළ යෑම් – පහළ යෑම් සෑහෙන්න තියෙනවා. අනෙක් ඒවත් එහෙමයි. මේ ඉහළ යෑමට සාපේක්ෂව අපේ රටේ ඉන්ධන මිල ඉහළ දැම්මෙ නෑ. එහෙම කළා නම්, එක පැත්තකින් අපේ රටේ ඉන්ධන පාරිභෝගිකයන්ට ඒක දරාගන්න බෑ. අනෙක් පැත්තෙන් ආර්ථිකයට තීරණාත්මක බලපෑමක් එල්ලවෙනවා. රජය ප්රතිපත්තියක් විදිහට අනුගමනය කරපු දේ තමයි, මේ අර්බුදයෙන් කොටසක් රජය ගන්නවා කියන එක. පළවැනි පියවරේදි රුපියල් බිලියන 57ක් ඉන්ධන සහනාධාරයට වැය කළා. දෙවැනි පියවරේදි රුපියල් බිලියන 41ක් වෙන්කරලා තියෙනවා සහනාධාරවලට. අනෙක් පැත්තෙන් වැඩි කිරීම් කළා, අවස්ථාව ලැබුණු ගමන් අඩු කළා.
ඒ වගේම ඉන්ධන සමාගම්වලින් ඉල්ලීමක් කළා, ඔවුන්ගේ පෙර ලාබයෙන් කොටසක් මේ වෙනුවෙන් වැයකරන්න කියලා. නමුත් ඔවුන් ඒක දීර්ඝ කාලයක් දරාගන්න සූදානම් නෑ. ඒක නිසා ඔවුන් මේ වෙනකොට අඩු ඉන්ධන ප්රමාණයක් නිකුත් කරන්නෙ. ලංකා ඛනිජ තෙල් සංස්ථාව මේ වෙලාවෙ උපරිමයෙන් වැඩකරනවා. අපි සමාගම්වල කොටස දරාගන්න කටයුතු කරනවා. පාරිභෝගිකයන්ට උපරිම සහනය සලසන්න අපි කටයුතු කරනවා. ඒත් සමහර ප්රදේශවල තියෙන්නෙ පෞද්ගලික ඉන්ධන පිරවුම්හල් විතරයි. විකල්පය විදිහට අපිට මේ තැන්වලදි තියෙන්නෙ ඛනිජ තෙල් සංස්ථා පිරවුම්හල් ඇතිකරන එක. එතැනදි කාටහරි කියන්න පුළුවන්, පෞද්ගලික ආයෝජකයො අධෛර්යමත් කරනවා කියලා. එහෙම නෑ, අපිට ගිවිසුම් අනුව සංස්ථාව විදිහට ඉන්ධන පිරවුම්හල් 216ක් ඇතිකිරීමේ අවස්ථාව තියෙනවා. ඉන්දියන් ඔයිල් සමාගමටත් 13ක් පුළුවන්. ඒක නිසා අපි කිසිම වෙලාවක අත්තනෝමතික විදිහට කටයුතු කරන්නෙ නෑ.
ජාතික ජන බලවේග ආණ්ඩුවට දැන් වසර දෙකක්. බලයට පත්වෙන්න කලින් මේ අර්බුදය දැකලා තිබුණෙ නැද්ද, ඒකට අවශ්ය දේවල් මේ අවුරුදු දෙකේ කළාද…?
එකක් තමයි, ගබඩා පහසුකම් වැඩි කරන එක. දැන් ගත්තොත් අපිට ඉන්ධන ධාරිතා පහසුකම් තියෙන්නෙ දවස් 20 – 25කට විතරයි. අපි බලයට පත්වෙලා ගත්ත මුල්ම පියවර තමයි ඒක. මුතුරාජවෙල අපි අලුතින් ටැංකි තුනක් ඉදිකරන්න අවශ්ය කටයුතු කළා. කොලොන්නාවෙ තවත් ටැංකි හයක් හදන්න කටයුතු කළා. තවත් ටැංකි 02ක් වෙනමත් කොලොන්නාවෙ හදනවා. ගණ මීටර් 36,000ක්, ඒ කියන්නෙ දවස් 35කට විතර ප්රමාණවත් මේවා හදලා ඉවර වුණාට පස්සෙ.
අනෙක් පැත්තෙන් මුතුරාජවෙල ගුවන් යානා ඉන්ධනවලට වෙනම ටැංකියක්, මුතුරාජවෙල ඉඳලා කටුනායකට වෙනම නළයක් මේ වැඩත් කරගෙන යනවා. ඒ වගේම වරායෙ ඉඳලා කොලොන්නාවට තෙල් ගොඩබෑමට වෙනම නළයක්, රුපියල් බිලියන16.2ක් වියදම් කරලා හදනවා. මේ ඔක්කොම සංස්ථාවෙ මුදල්. ඒකෙන් නැව් නවත්වාගෙන සිටීම නිසා යන වියදමත් අපි අඩුකරගන්නවා.
සංස්ථාවෙ වියදමින් කියන කොට පහුගිය කාලෙ ඇතැම් පිරිස් මතුකරපු තර්කයක් තමයි, තෙල් සංස්ථාව ඔය තරම් ලාබ නම් ඇයි තෙල් මිල අඩු කරන්නෙ නැත්තෙ කියන එක…?
ඇත්තටම මේ අර්බුදයත් එක්ක අපි විශේෂයෙන් සංස්ථාවට කියලා තියෙන දේ තමයි, ලබන ලාබයෙන් කොටසක් ඩීසල් සහ පෙට්රල් මිල යම් මට්ටමක තියාගන්න වියදම් කරන්න කියන එක. ඒ වගේම යටිතල පහසුකම් සංවර්ධනයට ඒ ලාබය වැඩිකරන්න කියලා තියෙන්නෙ. ඒකෙන් අනාගතය ස්ථාවර වෙනවා. අනෙක් පැත්තෙන් අපි සපුගස්කන්ද පිරිපහදුව නවීකරණය කරනවා. දැනට පිරිපහදුවේ ධාරිතාව බැරල් 50,000ක්, අපි ඒක ලබන අවුරුද්ද වෙනකොට ලක්ෂය දක්වා වැඩි කරනවා. ඒකෙන් ලොකු වාසියක් වෙනවා. ඒ වගේම ඉන්ධනවල තියෙන බලශක්ති සුරක්ෂිත බවට මේක අත්යවශ්යයි. විකුණන්න තිබුණු එක අපි ලාබ ලබන තැනට ගෙනාවා.
හම්බන්තොට හදන්න සැලසුම් කරපු පිරිහදුවට මොකද වුණේ…?
චීන ආයෝජනයක් මත එකඟතාවක් තිබුණා, පිරිපහදුවක් හදන්න. නමුත් මූලික එකඟතාවට අමතරව ඉල්ලන ඉල්ලීම්වලට පාර්ශ්ව දෙකට එකඟ වෙන්න බැරි නිසා තවම සාකච්ඡා මට්ටමේ ඒක තියෙන්නෙ.
ගබඩා ගැන කතා කරන කොට වසර ගණනාවක් තිස්සෙ කතා කරන කාරණයක් තමයි, ත්රීකුණාමලයේ ටැංකිවලට මොකද වෙන්නෙ කියන එක…?
ත්රීකුණාමලයේ ටැංකි 99ක් තියෙනවා. සංස්ථාව යටතේ 24ක් තියෙනවා. අපි 5ක් තෝරාගෙන තියෙනවා, නැවත හදන්න. දැන් 2ක් කරලා තියෙන්නෙ. රුපියල් බිලියන 7.4ක් සංස්ථාවෙ මුදල් මේකට වියදම් කරනවා. ඒ වගේම ටැංකි සංකීර්ණයේ ඉඳලා වරායට තියෙන නළ පද්ධතියේ ගැටලුවක් තියෙනවා. ඒකත් අපි හදනවා. දෙවැනි අදියරේදි තවත් ටැංකි 16ක් හදන්න අපි බලාපොරොත්තු වෙනවා. අනෙක් පැත්තෙන් සංස්ථාව සහ ඉන්දියන් ඔයිල් එකේ එකතුවෙන් කරන ටැංකි 61ක් තියෙනවා, ඒකෙන් ටැංකි 29ක් තෝරාගෙන ආයෝජන යෝජනා සකස් කරමින් ඉන්නවා. ලබන අවුරුද්දෙ මුල වෙනකොට මේ වැඩ කරලා, වැඩ පටන්ගන්න පුළුවන්.
ඉන්ධන පිරවුම්හල් අලුතින් දාන්න දෙන එක මේ තරම් කාලයක් වුණේ නම් විනිවිදභාවයකින් නෙමෙයි, දැන් සංස්ථාවත් අලුතින් පිරවුම්හල් 75ක් අලුතින් දාන්න යනවා. කොහොමද මේක වෙන්නෙ…?
මේ තැන් අපි හඳුනාගනිමින් ඉන්නවා. ඒකට අවශ්ය සාකච්ඡා කෙරෙනවා. ඊටපස්සෙ මේවගෙදි සමූපකාරවලට ප්රමුඛතාවක් දෙන්න අපි තීරණය කරලා තියෙනවා. ඒත් ඒ අවශ්ය ශක්තිය බොහෝ සමූපකාරවලට නෑ, ඔබ කිව්වා වගේම මේ වෙලාවෙත් සමහරු කියලා තියෙනවා, මේ හදන්නෙ මාලිමාවෙ අයට ෂෙඩ් දාන්න දෙන්න කියලා. ඒකට පොටක් හදාගන්නෙ මේ කියලා. ඒ අයට මං කියන්නෙ පොඩ්ඩක් බලාගෙන ඉන්න, අපි කොයිතරම් විනිවිදභාවයකින් කටයුතු කරනවද කියලා. වැඩේ කළාට පස්සෙ වෙනස බලන්න.
තෙල් සංස්ථාව වගේම පෞද්ගලික සමාගම් ලංකාවට ඉන්ධන ආනයනය කරනවා. පහුගිය දවස්වල මතුවුණු කතාවක් තමයි, ඔවුන් ඉන්ධන ගෙනැත් තියාගෙන ඉන්නවා කියන එක, බෙදාහරින්නෙ නෑ කියන එක. මේකට මොකුත් කරන්න බැරිද ආණ්ඩුව විදිහට…?
අපි පහුගිය කාලෙ මේ ගහලා තියෙන ගිවිසුම් සියල්ල බැලුවා, නීතිමය ක්රියාමාර්ගවලට යන්න ඉඩක් තියෙනවද කියලා. ඒ ගිවිසුම්වල එහෙම ඉඩක් ඇත්තෙ නෑ. ජනාධිපතිතුමත් ඒක කිව්වා. දැන් අපි නීතිපතිතුමාගෙන් උපදෙස් ඉල්ලලා තියෙනවා. ඉන්ධන ලංකාවට ගේන මිල එකිනෙකට වෙනස්, ඒක නිසා තමයි ඔවුන් වෙනස් ගණන්වලින් මේ මිල වැඩි කරන්න ඉල්ලන්නෙ.
අපිට කොච්චර කාලයක් යයිද මේවා හදාගන්න…?
අපිට නීතිමය තත්ත්වයන් වෙනස් කරගන්න වෙයි මේවා කරගන්න. 2023 අත්සන් කරපු ගිවිසුමක උපරිම මිලක් ගැන සඳහනක් තියෙනවා. හැබැයි තියෙන ප්රශ්නය තමයි, 2022 අත්සන් කරපු ගිවිසුම්වල තියෙනවා, අපි නිශ්චිත මිලක් සඳහන් කළොත් ඒ සමාගමට ඒකෙන් පාඩුවක් වෙනව නම්, ඒ පාඩුව රජය ගෙවන්න බැඳිලා ඉන්නවා කියලා. ඒක ගැටලුවක්. දැනට කරන්නෙ සංස්ථාවෙ මිල ප්රකාශයට පත් කළාම ඔවුනුත් මිල ප්රකාශයට පත්කරන එක. ඉදිරියෙදි මේ ගැටලු විසඳගන්න අපි කටයුතු කරනවා, ඒ අවශ්ය නීතිමය තත්ත්වයන් එක්ක. මිල සූත්රයත් එක්කයි මේවා කරන්න අවශ්ය වෙන්නෙ. අත්තනෝමතික මිල ගණන්වලට යන්න අපි ඉඩදෙන්නෙ නෑ. මේකට යම් කාලයක් යනවා, ගිවිසුම් අලුත් කරන්න වෙනවා. නීතිපතිවරයාගේ අනුමැතිය, කැබිනට් අනුමැතිය ගන්න වෙනවා.
විදුලිබල සමාගම් හතර ගැනත් අපි කතා කරන්න ඔ්නෙ, විදුලිබිල, විදුලිය කැපීම් මේ සියල්ල රටේ මාතෘකා. මොකක්ද දැන් වෙන්නෙ…?
විදුලිබල මණ්ඩලය විදිහට ක්රියාත්මක වෙනකොට ඔවුන් දරන වියදම, ඔවුන්ගේ කාර්යක්ෂමතාව ගැන සාකච්ඡාවක් තිබුණා. ඒකත් එක්ක විදුලිය ජනනය, බෙදාහැරීම ඇතුළු ප්රධාන කොටස් එක්ක මේ වෙන්කිරීම් සිදු වුණා. විදුලිබල මණ්ඩලය තුළ ඇතැම් අවස්ථාවල ගිණුම් තුන්සීයකට වැඩිය තිබුණා. ඒක වෙනස් කරන්න අවශ්ය වුණා. පහුගිය රජය මණ්ඩලය කොටස් 12කට කඩලා පෞද්ගලික අංශයට යන්න සැලසුම් කරලා තිබුණා. අපි ඒක වෙනස් කළා, රාජ්ය සමාගම් විදිහට දැන් වැඩ කරගෙන යනවා. අපි බලාපොරොත්තු වුණු කාර්යක්ෂමතාව තවමත් අපි ළඟා කරගෙන නෑ. එතැන්ට යන්න අපිට තව කාලය අවශ්ය වෙනවා. ඒත් අපි දැනට ඒ පාර හදාගෙන ඉවරයි. ඉදිරි මාස හය-හතක කාලය තුළ අපි එතැන්ට යන්න බලාපොරොත්තු වෙනවා.
විදුලි බිල. ඩීසල් මිලත් එක්ක යම් වෙනස්කම් වෙන්න පුළුවන් කියනවා, මොකක්ද මේ සම්න්ධයෙන් ඔබට දෙන්න පුළුවන් සහතිකය…?
ඇත්තටම මේ වෙනකොට මහජන උපයෝගිතා කොමිසමට ඉදිරි මාසතුනට අදාළ අපේ වියදම් සහ විදුලිබ බිලට අදාළ පුරෝකථන ලබාදෙනවා. අපේ වියදම අලාබයක් වෙන්නෙ නැත්නම්, ඒක සීයට 3ට වඩා අඩු නම්, ඒක සමාගම් විසින් කළමනාකරණය කරගන්න ඔ්නෙ. මේ පාර අපි ගණන් හදලා තියෙන විදිහට ඒ පාඩුව සීයට 3ට වඩා අඩුයි. මහජන උපයෝගිතා කොමිසම තමයි ඒ තීරණ ගන්නෙ. අපි බලාපොරොත්තු වෙනවා, ඉදිරි මාස තුනේ විදුලි බිලේ වෙනසක් වෙන්නෙ නෑ කියලා. ඒකක 180ට වඩා අඩුවෙන් භාවිත කරන අයට සහනයක් දෙන්න අපි පහුගිය කාලෙ රුපියල් බිලියන 15ක් වියදම් කළා.
ඇත්තටම අපි ඩීසල් විශාල වශයෙන් භාවිත කරනවද විදුලිය නිෂ්පාදනය කරන්න, එහෙම චෝදනාවකුත් තියෙනවා…?
ගිගාවොට් පැය 60කට අඩු ප්රමාණයක් තමයි අපිට දිනකට අවශ්ය වෙන්නෙ. ඒකෙන් සීයට 1.46ක් විතරයි ඩීසල්වලින් අරගෙන තියෙන්නෙ ආසන්න දවසක් ගත්තොත්. පුනර්ජනනීය බලශක්තිය ගත්තොත් ජල විදුලිය සීයට 40ක් වගේ, සූර්යපැනලවලින් සීයට 10ක් වගේ, කුඩා ජල විදුලි බලාගාරවලින් සීයට 10ක් වගේ ප්රමාණයක්, සුළඟින් සීයට 1කට තරමක් වැඩි ප්රමාණයක් අපි ගන්නවා. ඩීසල් ඉතාම අඩුයි.
පහුගාය කාලෙ තිබුණා, සූර්ය පැනල් සම්බන්ධ ප්රශ්නයක්. දැන් තියෙන්නෙ ඒ ගැන නරක චිත්රයක්…?
සමහර කොටස් තමන්ගෙ ව්යාපාරික අරමුණු වෙනුවෙන් කරන වැඩක් මේක. අපි ආවට පස්සෙ තත්ත්වය, ඒ කියන්නෙ 2024 ඉඳලා තත්ත්වය මම ඉලක්කම්වලින් කියන්නම්. වහල මත සවි කරන ලද සූර්ය පැනලවලින් 2024 වසර වෙනකොට මෙගා වොට් 1400ක ප්රමාණයක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කරගත්තා. 2026 වසරේ මේ වෙනකොට ඒ ප්රමාණය මෙගා වොට් 2542 දක්වා වැඩි කරගෙන තියෙනවා. ඒක 2024 තිබුණු මෙගා වොට් ප්රමාණයත් එක්ක සසඳන කොට සියයට 181ක වැඩිවීමක්. පොළොව මත සවිකළ සූර්ය පැනලවලින් 2024 වසර වෙනකොට මෙගා වොට් 163.4ක ධාරිතාවක් පද්ධතියට එකතු වෙලා තිබුණා. ඒ ප්රමාණයත් මේ වෙනකොට මෙගා වොට් 534 දක්වා සියයට තුන්සීයකට වැඩි ප්රමාණයකින් ඉහළ නංවාගෙන තියෙනවා.
ඒ කියන්නෙ සමස්ත විදුලි බල පද්ධතියට සූර්ය පැනල මගින් 2024 වසරෙදි මෙගා වොට් 1564ක් එක්ව තිබුණු එක, පහුගිය වසර දෙකේදි මෙගා වොට් 3076 දක්වා වැඩි වෙලා තියෙනවා. මේ වෙනකොට වහල මත සවි කළ සූර්ය පැනල මඟින් ජනනය වන මෙගා වොට් 2542ක ප්රමාණය 2029 වසර වෙනකොට තවත් මෙගා වොට් 500කින් ඉහළ නැංවීමට පොළොව මත සවි කළ සූර්ය පැනල ව්යාපෘතිය පුළුල් කරලා ජලාශ මත පාවෙන සූර්ය පැනල වෙත යන්නත් සැලැසුම් කරලා තියෙනවා. ඒ කියන්නෙ ඉදිරි වසර දෙකක කාලය තුළ සූර්ය පැනල මඟින් ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 1292ක් එක්කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ තමයි ඉලක්කම්වලින් කියවෙන ඇත්ත. අපි ඉස්සරහට මේ සූර්යපැනල භාවිත කරන අයට බදු සහනයක් දෙන්නත් බලාපොරොත්තු වෙනවා, මේ සූර්ය පැනලවලින් උත්පාදනය කරන ශක්තිය තමන්ටම භාවිතා කරන්න පුළුවන් විදිහට. මේ අයවැයෙන් ඒකට යම් සහනයක් වෙයි. පැනල්වලට දැනට කිසිම බද්දක් අයකරන්නෙ නෑ. ශක්තිය ගබඩා කරන බැටරිවලට තමයි බදු අයකරන්නෙ. ඒකට තමයි අපි වෙනසක් කරන්නෙ.
ගෑස්වලට මොකක්ද වෙලා තියෙන්නෙ, ඇත්තටම අපිට පේනවා වෙළෙඳපොළේ ගෑස් අර්බුදයක් තියෙනවා…?
ඒක පෞද්ගලික අංශය විසින් හදන අර්බුදයක්. ලිට්රො ගෑස් ගත්තොත් අනෙක් ගෑස්වලට සාපේක්ෂව හිඟයක් නෑ. පෞද්ගලික සමාගම හිතාමතාම ගෑස් නිකුත් කිරීම සීමා කරලා තියෙනවා. ඉන්ධනවලට වෙලා ිතයෙන දේම තමයි මෙතැනත් තියෙන්නෙ. මේ වගේ අර්බුදයක් පැනනැගපු වෙලාවක මේවා කරන්න දෙන්න බෑ. ඒ කියන්නෙ පෞද්ගලික ආයෝජකයන් අධෛර්යමත් කරනවා කියන එක නෙමෙයි. අපි පාරිභෝගිකයා දෙස බලන්න ඔ්නෙ.
